Home » වෙන්නප්පුවේ කැස්බෑ ඝාතකයන්ට උසාවියෙන් ලැබුණු දඬුවම

වෙන්නප්පුවේ කැස්බෑ ඝාතකයන්ට උසාවියෙන් ලැබුණු දඬුවම

by thanushika
January 4, 2025 12:30 am 0 comment
මිහිර විජේසේකර - මාරවිල සමූහ

සාගරයේ වෙසෙන ජීවීන් අතරින් කැස්බෑවා සුවිශේෂී සත්ත්වයෙකි. ලොව පුරා පිහිටි සාගර කලාපයේ කැස්බෑ විශේෂ 7ක් ජීවත් වන බව සැලැකේ. ඉන් විශේෂ 5ක්ම ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ වෙසෙන බව හඳුනාගෙන තිබේ. දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති කැස්බෑවා අවුරුදු 80ක් 120ක් තරම් ආයු කාලයක් ජීවත්වන බව කියැවේ.

මුහුදේ ජීවත් වුවද කැස්බෑවන්ගේ බිත්තර දැමීමේ ක්‍රියාවලිය සිදුවන්නේ මුහුදු වෙරළට පැමිණ වළක් හාරා ඒ තුළට බිත්තර හෙළීමෙන්ය. සාමාන්‍යයෙන් ගැහැනු කැස්බෑවකු එක් වරකදී බිත්තර 120ක් පමණ දැමීම සිදුකරන අතර වසරකට වාර තුනක දී පමණ බිත්තර දැමීම සිදු කරනු ලබයි. මෙලෙස අතිවිශාල පැටවුන් සංඛ්‍යාවක් ජනිත වුවද මිනිසුන්ගේ සහ වෙනත් සතුන්‌ගේ මෙන්ම ස්වාභාවික ක්‍රියාකාරකම් හේතුවෙන් කැස්බෑ පැටවුන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙති.

ධීවරයින්ගේ දැල්වලට හසුවන කැස්බෑවන් මස් පිණිස මැරීම, ආභරණ සෑදීමට කැස්බෑ කටුව ලබාගැනීම, වෙරළාශ්‍රිත අවිධිමත් සංවර්ධනය, කාලගුණ විපර්යාස සහ සමුද්‍ර දූෂණය හේතුවෙන් ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත නාමාවලියට ඇතුළත්ව ඇති වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑවන්ගේ ගහනය අඩුවීමට බලපාන ප්‍රධාන සාධකයක් බව කියැවේ.

මින් වැඩුණ කැස්බෑවන්ගේ විනාශයට හේතු වන ප්‍රධානම කරුණ වන්නේ ධීවරයින්ගේ දැල්වලට හසුවන කැස්බෑවන් මස් පිණිස මැරීමයි.

මුහුදු වෙරළේදී බිත්තරයෙන් එළියට එන කැස්බෑ පැටවුන්ගෙන් විවිධ වූ සාධක නිසා මිය යන ප්‍රමාණය මෙන්ම ජීවිත බේරී මහ මුහුදට යන පැටවුන් වර්ධනය වූ පසු ධීවරයින්ගේ දැල්වලට හසුවන කැස්බෑවන්ට නැවත සාගරයේ සැරි සැරීමට හැකි වන්නේ ඉතා කාලාතුරකිනි. ඒ් තිරිසනාගේ පවා හද ගැස්මට සංවේදී වූ ධීවරයින්ගේ දැලකට පැටලුණහොත්ය.

කෙසේ වෙතත් එසේ හසුවන කැස්බෑවන් මස් කිරීමට හෝ ළඟ තබා ගැනීමටවත් නොහැකි ලෙස නීති සම්පාදනය කර ඇත. වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආඥා පනත යටතේ 30-2 උපලේඛනයට අයත් දැඩි ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක් ලෙස කැස්බෑවුන් සැලකේ. කැස්බෑවන් ඝාතනය කිරීම සහ ළඟ තබා ගැනීම, බිත්තර ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ය. එම නීති උල්ලංඝනය කරන්නන්ට නීතියෙන් ලැබෙන්නා වූ දඬුවම ද සුළුපටු නොවේ. සිර මැදිරිවල ලගින්නට වෙන්නේ ද බරපතළ වැඩ සහිතවය.

අධිකරණයෙන් නියම වන දඩ මුදලද සොච්චමක් නොවේ.‍ මෙසේ නීතිය ක්‍රියාත්මක වන පසුබිමක එය තඹ දොයිතුවකටවත් මායිම් නොකර කැස්බෑවන්ගේ ජීවිත විනාශ කර මුදල් හරිහම්බ කිරීමට කටයුතු කරන්නන්ද අප අතර සිටීම කොතරම් ඛේදනීය තත්ත්වයක්ද? සිත්පිත් නැති මෙවැනි ක්‍රියාවල නිරතවූ ධීවරයින් හය දෙනෙකුට පසුගියදා මාරවිල දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් අසේල ද සිල්වා විසින් ලබා දුන් නියෝගය කැස්බෑ ඝාතකයන්ට ලබා දුන් කදිම අනතුරු ඇඟවීමකි.

ධීවරයින් හය දෙදෙනාට රුපියල් හැටදහස බැගින් රුපියල් තුන් ලක්ෂ තිස්හය දහසක දඩ මුදලක් සහ බරපතළ වැඩ සහිතව මාස තුනක සිර දඬුවමක් නියම කළ මාරවිල දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් අසේල ද සිල්වා ඉන් නොනැවතී දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් එම දඬුවම තවත් මාස තුනකට දීර්ඝ කිරීමට ද නියම කරන ලදි.

චුදිත ධීවරයින් හයදෙනා වෙන්නප්පුව මුහුදේ ධීවර කටයුතුවල නියැළෙමින් සිටියදී ඔවුන්ගේ දැලට හසු වූ කැස්බෑවන් හතර දෙනකු මස් පිණිස සකස් කර සහ එම කැස්බෑවන්ගේ බිත්තර අලෙවි කිරීමට සූදානම් කරමින් සිටියදී වෙන්නප්පුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. මෙසේ අලෙවි කිරීමට සූදානම් කළ කැස්බෑ මස් කිලෝග්‍රෑම් 61ක් සහ බිත්තර කිලෝග්‍රෑම් 27ක් ඔවුන් මැරීමට උපයෝගී කරගත් තියුණු ආයුධ කීපයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

කැස්බෑවන් ඝාතනය කිරීම සහ ළඟ තබා ගැනීම, බිත්තර ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ පොලිසිය මඟින් මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දෙන ලදී.

චුදිත ධීවරයන් වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 45ත් 55ත් අතර වයස්වල පසුවන්නන්ය.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.අයි.ආර්.එන්. පෙරේරාගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි අසේල පුල්වංශගේ අධීක්ෂණයෙන් වෙන්නපප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, සැරයන්වරුන් වන 8457 සේනක, 72422 නිශාන්ත, කොස්තාපල් 24040 දිල්මිණ යන නිලධරයෝ මෙම වැටලීම සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division