හයිකු කවි සමාජයක් යනු කුමක්ද? එම සොඳුරු සමාජය වනාහි ළතෙත් ජපන් ජාතියටම අනන්‍ය ලකෂණවලින් හෙබි තම සහෝදර මිනිස් කැලට, පරිසරයට, එහි වසන සතුන්ට, ගහට වැලට, ඇළට දොළට, තම මවුබිමට සැබෑ ලෙස ම ආදරය කරන ජපානයේ හයිකු කවීන් අතර පවතින පිරිස් බල සමූහයකි.
මෙම සෙනෙහස් ප්‍රවාහයේ කූටප්‍රාප්තය වනාහි මානව දයාවයි. ජාති, ආගම්, කුලමල වර්ණ භේද කිසිත් නොතකන මෙම කණ්ඩායම හයිකු කවි ගෙතීමෙන් එකිනෙකා ගේ හයිකු කවි රස විඳිමින්, පැරණි හයිකු කවි නිරීක්ෂණය කරමින්, පරිසරය විඳින චාරිකාවල යෙදෙමින්, හයිකු කවි තරග පවත්වමින්, හයිකු කවිවලට ම ආවේණික ක්‍රීඩා තරගවල යෙදෙමින්, හයිකු කවිපොත් ලියමින් එකිනෙකා අතර දුක සැප බෙදා ගනිමින්, එතුළින් සිය අාධ්‍යාත්මික මෙන්ම බාහිර ජීවන චර්යාව ප්‍රභාවත් කරගෙන දිවි ගෙවන සමාජයීය දිව්‍යමය හදවත් දාමයකි.
එය සුන්දර රන් දම්වැලක් සේ පුරුකෙන් පුරුක යාවී සැදුණකි. සෑම හයිකු කවි සමාජයකටම ගුරුවරයකු සිටින අතර ඔහු විසින් තම කණ්ඩායම හයිකු ධර්මතාවෙන් නිබඳව ම පෝෂණය කළ අතර, හෙතෙම සමුරායිවරයකු බඳුය. එහෙන්ම හෙතෙම කණ්ඩායමේ අරටුව විය.
එකම ගිවිසුමකට බැඳුණ එකම රුචිකත්වයන් බෙදා ගන්නා මෙම සෞන්දර්ය විහඟ රෑන එකම කණ්ඩායමක් යන අරුත සැමවිටම ප්‍රකාශනය කරයි. එනම් සමාන රුචි අරුචිකම් ඇති හදින්ම බැඳුණු මිතුරු සමූහයකි.
ජපන් රට තුළ Meiji යුගයේදී, හයිකු කවි ජන සමාජය ඉතා දිළිදුව අසරණව සිටිය දී මෙම සමුහ ප්‍රථමවරට බිහිව ඇත.
එයට පෙර එම හයිකු කවීන් තනි තනිව හුදකලාව ජීවත්වී ඇති බව පැවසේ. සමූහයට එකතුවීමෙන් පසු ඔවුන්ගේ සදාදරණීය ශක්තිය එක බලයක්ව හයිකු කවි කලාව ප්‍රබල ව දාහත්වන සියවසේදී ශක්තිමත් ගමනක් අරඹා ඇති බව පෙනෙයි. සෙන් දහමේ අනතිමානී ලක්ෂණ මෙම හයිකු කවි සමාජ වෙත නිරන්තර ප්‍රභාව ගෙන එන ලද බව ද කිව හැකිය
උදාහරණයක් ලෙස හයිකු කවි සමාජයේ හයිකු කවියට පෙම් කරන එහෙත් හයිකු කවි රචනයෙහි එතරම් දකෂතාවක් නොමැති එහෙත් ආර්ථික අතින් පොහොසත් රදළවරු, සාහිතකාමී ප්‍රභූවරු, අධිරාජ්‍යයන්, අධිරාජිනියන් මැතිඇමැත්තන් පවා මෙම හයිකු කවි සමාජවලට බැඳී ඔවුන් විසින් දක්ෂ පක්ෂ හොඳ කවීන්ට ආධාර උපකාර කොට ඔවුනට හයිකු කවිය තුළ රැඳී සිටීමට දිරිය ශක්තිය ලබාදී ඇත.
