Home » අපේ රටේ සිනමාවේදීන්, සාහිත්‍යවේදීන් විවේචන රුස්සන අය නොවෙයි

අපේ රටේ සිනමාවේදීන්, සාහිත්‍යවේදීන් විවේචන රුස්සන අය නොවෙයි

ලේඛක, විචාරක ගුණසිරි සිල්වා

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

ප්‍රතිරූප යනු ශ්‍රී ලාංකේය සිනමාව පෝෂණය කළ සිනමාවේදීන් 18 දෙනකුගේ සිනමා චින්තනය සහ භාවිතය පිළිබඳ මතවාදී විමසුමකි. ප්‍රතිරූප කෘතිය පළමුවරට නිකුත් වෙන්නේ 1992 වසරේදීය. ගෙවී ගිය වසර 32 ඇතුළත මෙහි සඳහන් සමහර සිනමාවේදීන්ගේ නව නිර්මාණ කිහිපයක් බිහි වූ බැවින් කතුවර ගුණසිරි සිල්වා ඒ නව සිනමා නිර්මාණ පිළිබඳව ද ස්වකීය විමර්ශනාත්මක දෘෂ්ටිය මේ නව සංස්කරණිත මුද්‍රණයට ඇතුළත් කර තිබේ. එබැවින් මේ නව මුද්‍රණය තවදුරටත් පෙර මුද්‍රණය නැවත පළ කිරීමක් පමණක් නොව; යාවත්කාලීන කර පළ කිරීමකි.

සිනමා කලා විචාරකයකු හා නිර්මාණවේදියකු ලෙස දිගු කලක් තිස්සේ විසල් මෙහෙවරක නිරත ගුණසිරි සිල්වා මේ කෘතිය ඔස්සේ සිනමාව හදාරන විද්‍යාර්ථීන්ට නව කවුළුවක් විවර කර දෙයි. මේ ඒ පිළිබඳව කළ සංලාපයෙක සංක්ෂිප්තයකි.

ප්‍රතිරූප, පෙර කෘතියම නොවේ, තවත් කරුණු එකතු කළ නව සංස්කරණයක් ලෙසයි ඔබ මෙය හඳුන්වන්නේ?

ඔව්. මෙහි එන ලිපි සියල්ල මා නැවතත් අලුතින් ලිව්වා. එසේ ලියද්දී ඇතැම් චිත්‍රපට නැවත නැවතත් නැරඹුවා. මා මීට වසර 32 කට පෙර,‘ප්‍රතිරූප’ ලියන මොහොතට වඩා දැන් මා සිටින්නේ පැසුණු වියක. එම නිසාම කලින් ලියූ කෘතියේ මගේ ඇතැම් දඩබ්බරකම් නිර්දයකම් මෙන්ම සීමාකම් මටම හඳුනා ගන්න හැකි වුණා.

ඒ අනුව මේ සිනමාවේදීන්ගේ චිත්‍රපට දෙසත්, ඒ සිනමාකරුවන්ගේ සිනමා භාවිත දෙසත් එදාට වඩා පුළුල් ලෙස දකින්නට මට හැකි වුණා. විශේෂයෙන්ම අපේ පුරෝගාමී සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා චින්තනය භාවිතය පිළිබඳව මට වඩාත් සිනමාත්මකව හා දේශපාලනික හඳුනා ගැනීමේ හැකියාව ලැබුණා. එමෙන්ම ආචාර්ය ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, එච්. ඩී. ප්‍රේමරත්න සහ විජය ධර්ම ශ්‍රී වැනි සිනමාවේදීන්ගේ සිනමා භාවිත දෙසත් මට වඩාත් සාධනීයව සහ උපේක්ෂාවෙන් දකින්නට හැකි වුණා.

වසර 1992 ‘ප්‍රතිරූප’ එළිදක්වද්දී ජීවතුන් අතර සිටි, මෙහි සාකච්ඡාවට බඳුන් වන සිනමාවේදීන් අද ජීවතුන් අතර නැහැ. ධර්මසිරි බණ්ඩාරනායක පමණයි සිටින්නේ?

