Home » පිත වැඩි වූ විට ලෙඩ වැඩි වන හැටි

පිත වැඩි වූ විට ලෙඩ වැඩි වන හැටි

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

මිනිස් සිරුර ගත් විට වාත, පිත්ත, කප ලෙස තුන්දොස් පවතී. මේ තුන්දොස් සමතුලිතව පවතින්නේ නම් ඔහු නීරෝගි පුද්ගලයකු ලෙස හඳුනාගැනේ. එහෙත් පුද්ගලයන්ගේ ප්‍රකෘතිය වෙනස්ය. අයකු වාතප්ප්‍රකෘතිකයකු විය හැකිය. අයකු පිත්තප්ප්‍රකෘතිකයකු විය හැකිය. තවත් අයකු කප ප්‍රකෘත්තිකයකු විය හැකිය. ඒ අනුව පුද්ගල දේහ ලක්ෂණ, ශරීර ලක්ෂණ, හැසිරීම් රටාද වෙනස් වේ.

පිත්තප්ප්‍රකෘතිකයෙක් වේගවත්ය. ශරීර අභ්‍යන්තරයේ පිත මිනිස් ශරීරයට ඉතා වැදගත්ය. මක් නිසාද යත්: පිත් ශ්‍රාවය නිසා අප ගන්නා ආහාරවල ජීර්ණය ඇති කරන බැවිනි. මේ පිත් ශ්‍රාවය අඩු වැඩි වීම මත ආහාර දිරවීම වෙනස් වේ. හමේ වර්ණය, මොළයේ ක්‍රියාකාරිත්වය, පෙනීම වෙනස් වීම් සඳහාද පිත් ශ්‍රාවය බලපාන්නා සේම පිත් ශ්‍රාවයේ අසමතුලිත බව ශරීර ක්‍රියාකාරිත්වයටද බලපෑමක් ඇති කරයි.

‘රත් පිත ඉහට ගහලා ’ යන කියමනක් අපේ ජන වහරේ පැනේ. පිත වැඩි වීමත් සමඟ අපට මල මඟින් රුධිරය පිට වීම, කාන්තාවන්ගේ මාස් ශුද්ධිය වෙනස් වීම හෝ අධික ලෙස මාස් ශුද්ධිය වීම සහ නාසයෙන් ලේ යා හැකිය. මේ තත්ත්ව ලේ පීනස ලෙස හඳුන්වනු ලැබේ.

එබැවින් හොඳට නරකට දෙකටම එක සේ බලපාන පිත විශේෂයෙන් කළමනාකරණය කරගත යුතුව ඇත.

පිතට හේතු

මේ රෝග වැලඳෙන්නේ සමහර විට අප ගන්නා ආහාරවලින්, අධික සිතිවිලිවලින්, නිසි නින්දක් නැතිකමෙන් සහ අප ඉන්නා පරිසරය හෝ දේශගුණ විපර්යාස නිසා විය හැකිය. උෂ්ණ කාලවලදී පිත ඇති විය හැකිය. මේ පිත අපේ ලේවලට එක් වී වෙනත් රෝග ලක්ෂණ ලෙස මේ තත්ත්වය ප්‍රකාශ කරයි. සමහර විට චර්ම රෝගි තත්ත්ව, ඇස් රතු වීම, පාද දැවිල්ල හා මූත්‍ර දැවිල්ල ඇති විය හැකිය.

අච්චාරු, තක්කාලි, බල මාළු සැමන්, ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන් වැනි උෂ්ණාධික ආහාර, පිටි සහිත ආහාර අධික ලෙස ගන්නා පුද්ගලයන්ගේ පිත වැඩි විය හැකිය. එමෙන්ම මානසික අවිවේකීතාව ඇති පුද්ගලයන්ගේ පිත වැඩි විය හැකිය. මේ නිසා ඇති වන්නේ තාපයය. නිසි ස්නානයක් නැතිනම් එයද පිත වැඩි වීමට හේතුවකි. විවිධ රසකාරක, අධික ලෙස මත්පැන් භාවිතය පිත කෝප කිරීමට බලපායි. එමෙන්ම අධික ලුණු මිරිස් කුළුබඩු යෙදූ ආහාර නිසාද නිසි වේලාවට ආහාර නොගැනීම නිසාද පිත කෝප වේ. ගම්මිරිස්, අමුමිරිස් භාවිතයට යොමු වීම සුදුසුය. අප අවශ්‍ය පමණට ජලය පානය නොකිරීමද පිත කෝප වීමට බලපායි. නිරන්තරයෙන් ශරීරයට අවශ්‍ය වන යහපත් දේ සපයා දීම පිත කළමනාකරණයට ඉතා වැදගත්ය.