ජපානයේ බොහෝ හයිකු කවියන් තුළ නිත්‍ය සාමාජිකයන් වෙන්කර හඳුනා ගැනීම සඳහා තනතුරක් භාවිත කර ඇත. කණ්ඩායමේ ලිවීමේ දක්ෂතාව ඇති සහ කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් ඔවුන් කරන ක්‍රියාත්මක මෙහෙවර සලකා මෙම තනතුර ප්‍රදානය කොට ඇති බව ජපන් කාව්‍ය ඉතිහාසයේ සඳහන් වේ.
එනම් කවියන්ගේ හයිකු තත්ත්වය සහතික කොට කණ්ඩායමේ උන්නතිය සඳහා ඔවුන්ගේ කැපවීම තහවුරු කරගෙන සහ හයිකු මාවත ලුහුබැඳීම සඳහා ඔහුට ඇති ඒකායන අධිෂ්ඨාන ආත්ම ශක්තිය දැනහැඳින මෙම ගරුනාමය එම කවීන් වෙත ලබාදී ඇත. ඩොජිඔන් (Dojion) යනු එම ගරු නාමයයි.
ඩොජිඔන්වරු සිය ජීවිත කාලය පුරාම හයිකු කවි සංගමයේ ක්‍රියාකාරීත්වය වෙත ප්‍රබලව පෙනී සිටිමින් හයිකු කවි රචනා කළ බව ඒ වෙනුවෙන්ම කැපවූ බව දහසය දාහත සියවස් හි ජපානයේ එම ඩොජිඔන්වරුන්ගේ, වරියන්ගේ පැරණි සොහොන් කොත්වල ලියා ඇති මනහර හයිකු ගාථා පාඨවලින් තවමත් විද්‍යාමාන වේ.
ශ්‍රී ලංකා හයිකු කවිය
අප ශ්‍රී ලංකා හයිකු කවි සමාජය ද මෙම මඟම ගමන් කරන්නක් බව සාඩම්බර හදවතින් පැවසිය හැකිය. මේ වනවිට අමෙරිකාවේ පිහිටි ලෝක හයිකු කවි මධ්‍යස්ථානය අප ශ්‍රී ලංකා හයිකු කවිය පිළිගැනීමට ලක්කොට ඇති අතර, අප කවි කිවිඳියනගේ හයිකු කවි කෘති රැසක් එහි සුවිසල් පුස්තකාලයේ තබා ඇත. ශ්‍රී ලංකා හයිකු කවියකට ජපානයෙන් ම ගෞරවනීය අැගැයීමක් ලැබීම කොතරම් සතුටට කරුණක්ද?
ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් අප ශ්‍රී ලංකා හයිකු කවි සංගමයේ ලංකා සිරිවර්ධන කිවිඳිය එබඳු තරඟයකින් ජය ලබාගත්තීය. ඒ කෙබඳු වූ තරගයකින්ද..?
සෙන් බුදු දහමෙන් සුපෝෂිත වූ ජපන් හයිකු කවියේ පෙරගමන්කරු ලෙස ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වන 1644 – 1694 Matsuo Bashō (1644 – 1694 ) ලෝක පූජිත හයිකු කවි යතිවරයාණන් සමරනු වස් ජපානයේ අන්තර්ජාතික හයිකු සංගමය විසින් වසරක් පාසා බෂෝ අනුස්මරණ ඉංග්‍රීසි හයිකු කවි තරගය පවත්වන්නට යෙදේ. (Basho Memorial English Haiku Contest) මෙවර එය පැවැත්වූයේ 76 වන වරට ය. ලෝකය පුරා හයිකු කවි කිවිඳියන් අතිවිශාල සංඛ්‍යාවක් එයට සහභාගී වේ.