‘තුංමංහංදිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මහගමසේකරයන් මා ‘ප්‍රතිරූප’ ලියද්දීත් ජීවිතයෙන් සමුගෙනයි හිටියේ. ඉන්පසු අනෙක් සිනමාවේදීන් 16 දෙනාත් ක්‍රමක්‍රමයෙන් ජීවියෙන් සමුගත්තා. මෑතකදීම අපෙන් සමුගත්තේ සුගතපාල සෙනරත් යාපා. ඒ සිනමාවේදීන් දැනට ජීවතුන් අතර නැති නිසාම මේ කෘතිය තුළ ඔවුන්ගේ සිනමා භාවිත ගැන මාගේ විවේචනාත්මක දැක්ම මතු පරපුරට වැදගත් වේ යැයි මා සිතනවා. ඒ වගේම එය අනාගතයේදී ඔවුගේ සංවාදවලට රුකුලක් වේවි කියාත් මා විශ්වාස කරනවා.

දැන් ජීවතුන් අතර නොසිටියත් ඔබ මේ කෘතිය මුල්වරට එළිදක්වද්දී ඒ අය බහුතරයක් ජීවතුන් අතර සිටියා. කෙනෙක් ජීවතුන් අතර ඉඳිද්දී තමන් පිළිබඳව ලියැවෙන එක විශේෂයි. ඒ කාලේ මොනවද ඔබට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?

‘ප්‍රතිරූප’ කියන්නෙ විමර්ශන කෘතියකට වඩා විචාරාත්මක කෘතියක් කීවොත් වඩා නිවැරදියි.

මෙය එක් එක් සිනමාවේදීන්ගේ සිනමා අනන්‍යතා සාකච්ඡා කරමින්, ඔවුන්ගේ භාවිත දෘෂ්ටිවාදාත්මකව අගයමින් සහ විවේචනය කරමින් ලියූ කෘතියක්.

ඒ නිසා මෙය ඒ සිනමාවේදීන් පිළිබඳව ප්‍රශස්තියක් නොවෙයි.

අපේ රටේ සිනමාවේදීන් වගේම සාහිත්‍යවේදීනුත් විවේචන රුස්සන අය නොවෙයි. ඒ නිසා පරාක්‍රම සිල්වා හැර අන් කිසිවෙක් මේ ගැන ප්‍රතිචාර දැක්වූයේ නෑ.

මේ කෘතියේ එන බොහෝ විචේචනාත්මක කරුණු සහ ඒ සිනමාවේදීන් ගැන ලියූ ලිපිවලට මා දැමූ ශීර්ෂ පාඨ ඔවුනගේ සිත් තැවුල්වලට හේතු වුණා වෙන්නත් පුළුවන්. ඒත් ඔවුන් කිසිවකු මිය යන තෙක්ම මා සමඟ අමනාප වූයේත් නෑ.

මේ කෘතියේ පෙර ඔබ නිකුත් කළ පළමු මුද්‍රණයේ නොතිබූ නිර්මාණ පිළිබඳව විග්‍රහ ඇතුළත්. එසේ නැවත මේ කොටස් එකතු කිරීමට සිතුවේ ඇයි?

1992දී පළමුවරට මේ කෘතිය එළිදැක්වූවාට පසුව මේ සිනමාවේදීන් බොහෝ දෙනකු අලුතෙන් චිත්‍රප‍ට නිර්මාණය කළා. ඒ චිත්‍රපට පිළිබඳවත් අලුත් කෘතියට ඇතුළත් කිරීමෙන් මෙය වඩාත් යාවත්කාලීන වුණා. ඒ වගේම ඔවුන්ගේ අලුත් කෘති පිළිබඳ ව මා කළ විවේචන සහ විග්‍රහ මතු පරපුරට ඒ සම්බන්ධයෙන් කරන හැදෑරීමකදී ප්‍රයෝජනවත් වේවි.

