Home » යාපනෙන් ආ හයේ කල්ලිය කොටු කළ සිම්පතේ හෝඩුවාව

යාපනෙන් ආ හයේ කල්ලිය කොටු කළ සිම්පතේ හෝඩුවාව

by thanushika
January 4, 2025 12:30 am 0 comment

යාපනයෙන් පැමිණ රට පුරා විවිධ ප්‍රදේශවලට ගොස් නිවාස සහ රන් භාණඩ වෙළෙඳසැල් විසිඑකකට අධික ප්‍රමාණයක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකතන ඇතුළු දේපළ සොරා ගත් 6 දෙනෙකුගෙන් සමන්විත ළාබාල වයසේ පසුවන සොර කල්ලියක් ගලහා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය.

යාපනය ප්‍රදේශයේ සොරකම් තුනක්, වවුනියා ඉච්චකුලම් ප්‍රදේශයේ සොරකම් හතරක්ද යාපනය කයිට්ස් ප්‍රදේශයේ සොරකම් තුනක්ද වවුනියා මාමඩුව ප්‍රදේශයේදී සොරකම් තුනක්ද ගම්⁣පොළ ගලහා ප්‍රදේශයේ සොරකම් හතක්ද සහ නුවරඑළිය කඳපොළ ප්‍රදේශයේ සොරකම් හතක්ද මේ කල්ලිය විසින් සිදුකර ඇති බවට පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත.

මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ එම ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළෙඳසැල්, නිවාස සහ කෝවිල්වල මුදල්, රන් භාණ්ඩ සහ ජංගම දුරකතන සොරා ගැනීම බව පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මේ කල්ලියෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවූ කරුණු අනුවය.

ඒ අනුව ගලහා ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙළෙඳසල් තුනක් කෝවිලක් සහ නිවාස 5ක් සහ ඖෂධ වෙළෙඳසලක් බිඳ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ඇති අතර ඖෂධ හලෙන් මුදල් රුපියල් ලක්ෂ දොළහක් ද මේ කල්ලිය විසින් සොරකම් කර ඇති බව හෙළි වී තිබේ.

මේ කල්ලියේ සාමාජිකයන්ට යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු නවයක් ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව මේ ගැන පරීක්ෂණ පවත්වන ගලහා පොලිසියේ නිලධරයකු සඳහන් කෙළේය.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ මොවුන් වසර හතරක් පුරා මෙසේ සොරකම්වල නිරතවී ඇති අතර අධිකරණවලින් නිකුත් වූ වරෙන්තු සමඟම ඔවුන් කාලෙන් කාලෙට මාතලේ, කඳපොළ, ගලහා ආදි ප්‍රදේශවලට ගොස් නිවෙස් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

එක් අයකු ගලහා ප්‍රදේශයේ වෙළෙඳසලක වැඩට පැමිණ ඒ මුවාවෙන් ඔත්තු බලද්දී සෙසු අයද පසුව එම ප්‍රදේශයට පැමිණ මෙම ප්‍රදේශයේ අපරාධ සිදුකොට තිබේ.

මේ කල්ලිය යාපනය ප්‍රදේශයේදී රන් තලි සමඟ රන් මාල සහ මුදල් කොල්ලකා ඇත්තේ එම නිවාසවලට ගොස් පිහි සහ කියත් වැනි ආයුධ රැගෙන නිවැසියන් බිය කරමින් බවද පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අවුරුදු දහනවය, විසිඑක, විසිදෙක, විසිතුන සහ විසිහය වැනි වයස්වල පසුවන මොවුන් මෙම සොරකම්වලින් උපයා ගත් මුදල් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා වැය කර ඇති බවද හෙළවී තිබේ.

මොවුන් රටපුරා ගොස් සොරකම් කරන ලද රන් භාණ්ඩ යාපනය ප්‍රදේශයේ වෙළෙඳසල්වලට උකස්කර සහ අලෙවි කර තිබියදී ඉන් කොටසක් සොයාගෙන ඇත.

මෙලෙස සොරා ගන්නා ලද ජංගම දුරකතනයකට මෙහි සිටින ළාබාල වයස්කරු ඔහුගේ දුරකතන සිම්පත් දැමීමත් සමඟ සිදුකරන ලද තාක්ෂණික විමර්ශනයක් ඔස්සේ ගොස් පොලිසිය මොවුන් කොටු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් ගලහා පොලිසිය විසින් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර ගුණතිලකගේ උපදෙස් මත පොලිස් අධිකාරී කමල් ආරියවංශ සහ පොලිස් අධිකාරී ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් ගලහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකරගේ මෙහෙයවීමෙන් ගම්පොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ, කොස්තාපල්වරුන් වන 73168 රත්නායක, 99519 රාජපක්ෂ, 10012886 රත්නායක, 1037721 වික්‍රමාරච්චි, සහ 80893 තුෂාර යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division