ලංකාව වටා ඇත්තේ අති මනරම් සුන්දර මුහුදු තීරයකි. දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් වශී කරවන මෙම සුන්දර මුහුදු තීරයේ මවිත කරවන සුළු සුන්දරත්වයක් ගැබ්ව ඇති බව බොහෝ දෙනා දන්නේ නැත.
සාගර ජීවින්ගෙන් සියයට විසි පහක් පමණ ඔවුන්ගේ ජීවන චක්‍රයේ අත්‍යාවශ්‍යම අවදිය ගතකරන්නේ කොරල් පර ආශ්‍රිතවය. තවත් 4000කට අධික මත්ස්‍ය විශේෂ, අතිවිශාල අපෘෂ්ඨවංශික හා ශාක විශේෂ ප්‍රමාණයක් ද කොරල්පර වටපිටාවෙන් නවාතැන්, ආහාර, ප්‍රජනනය සහ ආරක්ෂාව සලසා ගනී.
කොරල් පර පද්ධති නිර්මාණය කරන්නේ කොරල් බුහුබාවා ( coral polyp) නමින් හඳුන්වන කුඩා ජීවි විශේෂයක් විසිනි. ලෝකයේ අනෙකුත් සාගර කලාපවලට සාපේක්ෂව අප ජීවත් වන ඉන්දු පැසිෆික් කලාපය ඉහළම කොරල් ගහනයකින් යුක්ත වේ. වේයෙක් තුඹසක් බඳින්නාක් මෙන් බුහුබාවා නම් කුඩා සතකු විසින් තමන් ස්‍රාවය කර ගන්නා කැල්සියම් කාබනේට් එකතු කර ගනිමින් කොරල් ගහන හෙවත් කොරල් කොලනි ( coral colony ) සකස් කර ගනියි. මෙම කොරල් කොලනි රාශියක් එකතු වීමෙන් අප දන්නා කොරල් පරයක් නිර්මාණය වෙයි. දුම්රිය ස්ථානයේ වේදිකාවක් මෙන් ඝණ ස්ථරයකින් මෙම කොරල් පර සැදුම් ලබයි. මේවා බොහෝ විට පිහිටන්නේ වෙරළ කලාපයට සමාන්තරවය.
කොරල් පරයක් සෑදෙන්නේ කෙසේද?
කොරල් පරයක් වැලි පසෙක සෑදෙන්නේ නැත. ඒ සඳහා ඝන උපස්තරයක් තිබිය යුතුය. ඝන උපස්තරය මත බුහුබාවා නම් ජීවිය විසින් කොරල් ලාවා හෙවත් කුඩා කීටයන් සාදයි. එය ඉතා කුඩා සත්ත්වයෙකි. එය වතුරත් සමඟ ගසාවිත් එක් කුඩා බුහුබාවෙකු නිර්මාණය වෙයි. එම බුහුබාවා නැවතත් විභේදනය වීමෙන් කොරල් ගහනයක් නිර්මාණය වෙයි. මේ තුළ බුහුබාවුන් ගණනාවකි. එවැනි දෑ එකතු වීමෙන් කොරල් පරයක් නිර්මාණය කෙරෙයි.
කොරල් පර වර්ග
කොරල් පර වර්ග ප්‍රධාන වශයෙන් 3 කි. ඒ Firing Reef හෙවත් වැටිපර, Barrier reaf හෙවත් බාධක පර හා Atolls reef හෙවත් අතොල පරය. වැටිපර ඇත්තේ වෙරළ කලාපයත් සමඟය. වෙරළ කලාපය හා වැටි පර අතර වූ ප්‍රදේශය කොරල් කලපු ප්‍රදේශයකි. එහි ගැඹුර මීටරයක් දෙකක් පමණ වෙයි. මෙම පරය ඊට තවත් කිලෝ මීටර් තුන හතරක් ඈතින් පිහිටි විට එය බාධක පරයක් වෙයි. බාධක පරය ඈතින් පිහිටන නිසා දැක ගැන්ම අසීරුය. එයින් ඔවුන්ට සිදුවන බාධාවන් අවමය. මෙම කොරල් කලපුවේ ගැඹුර මීටර 50- 100 ක් පමණ විය හැකියි. වැටි පරවලට මිනිස් අත පෙවීම් වැඩි නිසා ඉතා ඉක්මනින් විනාශ වුවද බාධක පර මිනිසුන්ගේ අත පෙවීම් නොමැති නිසා ආරක්ෂිතය. ලංකාවේ කුඩා රාවණා හා මහ රාවණා යනු බාධක පරයකි. කල්පිටියේ බාර් පරයද බාධක පරයකි. සිලාවතුරේ වූ කොරල් පරයද බාධක පරයකි. හික්කඩුව, මාතර, වැලිගම, යාපන දූපත්වල ඇත්තේ වැටි පරය.