මෙහි සඳහන් නොවන නමුත් අපේ මතකයට නැඟෙන අනෙක් සිනමාකරුවන් සහ විශේෂයෙන් නව පරම්පරාව ගැන ඔබේ කියැවීම ග්‍රන්ථයක් ලෙස නිකුත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. 90න් පසු අපේ සිනමා පරපුරේ නිර්මාණශීලි සිනමාවේදීන් වන ප්‍රසන්න විතානගේ, අශෝක හදගම, විමුක්ති ජයසුන්දර, ඉනෝකා සත්‍යාංගනී, බුඩී කීර්තිසේන, ජයන්ත චන්ද්‍රසිරි අතුළු අයගේ සිනමා භාවිත පිළිබඳ ‘ප්‍රතිරූප’ දෙවෙනි කොටස ළඟදීම එළිදක්වන්නට කටයුතු යොදා තිබෙනවා. එය වෙනම කෘතියක් ලෙස පළ කරන්නට අදහස් කළේ 90 පසු සිනමාකරණයට පැමිණි මේ පිරිස ලාංකේය සමාජ දේහයේ බාහිර චලන සහ අභ්‍යන්තර චලන තම කෘති තුළ විෂය කරගනිමින් ඒවා දේශපාලනිකව සහ දාර්ශනිකව දකින්නට උත්සාහ ගෙන තිබෙනාවා.

ඔවුන්ගේ සිනමා ආකෘති සහ භාෂා පවා එම විෂය ක්ෂේත්‍රය අනුව සැකසුණු ඒවා. ඉදින් ඒ සිනමාවේදීන් 60,70, 80 දශකවල නිර්මාණකරණයේ යෙදුණු සිනමාවේදීන් අතර තියා සකච්ඡා කරනවාට වඩා වෙනම සාකච්ඡා කිරීම වඩාත් ඵලදායයි වේ යැයි මම කල්පනා කරනවා.

මෙහි සඳහන් නිර්මාණකරුවන්ගේ නිර්මාණ සහ තොරතුරු පිළිබඳව බොහෝ කෙටියනුයි කෘතියේ දැක්වෙන්නේ. නමුත් මෙහි ඇතුළත් සමහර චරිත ගත්තාම ඒ අය පිළිබඳව වෙනම පොතක් වුණත් ලියන්න පුළුවන්. කොහොමද මේ කරුණු තෝරා බේරා ගැනීමක් කළේ සහ සංක්ෂිප්ත කර ගත්තේ?

‘ප්‍රතිරූප’ කෘතියේ සිනමාවේදීන් 18 දෙනකු පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. එතරම් පිරිසක් ගැන එකම කෘතියකින් සාකච්ඡා කිරීමේදී අනිවාර්යයෙන්ම සංක්ෂිප්ත කරන්නට සිදු වෙනවා. අනෙක් හේතුව මා මෙමඟින් උත්සාහ කළේ මේ සිනමාවේදීන්ගේ වඩා සාර්ථකම චිත්‍රපට කිහිපය විමසමින් එමඟින් ඔවුන් ලාංකේය සිනමාවට කළ දායකත්වය කෙබඳුදැයි සාකච්ඡා කිරීමයි.

එහිදී ඇතැම් සිනමාවේදීන් සම්බන්ධයෙන් සකච්ඡා කිරීම සංක්ෂිප්ත කරන්නට සිදු වුණා.

උදාහරණයක් ලෙස, මහාචාර්ය සිරි ගුණසිංහ, මහගමසේකර, රංජිත් ලාල් වැනි සිනමාවේදීන් ජීවිත කාලයටම නිම කර තිබුණේ එක් චිත්‍රපටයක් පමණයි. සුගතපාල සෙනරත් යාපා, ජී. ඩී. ඇල්. පෙරේරා වැනි අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට අතරින් ප්‍රබල දායකත්වයක් සැපයුවේ සිනමා කෘති එකක් හෝ දෙකක්. ඔවුන්ගේ ඒ දායකත්ව ගැන දෘෂ්ටිවාදාත්මකව සකච්ඡා කිරීමයි මා කළේ.