ඕනෑ ම භාෂාවකින් හයිකු කවි ලිවිය හැකි බව පිළිගනිමින් ඔවුන් පවත්වන මෙම තරගයේ අරමුණ වන්නේ ජාතිය ආගම භාෂාව දේශ සීමාවලින් ඔබ්බට ගොස් මිනිස් අාධ්‍යාත්මය තුළ පංචේන්ද්‍රියන් මුල්කර ගෙන පැන නඟින සිතිවිලි මාලාවල සුන්දරත්වයෙන් පිරි කාව්‍යාත්මක අපූර්වත්වයක් මතු කර ගනිමින්, මනුෂ්‍යත්වය ඉහළට ඔසවා තබන සම බිමක් නිර්මාණය කිරීමයි. හයිකු කවිය වෙනම භාෂිතයකි. එය සෙන් බුදු දහමේ යතිවරුන් මාර්ගඵල ළඟා කර ගැනීම සඳහා චෛතසිකව ප්‍රගුණ කළ අභ්‍යාසයකි. හයිකු කවිය විඳීමට සහ ලිවීමට ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලැබිය යුතුය. ඒ පිළිබඳ සතතාභ්‍යාසයෙහි යෙදිය යුතුය. එළඹි සිහියෙන් අවබෝධ කොටගත යුතුය
හයිකු කවියට යා හැකි දුර බොහෝ බව අද ලෝකය විවාදයකින් තොරව පිළිගනියි. එය මනුෂ්‍ය චින්තනයෙහි උත්තම සහ සෙඳුරුතම භාවනාත්මක වින්දනයයි.
පැරණි හයිකු කවිය 5/7/5 යන මාත්‍රා අනුදැන ලියවුණද, ඒ මුල් යුගවලදී පවා ලෝක පූජිත හයිකු කවීන් පවා ඇතැම්විට හයිකුවේ අර්ථ රස වඩාත් උද්දීපනය කරගත යුතු අවස්ථාවන්හිදී මාත්‍රාවලින් බැහැරව හයිකු රචනයට පෙලඹී ඇත.
මත්සුවායි බෂෝ, තනිගුචි බුසෝන්, කොබොයාෂි ඉසා, හයිකු කවියේ සොඳුරු විප්ලවකාරයා ලෙස සැලකෙන මෂුකා ෂිකී, මාත්‍රා නොමැතිව හයිකු රචනා කළ, හයිකු කවිය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ කීපයක් රචනා කළ ආර්. එච්. බලයිත් පඩිවරයා සිය කෘතිවලින් ද පෙන්වාදී ඇත. ඉන්පසු මෙම රටාව ඔස්සේ යමින් ලෝකයේ සියලුම රටවල කවීන් හයිකු කවිය වැලඳ ගත් අතර මේ ලෙස හයිකු කවිය වෙත මුළු ලොවේම අවධානය යොමුවන තවත් සිදුවීමක් 1996 දී සිදු විය. එනම් නිදහස් හයිකු රටාවක් පතා සටන් කළ මෂුකා ෂිකී කවියාගේ ගම වූ මත්සුයාමා ගම්මානයේදී ජපන් රජය මත්සුයාමා ප්‍රකාශනය අත්සන් කරමින් හයිකු කවිය ලෝක උරුමයක් ලෙස ජනගත කිරීමයි.
මෙම ක්‍රියාවෙන් ප්‍රමුදිත ලොව වටා කවීන් තම තමන්ගේ රටවල නම ඉදිරියට දමා තම තම රටවල සංස්කෘතික සක්‍යතාවෙන් පෝෂිතව හයිකු රචනා කරන්නට විය. ශ්‍රී ලංකාවේ අප ද එම ක්‍රියාවට එක්වී හයිකු ලොව ජයග්‍රහණ රැසක් අත්කර ගත්තේ සීගිරි ගලෙහි පවා මනහර කවි ලියූ පරපුරක ප්‍රතිභාව ලොවට විශද කරමිනි.
අප හයිකු කවි අධ්‍යයන මණ්ඩපයේ වෛද්‍ය ලංකා සිරිවර්ධන, මහාචාර්ය රධිකා ද සිල්වා, එන්. ඩබ්ලිව්. පී. ලාල්, සුභාෂිණී ජයතිලක, කුමාරි හඳපාන්ගොඩ ඇතුළු කවි කිවිඳියන් රැසක් ලෝක හයිකු කවි තරග රැසකින් ජය ලබාගත් බව පවසන්නේ අනතිමානීවය.
ශ්‍රී ලංකා හයිකු කවි ලෝකයෙන් ඩොජිඔන්වරු බිහිකර ගැනීම ද අපගේ එක් උස් බලාපොරොත්තුවකි. පහත පළවන්නේ ශ්‍රී ලංකා හයිකු කවි කීපයකි.
පාලිත සේනාරත්න
සභාපති, ශ්‍රී ලංකා හයිකු කවි සංගමය