Attols reef හෙවත් අතොල පර ඇත්තේ රවුමටය. අතොල පර හැදෙන්නේ ගිනි කඳු ආශ්‍රිතවය. ගිනි කන්ද මුහුදට සම්බන්ධ වන ස්ථානයේ මෙම පර සකස් ව පසුව වසර දස දහස් ගණනකට පසු මුහුදට ගිලා බැස්ස පසු මුහුද මැද කොරල් වට රවුමක් ඉතිරි වෙයි. මෙය අතොල පරය. ලංකාවේ අතොල පර දකින්නට නැත. ලංකාවට ළඟම අතොල පර දකින්නට හැකි වන්නේ මාලදිවයිනේ පමණි. මේවා මුහුද මැද පිහිටන නිසා ජෛව විවිධත්වයෙන් අති අනූනය.
ලංකාවේ කොරල් පර
ලංකාවේ බොහෝ ස්ථානවල කොරල් පර දැකිය හැකිය. බේරුවල, හික්කඩුව, අහංගම, වැලිගම, මිරිස්ස, තංගල්ලත් ඉන් අනතුරුව පාසිකුඩාවලත් කොරල් පර දකින්නට ලැබෙයි. කල්කුඩා, පාසිකුඩා, වාකරේ, මුත්තූර්, ත්‍රිකුණාමලය, නිලාවේලි, කන්කසන්තුරේ මෙන්ම යාපනය දුපත්හි, මන්නාරම, සිලාවතුර, වෙඩිතලතිව් ආදි පැතිවල කොරල් පර දැක ගන්නට හැකිය. නමුත් ලංකාව වටා සෑම මුහුදු තීරුවකම කොරල් පර පිහිටා නැත. එසේම පියවි ඇසට දැකිය හැකි හොඳම කොරල් පර බැලීමට යන්නේ නම් යා යුත්තේ ත්‍රිකුණාමලයට හෝ සිලාවතුර ප්‍රදේශයටය. කොරල් පරයක් දැක ගන්නට ගිය පසු එහි ඇති කොරල් ගහන පහසුවෙන් හඳුනාගත හැකිය. සමහර විට එහි සිටිනා බුහුබාවා ද දැකිය හැකි වන්නේය. සමහරක් කොරල් පර මුහුදු ජලයේ ඉණ වටා බැස ගත්පසු පහසුවෙන් බලාගැනීමේ හැකියාව ඇත.
කොරල් ත්‍රිකෝණය
අපේ පොල් ත්‍රිකෝණය මෙන් කොරල් ත්‍රිකෝණයක් ඇතිබව බොහෝ දෙනා දන්නේ නැත. ඒ ඉන්දුනීසියාව, මැලේසියාව,පැපුවා නිව්ගිනියාව, පිලිපීනය මෙන්ම සොලමන්ස් දූපත් එයට අයත් වෙයි. ලොව හොඳම කොරල් පිහිටා ඇත්තේ මේ ත්‍රිකෝණයේය. ඉන්දියාවද කොරල් පර බහුල රටකි. අප දන්නා පරිදි ලංකාවේ බොහෝ කොරල් පර එකම කාල වකවානුවකට අයත් බව පරිසර විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේය. කොරල් පර ලංකාවේදී ද පහසුවෙන් දැකිය හැකි වුවද කොරල්පර සම්බන්ධයෙන් අප රට සිටින්නේ දෙවැනි මට්ටමේය. එම අගයද මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යන්නේය.