ඔවුන්ගේ අසාර්ථක සිනමා කෘති ගැන දිගින් දිගටම ලියනවාට වඩා ඒ සිනමාවේදීන්ගේ සිනමා චින්තනය සහ භාවිතය තේරුම් ගැනීමට මෙමඟින් පාඨකයාට හැකි වේවි. ඉන් එහාට ඔවුන් පිළිබඳව කරන දීර්ඝ හැදෑරීමකට මේ කෘතිය කවුළුවක් විය හැකි යැයි මා විශ්වාස කරනවා.

ලංකාවේ සිනමාව පිළිබඳව අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් දේවල් සහ ඒ සඳහා අදාළ කරන සම්පත් අඩුයි. වඩාත් සවිඥානික සිනමා සාක්ෂරතාවක් ඇතිකර ගැනීමට කළ යුතු යැයි ඔබ යෝජනා කරන්නේ මොනවාද?

අපට තිබෙන ලොකුම ප්‍රශ්නය අපේ රටේ සිනමා සංරක්ෂණාගාරයක් හෝ සිනමා පුස්තකාලයක් නොමැති වීමයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මුළු ජීවිත කාලය පුරාම කළ එකම ඉල්ලීම වුණේ සිනමා සංරක්ෂණාගාරයක් ඉදිකිරීම ගැනයි.

ඒ ඉල්ලීමට අදටත් විසඳුමක් නෑ. පැවැති කිසිම ආණ්ඩුවක් මේ මහා සිනමාවේදියාගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නෑ. ඒ නිසාම ඔහු ඇතුළු මේ රටේ සිනමාකරුවන්ගේ චිත්‍රපට කිසිවක් විධිමත් ලෙස සංරක්ෂණය වී නැති නිසා ඒවා ගැන හැදෑරීමට විද්‍යාර්ථීන්ට අවස්ථා නෑ; පහසුකම් නෑ.

ඇත්ත වශයෙන්ම ජාතික වශයෙන් මේක මහා අපරාධයක්.

අපේ සිනමාවේ පුරෝගාමි ලෙස්ටර් ඇතුළු සිනමාකරුවකුගේ චිත්‍රපට කිසිවක් මතු පරපුරට දකින්නට අවස්ථාවක් නැතිවීම මොන තරම් අභාග්‍යයක්ද? අවාසනාවක්ද? එවගේම මේ රටේ පොහොසත් සිනමා සාහිත්‍යයක් පැවැතියත් ඒ පත පොත එක්තැන්වූ වෙනම පුස්තකාලයක් නෑ.

ලාංකේය සිනමාවේ ඉතිහාසය හෝ වර්තමානය හදාරන්නට අවශ්‍ය පතපොතවත් නැති රටකයි අපේ සිනමා සාහිත්‍යවේදීන් සහ සිනමාවේදීන් තම කාර්යයන්හි නිරතව සිටින්නේ.

ඒක දුෂ්කර කාර්යයක්.

වරක් ජයවිලාල් විලේගොඩ සහ කරුණාසේන ජයලත් ගේ සිනමා විචාර විමසීමේ කෘතියක් සම්පාදනය කරන්නට මට ජාතික ලේඛනාගාරයේ වසරක පමණ කාලයක් ගත කරමින් වසර තිහක පත්තර කියවන්නට සිදු වුණා. මේ අවශ්‍යතා ඉටු කිරීම කෙරෙහි රජයේ අවධානය හිමි විය යුතුයි වගේම මා විශ්වාස කරනවා අනාගතයේ හෝ මේ මහා කාර්යය ඉටු වෙයි කියා.

සුමුදු චතුරාණී ජයවර්ධන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division