Home » ස්පාවලට රොබරි දෙන ජම්බෝගේ කල්ලිය

ස්පාවලට රොබරි දෙන ජම්බෝගේ කල්ලිය

by thanushika
January 4, 2025 12:30 am 0 comment

රට පුරා හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන දිනෙන් දින මොහොතින් මොහොත පුවත් මවන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.

ආයුර්වේද ප්‍රතිකාරයට මුවා වෙමින් පවත්වාගෙන යන මේ ඇතැම් මධ්‍යස්ථානවලට කිසිම බලපත්‍රයක් නැති බව නම් ඇත්තය. ඇතැම් ස්ථානවල පංචකර්ම ප්‍රතිකාර මුවාවෙන් සිදු වන්නේ ගණිකා ජාවාරමයි.

මේවාට යන එන අයට ද බොහෝ කරදර විපත්තිවලට මුහුණ දීමට සිදුවූ අවස්ථා එමටය. තලංගම ප්‍රදේශයේ ස්පා එකකට ගිය පුද්ගලයකුට සිදු වූයේ ජීවිතයෙන් සමු ගැනීමටය.

මෙවැනි ඇතැම් ආයතනවලට මත්ද්‍රව්‍ය සහ පාතාලයත් සම්බන්ධ බව හැමදෙනාම පාහේ දන්නා කරුණකි. පාතාලය නැතිව මෙවැනි ඇතැම් ස්ථාන පවත්වාගෙන යා නොහැක්කේ සමහර කල්ලි කණ්ඩායම්වල බලපෑම ද මෙවැනි තැන්වලට බෙහෙවින් සිදුවන නිසාය. මෙවැනි ඇතැම් ස්පා ආයතනවල සේවය කරන තරුණ කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ප්‍රශ්න පවතින බව නොදන්නා කෙනෙක් නැත. පාතාල සහ කප්පම් කල්ලිවල ග්‍රහණයට නතුව තිබෙන මෙවැනි ඇතැම් ස්ථානවල සේවය කරන තෙරපිවරියන්ට බොහෝ අවස්ථාවල සිදු වන්නේ එම කල්ලි කණ්ඩායම්වල සාමාජිකයන්ගේ ග්‍රහණයට නතු වීමටය.

බැලුම්මහර ප්‍රදේශයේ ස්පා ආයතනයකට කඩා වැදුණු සන්නද්ධ කල්ලියක් එහි තෙරපිවරියන් පැහැරගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා විය.

මෙවැනිම ආකාරයට කඩු, පොලු, මුගුරු, තුවක්කු, පිස්තෝල රැගෙන ස්පා ආයතනවලට කඩාවැදී ඒවායේ සේවයේ නිරත තෙරපිවරියනට පහරදී තුවාල කර ඔවුන් සතු මිල මුදල්, ජංගම දුරකතන සහ වටිනා භාණ්ඩ පැහැරගන්නා සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමකට හැකිවූයේ පසුගියදාය.

ඉකුත් මාස කීපය ඇතුළත තලංගම, පෑලියගොඩ සහ මිරිහාන පොලිස් වසම්වල පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කීපයකට කඩා වැදුණු සංවිධානාත්මක සන්නද්ධ කල්ලියක් ඒවායේ සිටි තෙරපිවරියන්ට පහරදී හිංසා පීඩාකර ඔවුන් සතු මිල මුදල්, රන් ආභරණ, ජංගම දුරකතන සහ භාණ්ඩ පැහැරගෙන ගොස් තිබුණු අතර පොලිසිය මේ ගැන දිගින් දිගටම විමර්ශනය කරමින් සිටියේ මේ සංවිධානාත්මක සන්නද්ධ කල්ලිය අල්ලා ගැනීම සඳහාය.

පොලිසිය මෙලෙස ඒ ගැන විමර්ශන සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත් දකුණු අපරාධ විමර්ශන කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත්ට ලැබුණු තොරතුරකට අනුව සේදවත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නිවෙසේ තිබී ත්‍රිරෝද රථ තුනක් සහ මෝටර් බයිසිකල් තුනක් සොයා ගත් අතර ජාවාරම්කරුගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

මේ අතර එලෙස අල්ලාගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටියදී ඩුබායිහි සිටින ජාවාරම්කරු මේ බව නොදැන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනාට ඇමතුමක් දී ඇති අතර එම ඇමතුමට සවන් දුන් පොලිස් නිලධරයන්ට හෙළි වූයේ පසුගිය කාලයේ සම්බාහන මධ්‍යස්ථානවලට කඩාවැදී එහි තෙරපිවරියන්ට පහරදී කොල්ලකෑම් සිදුකර ඇත්තේ ද මේ සැකකරුවන් දෙදෙනා ද දැනුම්වත්ව බවයි.

ඒ අනුව තොටළඟ මෝදර උයන නිවාස සංකීර්ණයේදී වැටලීමක් සිදුකළ පොලිස් නිලධාරින් මේ කල්ලියට සම්බන්ධ ප්‍රබලයකු අල්ලා ගන්නේ ලද තොරතුරකට අනුවය. එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඉකුත් මාස කීපය ඇතුළත තලංගම, පෑලියගොඩ, මිරිහාන පොලිස් වසම්වල පිහිටි ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවලට මෝටර් බයිසිකල්වලින් ගොස් කඩාවැදී ඒවායේ සිටි තෙරපිවරියන්ගේ මුදල් සහ භාණ්ඩ කොල්ලකෑම් සිදුකිරීම් සම්බන්ධවය.

මේ කොල්ලකෑම් සඳහා යාමට මෝටර් බයිසිකල් සොරකම් කර ලබාදුන් ‘සේදවත්තේ ජම්බෝ’ නමැති සැකකරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

මේ කල්ලියට සොරාගත් මෝටර් බයිසිකල් සපයන සෙසු පුද්ගලයා සොයා පොලිසිය ක්ෂණිකව ක්‍රියාත්මක වුවත් ඔහු ඒ වනවිටත් උන්හිටිතැන් අත­්හැර පලාගොස් තිබිණි.

මේ සංවිධානාත්මක සන්නද්ධ කල්ලිය මිරිහාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට මීට කලකට පෙර කඩාවැදී එහි සිටි සේවිකාවකට පහරදීම නිසා ඇගේ හිසට මැහුම් 17ක් දැමීමට සිදුවී තිබුණු බවද මේ වන විට අනාවරණය වී ඇත. කල්ලිය ඇගේ හිසට පහරදී තිබුණේ තියුණු ආයුධයකිනි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින සේදවත්තේ කසුන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයන් බවට තොරතුරු හෙළිවී ඇත.

බස්නාහිර පළාත දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි එන්. ඒ. ජයපත්මගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධරයන්ගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය, සැරයන්වරුන් වන (38723) රංජිත්, (56805) ගුණසේකර, (51087) හේරත්, (7306) අනුරාධ, (21284) බණ්ඩාර, කොස්තාපල් (87721) යාපා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division