Home » විශ්වාසවන්තම සේවකයෝ හාම්පුතාට දුන් ‘තෑග්ග’

විශ්වාසවන්තම සේවකයෝ හාම්පුතාට දුන් ‘තෑග්ග’

by thanushika
January 4, 2025 12:30 am 0 comment

ඕනෑම ආයතනයක, කාර්යාලයක, වැඩ බිමක, රාජකාරි ස්ථානයක, ප්‍රධානියාට විශ්වාසවන්තම සේවකයකු, සේවක පිරිසක් සිටිනවා යැයි කීම අසත්‍යයක් නොවේ. ඕනෑම රාජකාරි ස්ථානයක ප්‍රධානියකු එවැනි සේවකයන් හෝ සේවකයකු ‘හදාගන්නේ‘ තමන්ට ඔහුගෙන් හෝ ඔවුන්ගෙන් බොහෝ ප්‍රයෝජන ගත හැකි නිසාය.

මෙලෙස සිය ස්වාමියාට, හාම්පුතාට, ප්‍රධානියාට, හිතෛෂීවන්ත වන සුවිශේෂී සේවකයෝ ප්‍රධානියාගේ කටයුතු නිවැරදිව ඉටුකර දෙන්නටත් ඔහු ආරක්ෂා කිරීම සහ ඔහුගේ දේපළ රැකබලා ගන්නටත් බොහෝ අවස්ථාවල සැදී පැහැදී සිටිති. ඇතැම් විට මේ හාම්පුතුන්, ප්‍රධානීන්, තම සේවා ස්ථානයෙන් පිටවී වෙනත් වැඩ කටයුත්තකට යන්නේ තම විශ්වාසවන්තම සේවකයාට සේවකයන්ට තමා නැවත පැමිණෙන තෙක් ආයතනයේ කටයුතු බලාකියා ගන්නා ලෙස පවසමිනි.

එහෙත් හාම්පුතාගේ, ප්‍රධානියාගේ මේ ‘විශ්වාසයෙන්‘ අයුතු ප්‍රයෝජන ගන්නා ඇතැම් ‘විශ්වාසවන්තම සේවකයා‘ හෝ සේවකයන් හාම්පුතාට ‘කොකා‘ පෙන්වා ඇතැම් විට ඔහුගේ සේසතම අතපත ගාගෙන පලා ගිය අවස්ථා ද නැත්තේම නැත. තමන් කොතරම් විශ්වාසයක් තැබුවද එම විශ්වාසවන්තම සේවකයා හෝ සේවකයන් ‘පල් හොරුන්‘ බව හාම්පුතාට ප්‍රධානියාට ප්‍රත්‍යක්ෂ වන විට ‘කෝච්චිය‘ ගොස් හමාරය.

එවැනි සිද්ධි ගණනාවක් පසුගිය කාලයේ සිදුවී තිබිණි. එසේ කියන්නේ පොලිස් වාර්තා ඇසුරෙනි. මොරගහහේන ප්‍රදේශයේ ගල් වළක් අයත් ව්‍යාපාරිකයකුගේ විශ්වාසවන්තම සේවකයන් ව්‍යාපාරිකයා රට ගිය මොහොතක ඔහුගේ ගෙදරට සුද්දයක් දී පලා ගොස් සිටි අතර, පසුව ඔවුන් ඇඹිලිපිටිය ප්‍රදේශයේදී අල්ලා ගැනිණි. මෙහි සුවිශේෂීම සිදුවීම වන්නේ අදාළ සැකකරුවන් ගල් වළ ව්‍යාපාරිකයාගේ විශ්වාසම සේවකයන් විමයි. ව්‍යාපාරිකයා ඔහුට අයත් ඉඩමක ඉන් දෙදෙනෙකුට ගෙවල් දොරවල් ද හදා දී උන්හිටි තැන් ලබා දී තිබුණ ද සේවකයන් ව්‍යාපාරිකයාට ‘ප්‍රතිචාර‘ දක්වා තිබුණේ එලෙසය.

මේ කතාව ද එවැන්නකි. වාර්තා වූයේ පිළියන්දල පොලිස් ස්ථානයෙනි.

ඔහු ව්‍යාපාරිකයෙකි. පදිංචිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේය. මේ ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරයට අයත් සේවකයන් තිදෙනෙකුට සිය නිවෙසේම කොටසක නවාතැන් දී තිබුණේ ඔවුන් සම්බන්ධව තිබුණ ලොකු විශ්වාසය නිසාමය. මේ සේවකයන් තිදෙනා ද හාම්පුතාට දැක්වූයේ ලොකු ආදරයකි; කරුණාවකි.

මේ අතර කාලයේ ව්‍යාපාරිකයා විදේශගත විය. ඔහු නැවත මෙරටට පැමිණෙන විට රන් මාලයක් ගෙනාවේය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණය. ව්‍යාපාරිකයා එය වැඩි පරෙස්සමට සිය නිදන ඇඳේ මෙට්ටය යට සැඟවූයේ සොර සතුරකු බැරි වෙලාවත් ගෙට ඇතුළු වුවහොත් රන් මාලය බේරාගැනීමේ අටියෙනි.