පිත වැඩි වූ විට කළ යුත්තේ කුමක් ද?

පිත යන්න ගින්දර හෙවත් දැවිල්ල සමඟ සම්බන්ධ වේ. පිත ඉහළට ගිය විට ඇති වන තත්ත්වය පීඩාකාරිය. නින්ද යන්නේ නැත. පිත යටට ගිය විට අපේ යටි පතුල් පැළීම, යටි පතුල් දැවිල්ල ඇති වේ. යටි පතුල් පැළෙන අවස්ථාවලදී වැටකෙයියා මුල් ටිකක් ගෙන පුච්චා එළඟි තෙලෙන් අනා ගෑම සරල ප්‍රතිකර්මයකි. බාහිර විෂ හේතුවෙන්ද පිත කෝප විය හැකිය. පොළඟකු වැනි උග්‍ර විෂ සහිත සර්ප දෂ්ටනයකදී කෝප වන්නේ අපේ පිතය. සිරුරෙන් ලේ පිට වන්නේ එබැවිනි.

කාලය අනුවද ශරීරය සිසිල් කරන ආහාර රටාවකට හුරු වීම ඉතා උචිතය. වියළි කලාපයේ කැකිරි, පුහුල්, පිපිඤ්ඤාවලට උචිත පරිසර තත්ත්ව ඇති වී තිබෙන්නේ නිකම් නොවේ. මේ කාලපවල ජීවත් වන අය කැකිරි, පිපිඤ්ඤා, පුහුල්, අළුකෙසෙල් වැනි ආහාර කෑම වේලට එක් කරගැනීම ඉතා වැදගත්ය.

පිතට අප බොහෝ වෙලාවට සිදු කරන්නේ වමනය කරවීමය. වමනය කරවීම පංචකර්මයෙන් එකකි. අපේ සම්ප්‍රදාය තුළ යෝග ව්‍යායම ක්‍රමය තුළ හිස්බඩ වතුර බීමට දී වමනය කරවීමෙන් බඩෙන් හිස් වන ජලය පිට වන්නේ පිතත් සමඟය.

කෑම බීම

සිසිල් කරන පාන වර්ග දිය හැකිය. අනෝදා, බෙලිමල්, රණවරා වැනි සිසිල් කරන පාන වර්ග ගත හැකිය. උදෑසනට බොන හාතවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න, කොහිල වැනි කොළ කැඳ කෝප්පයක් ද ශරීරය සිසිල් කරයි. එහෙත් ඒ කැඳ වර්ග අප ගත යුත්තේ කාලය අනුවය. අධික වර්ෂා කාලයකට හාතවාරිය, ගොටුකොළ, මුගුණුවැන්න කැඳ භාවිතය සුදුසු නැත. ආහාර ගත යුත්තේ පාරිසරික කාරණා තේරුම්ගෙනය.

උදෑසනට ඉඟිනි ඇට කුඩු ටිකක් සුදු හඳුන් කුඩු ටිකක් දමා තැඹිලි ගෙඩියක් පානය කිරීමට දීමෙන් පිත අඩු කළ හැකිය. එළියට නිරන්තරයෙන් තෙල් වර්ග භාවිත කිරීම සුදුසුය. වැටකෙයියා මුල්වලින් හදන රත් පිත් නාශක තෙල් වැනි විශේෂ තෙල් වර්ග නැති නම් නීල්‍යාදි තෛලය හෝ හිස ගැල්වීම ඉතා වැදගත්ය.

එමෙන්ම රත් පිත නිසා රාත්‍රියට නින්ද නොයන අයට වැටකෙයියා පැදුර ඉතා උචිතය. වැටකෙයියා කැඳ, කිතුල්බොඩ කැඳ, පොල් බොඩ කැඳ, කිතුල් බොඩ සහ පොල් බොඩි ව්‍යාංජනය රත්පිත ඇති රෝගීන්ට කදිමය. කෝමාරිකාද රත් පිත් රෝගීන්ට කදිමය. කෝමාරිකා යුෂ මෙන්ම කෝමාරිකා ව්‍යාංජනයද ආහාරයට ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division