දිනක් ආනන්ද මහ තෙරුන් ද කැටුව පසල් දනව්වක් වෙත වැඩම කරමින් සිටි බුදුන් වහන්සේට මාර්ගයෙහි වැටී තිබුණු මුදල් පසුම්බියක් දක්නට ලැබිණි. බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ විමසූහ:
“ආනන්ද, සර්පයා දුටුවා ද?”
ඊට අනඳ තෙරුන් දුන් පිළිතුර මෙසේය:
“භාග්‍යවතුන් වහන්ස, සාමාන්‍ය සර්පයකු නොව සර්ප දණ්ඩෙක් පෙනේ.”
අපේ රටේ දේශපාලකයන්ගේ, භික්ෂූන්ගේ මතු නොව, සමාජයේ ඉහළ ස්තරයන්ගේ ද, නිලධාරීන්ගේ ද, ප්‍රභූන්ගේ ද පසුම්බිවලට රිංගා, ඔවුන්ට දෂ්ට කොට, සමාජය ද විනාශ කළේ මුදල් පසුම්බිය නමැති විෂඝෝර සර්ප දණ්ඩා ය.
“මුදල කොතරම් බාල්දු වුව ද, සියල්ල උඩු-යටිකුරු කොට පෙරළයි; වරද නිවරද කරයි; මහල්ලා තිරිහන් කරයි; ආගම් සාදයි; ආගම් නසයි; මුස්පේන්තුවා පුදපඬුරු ලබන්නකු කරයි” යනුවෙන් මහා කවි විලියම් ශේක්ස්පියර් ලියා ඇත.
කාල් මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් මුදල පිළිබඳව කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලියා තිබෙන්නේ මෙසේ ය:
“මුදල සෑම වෘත්තියක් වටා ම භ්‍රමණය වන්නා වූ ප්‍රභා මණ්ඩලය ගලවා සුනුවිසුනු කර; වෛද්‍යවරයා, නීතිඥයා, පූජකයා, කවියා ආදි සමාජයේ සෑම තරාතිරමක ම මිනිසුන් වැටුප් වහලුන් බවට පත් කරන්නේ ය.”
ශ්‍රී ලංකාව වනාහි පාලක ප්‍රභූ පැලැන්තියේ මුදලට ඇති ගිජු බව නිසා අගාධයට වැටුණු රටකි. දශක හතකට වැඩි කාලයක් ජාතියේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටි පාලකයන් සිටියේ සර්පයා කරේ දා ගෙන ය. ශ්‍රී ලංකාව වූ කලි සෑම තරාතිරමක ම මිනිසුන් තම තනතුරේ බලය හා ශක්තියේ ප්‍රමාණයට මහජන මුදල් සොරකම් කොට තම පසුම්බිවල දමා ගැනීම පුරුද්දක් කර ගෙන සිටි රටකි. රට වෙනුවෙන් ශ්‍රමය වගුරන, දහඩිය හෙළන මිනිසාට පසුම්බියක් නැතුවා මෙන්ම සර්පයා ද ඔහු අත්හැර ගොසිනි. අපේ රටේ ආර්ථිකය අර්බුදයක් වී තිබුණේ ලොක්කන් හට නොව, සොක්කන්ට ය.
රට බංකොලොත් වත් ම පාලකයන්ගේ බැංකු ගිණුම් තර විය; රටේ භාරකරුවෝ පොදු එකඟතාවකින් පොදු දේපොපළ සොරකම් කිරීම ක්‍රීඩාවක් කර ගෙන සිටියෝ ය. බුදුන් වහන්සේ විසින් ඇඟිල්ල දිගු කර පෙන්වන ලද විෂඝෝර සර්පයා රට නන්නත්තාර කර තිබිණි. සර්පයාගෙන් මිදෙන්නට බුදුන් වහන්සේ දෙසා වදාළ බණ අපේ රටේ පාලකයන්ට වැටහුණේ නැත; නැත හොත් තේරුම් ගන්න වුවමනාවක් තිබුණේ නැත.
පමා වී නමුත් ජනතාවට සිහි නුවණ පෑදීමත් සමඟ මේ වන විට රටට ඉහළින් පැවති අඳුර පහ වී යමින් තිබේ. වර්තමාන ආණ්ඩුව වැසියන්ගේ සෑම දහඩිය බිඳුවක ම, සෑම රුපියලක ම වටිනාකම හඳුනා ගෙන තිබේ. මහජන මුදල් සතයකුදු වංචා නොකොට මහජන සේවය සඳහා යොදවන ප්‍රතිපත්තිසහගත පාලකයන් වෙත ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ භාරකාරිත්වය හිමි වී තිබේ. අහවලාගේ යෝජනාව මත, අහවලාගේ සංකල්පයට අනුව, අහවලා විසින් අහවල් ගොඩනැඟිල්ල හැදූ බව කියන නාම පුවරු මෙයින් මත්තට රජයේ ගොඩනැඟිලි සඳහා සකස් වන්නේ නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පසුගියදා ප්‍රකාශ කළේ ය. රජයේ මුදල් වෙන් කෙරෙන්නේ ඉංජිනේරුවන් හදන සැලසුම් මත පමණක් බව ද; ගොඩනැඟිලි ඉදි වන්නේ දේශපාලකයන්ගේ අවශ්‍යතාව මත නොව, ඒ ඒ අමාත්‍යාංශවල අවශ්‍යතාව මත ආයතන ප්‍රධානීන් විසින් කරනු ලබන නිසි තක්සේරුවකින් පසුව පමණක් බව ද හෙතෙම අවධාරණය කළේය. ඒවා මහජන ආයතන සහ මහජන දේපොළ වන අතර, අහවලා කළ බව කියා ගල් පුවරු සවි කරන්නට කිසිදු දේශපාලකයකු මින් ඉදිරියට ඉදිරිපත් නොවනු ඇත.
රට වෙනස් වී තිබේ. වසරාන්ත නිවාඩුවේදී මේ රටේ මැති ඇමැතිවරු විවිධ රාජකාරි කටයුතු සඳහා බව පවසමින් මහජන මුදලින් ස්වකීය පවුල් පිටින් විදේශගත වන සම්ප්‍රදාය ඉතිහාසයේ පළමු වරට බිඳ දමන ලදි. කිසිදු ඇමැතිවරයකු මෙවර නත්තලට, ජනේරුවට රට ගියේ නැත; පාටි දැම්මේ නැත.
රටේ ජනතාවට අවශ්‍ය ව තිබුණේ එවැනි ඇඟට දැනෙන වෙනසකි.
වගකීමක් හෝ වග වීමක් නැති දේශපාලකයන්ට මින් ඉදිරියට මේ රට අයාලේ යවන්න ඉඩ ලැබෙන්නේ ද නැත.
වැඩ කරන ජනතාවගේ ශ්‍රමයේ වටිනාකම ප්‍රතිලාභයක් ලෙස ඔවුන් අතට ම ලැබෙන නව ශ්‍රී ලංකාව බිහි කිරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට රටේ දේශපාලකයන් සහ පුරවැසියන් අත්වැල් බැඳ ගෙන තිබේ. සෑම පුරවැසියකු ම ස්වකීය පුරවැසි යුතුකම නොපිරිහෙළා ඉටු කළ හොත් පොහොසත් රටක් ලස්සන ශ්‍රී ලංකාවක් නුදුරේ දී ම අපට දකින්න හැකි වනු ඇත.