දින කීපයක් ගතවෙද්දී මේ වටිනා රන් මාලය අස්ථානගත විය. මාලය මෙට්ටය යට තබා ඇති බව දැන සිටියේ ව්‍යාපාරිකයා පමණි. මේ සිද්ධියෙන් වඩාත් කම්පාවට පත් ඔහු ඒ මොහොතේම පොලිසියට නොගියේ මේ ගැන බිරියගෙන් ද අසා දැන විපරම් කිරීමේ බලාපොරොත්තුවෙනි. මෙට්ටය යට තිබුණු රන් මාලය දුටු බිරිය එය කිසියම් ස්ථානයක ආරක්ෂාවට තැබුවාදැයි ව්‍යාපාරිකයා කල්පනා කෙළේය. තමන් එම රන් මාලය ගැන කිසිවක් නොදන්නා බව බිරිය ව්‍යාපාරිකයාට පවසන්නේ ඒ අවස්ථාවේදීය. හිස ගිනි ගත් ව්‍යාපාරිකයා නිවෙසේ සිටි සේවකයන් තිදෙනාගෙන් කෙනෙකු සමඟ පිළියන්දල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළේය. ඒ වන විට සොරකම සිදුවී සති තුනක් පමණ ගෙවී තිබිණි.

පිළියන්දල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සහ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායමක් මේ ගැන ව්‍යාපාරිකයාගෙන් කටඋත්තරයක් ලබා ගනිද්දී ව්‍යාපාරිකයා සිදුවූ සියලු දේ පොලිසියට පැවැසීය. තමා යටතේ සේවය කරන සේවකයන් තිදෙනෙකු නිවෙසේ සිටියද ඔවුන් තම විශ්වාසවන්තම සේවකයන් බව පොලිසියට කී ව්‍යාපාරිකයා ඔවුන් ගැන කිසිම සැකයක් තමාට නැති බව ද පැවැසීය.

පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායමක් ව්‍යාපාරිකයා පදිංචි පිළියන්දල මඩපාත අදාළ නිවෙසට යන්නේ ඉන් අනතුරුවය. රන් මාලය සඟවා තැබූ ස්ථානය ද පොලිසියේ පරීක්ෂාවට ලක් විය.

පොලිස් විමර්ශන මෙසේ යන අතරේ ව්‍යාපාරිකයාගේ නිවෙසේ නැවතී සිටි ‘විශ්වාසවන්තම‘ සේවකයන් තිදෙනා අතරින් දෙදෙනෙකු හදිසියේම සේවයෙන් ඉල්ලා අස්වී සිය ගම් පළාතට යන්නේ ව්‍යාපාරිකයා ද අන්දමන්ද කරමිනි. එසේ රැකියාවෙන් ඉල්ලා අස්වූ සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ව්‍යාපාරිකයාගේ රන් මාලය නැතිවීම ගැන පැමිණිල්ලට ව්‍යාපාරිකයා සමඟ පොලිසියට ද ගිය අයෙකි. මේ ගැන අදාළ ව්‍යාපාරිකයා පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ද දැනුම්වත් කරන්නේ ක්ෂණිකවය.

මේ සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඇඹිලිපිටියේ පදිංචි 17 හැවිරිදි අයෙකි. අනෙක් පුද්ගලයා ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් කණ්ඩායමක් මේ දෙදෙනා ගැන ඉතා රහසිගතව නිරීක්ෂණය කරන්නේ අනතුරුවය. ඒ අතරේදී පොලිස් කණ්ඩායම සොයා ගන්නේ ඇඹිලිපිටියේ පදිංචි සේවකයා මෝටර් බයිසිකලයකුත් ඌරගහ සේවකයා ත්‍රිරෝද රථයකුත් හදිසියේම මිලදී ගෙන ඇති බවය.

මේ සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. ව්‍යාපාරිකයාගේ රන් මාලය සොරකම් කිරිමේ සිද්ධියේ සුලමුල හෙළි වන්නේ ඉන් පසුවයි.

ව්‍යාපාරිකයා මත්පැන් පානය කර නින්දට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ කාමරයට හොර රහසේ ඇතුළු වූ එක් සේවකයකු රන් මාලය සොරකම් කරගෙන පිටතට පැමිණ එය නිවෙසේ තිබුණ අබලන් වූ රෙදි සෝදන යන්ත්‍රයක සඟවා නිවාඩුවට ගමේ යන අතරතුරදී අම්බලන්ගොඩ නගරයේ රන් ආභරණ උකස් හලකට උකස්කර මුදලින් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් බෙදාගෙන තිබූ බව ද හෙළි විය.

ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා එම මුදලින් එක් අයකු ත්‍රිරෝද රථයක් සහ අනෙක් පුද්ගලයා මෝටර් බයිසිකලයක් ද මිලදී ගෙන තිබුණ බව ද අනාවරණය විය.

ඉතිරි රුපියල් ලක්ෂ 5ක මුදලින් තමන් දන්නා හඳුනන දුප්පත් අය සඳහා ආහාර මලු රැගෙන දී ඇති බවද ඉතිරි මුදලින් විනෝද ගමන්බිමන්, ප්‍රියසාද සම්භාෂණ පැවැත්වූ බව ද සැකකරුවන් දෙදෙනා පොලිසියට හෙළිකර ඇත.

මෙහි සුවිශේෂීම සිද්ධිය වන්නේ මේ සොරකම හසු නොවේවා කියා මේ සැකකරුවෝ දෙවියන්ට ද බාරහාර වී තිබීමයි.

ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එල්. වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් පිළියන්දල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති සහ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, කොස්තාපල්වරුන් වන (71422) තුෂාන්ත, (90068) රත්නායක, (103153) මධුරංග යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division