වැදගත්කම
කොරල් පර නිසා වාතය පිරිසුදු වීම සිදුවන්නේ නිතැතිනි. ඒ කොරල් පරයක් සකස් වීමට අවශ්‍ය කැල්සියම් කාබනේට් සඳහා අවශ්‍ය කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයෙන් උරා ගන්නා නිසාය. එහෙයින් දේශගුණ විපර්යාසයන් සිදුවීම වළක්වා ගැනීමෙහිලා ද සිදුකරන්නේ වැදගත් කාර්යභාරයකි. වෙරළ ආරක්ෂණය, කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම, ඖෂධ නිෂ්පාදනය සඳහා කොරල් වැදගත් සාධකයක් වෙයි. ජෛව තාක්ෂණය සම්බන්ධයෙන් මෙන්ම නව නිපැයුම් සම්බන්ධයෙන්ද කොරල් පර වැදගත්කමක් උසුලයි.
තිරසර භාවිතයෙන් මේ දේ කළ හැකි වුව ද, බොහෝ දෙනා ඊට හානිවන පරිදි භාවිතයට ගනිති. බොහෝ අය පහසුවෙන් මාළු අල්ලා ගැනීමට කොරල් පරවලට ඩයිනමයිට් යොදා පුපුරා මාළු අල්ලා ගනිති. අවසානයේ වසර ගණනාවක් තුළ ගොඩ නැඟුණු කොරල් පර අකාලයේ විනාශ වෙයි. කොරල් පර හානි කිරීම් සම්බන්ධව නීතිමය තත්ත්වයන් තිබුණ ද එය ක්‍රියාත්මක වේද නැද්ද ගැටලුවකි. වර්තමානයේ බොහෝමයක් කොරල් පර විනාශ වී ගොස් හමාරය. ප්ලාස්ටික් දූෂණය, සාගර දූෂණය, පරිසර දූෂණය, ගස් කැපීම, ධීවර කර්මාන්තයේ අනිටු බලපෑම් නිසා මෙන්ම හුනුගල් කර්මාන්තය නිසා කොරල් පර විනාශ වී හමාරය. මේ වන විට ලංකාවේ කොරල් පර සියයට 90ක්ම විනාශ වී ගොස් ඇති බව පරිසර වාර්තා පවසයි. අලුත් කොරල් පර සකස් වීමට ඉඩක් තිබුණද ඊට විරුද්ධව විවිධ දේශගුණික තත්ත්ව හා පරිසර වෙනස් වීම් නිසා කොරල් අලුතින් හටගැනීමට බාධා ඇති වෙයි. අධික ලෙස ආහාර පිණිස මසුන් ඇල්ලීම සහ විසිතුරු මසුන් ඇල්ලීම කොරල්පරවලට ඇති තවත් තර්ජනයකි. කොරල් මත්ස්‍ය විශේෂ සහ අනෙකුත් ජීවීන් අධික ලෙස සූරාකෑම පරිසර පද්ධතියේ ආහාර දාම අතර සම්බන්ධතාවය ගිලිහීමට හේතු වේ. බෝට්ටු නැංගුරම් කොරල්පර තුළ භාවිතය, ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම, හානිකර දැල් වර්ග යොදා මසුන් ඇල්ලීම මගින් විශාල වශයෙන් කොරල් පර විනාශය සිදුවේ. ශ්‍රී ලංකාවේ සාගර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය මුළුමනින්ම පාහේ කොරල් පර පරිසර පද්ධති මත යැපෙන බැවින් එය එහි සමතුලිතතාවයට බෙහෙවින් බලපානු ඇත. එබැවින් කොරල් පර පරිසර පද්ධති හායනය වීමත් සමඟ එම කර්මාන්ත තිරසර නොවන තත්ත්වයට පත්වෙමින් පවතී.
මෙලෙස අධික ලෙස සිදුවන කොරල් විනාශයට හේතුවන ක්‍රියාකාරකම් හමුවේ කොරල් සංරක්ෂණයට සහ ආරක්ෂාවට ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කොරල් සම්බන්ධව ප්‍රමාණවත් දත්ත නොමැති වීමද සංරක්ෂණ කටයුතු සඳහා බාධා ගෙන දෙයි. එබැවින් ඉතා ප්‍රබල සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ගයන් නොගතහොත් මෙම වටිනා සම්පත අප භූමියෙන් තුරන්වී යාම නොවැළැක්විය හැකි වනු ඇත.
සාගර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර
සුභාෂිණි ජයරත්න