ආණ්ඩු මාරු වෙන වාරයක් ගානේ වෙලන්ආර යපස් නිධිය ගැන කතා කළාට ඒ වෙනුවෙන් කිසිම දෙයක් වෙලා නැහැ
– ගම්වැසියෝ කියති
ආයෝජනයක් කරන්න හොඳම තැනක්
– බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ආර්. එස්. තිලකරත්න
මම මේකෙන් යකඩ හදලා හෙළ වානේ කියලා නමත් දැම්මා
– මහාචාර්ය අතුල සේනාරත්න
වුරුදු විසිපහක් තිහක් තිස්සේ මේ යපස් නිධිය ගැන කතා කරනවා. ආණ්ඩුවක් අලුතෙන් එනකොට මේ ගැන කරලියට එනවා. ඒත් ටික දවසක් යනකොට ආයෙත් අමතක වෙනවා. හැමෝම කියන්නේ ඩොලර් නෑ කියලා. කෝටි ප්‍රකෝටි ගානක් වටින මේ සම්පත දවසෙන් දවස පොළොවට දිරාපත් වෙමින් යනවා. ලංකාවට ඩොලර් නෑ කියලා කෑගහනවා. මෙච්චර සම්පතක් තියෙද්දි දැක්කේ නෑ වගේ ඉන්න එකයි අපිට තියෙන දුක. ” ඒ චෝදනාව කළේ බුත්තල වෙලන්ආර යපස් කන්ද ආසන්නයේ පදිංචි ටෙනිසන් සමරසේකර ය.
රටට රුපියල් කෝටි ගණනක විදේශ විනිමය උපයා දිය හැකි බුත්තල යපස් නිධිය පිළිබඳ නැවත වතාවක් කතා කරන්නට සිදුවී ඇත්තේ එවකට මෙම යපස් නිධිය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භුගර්භ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය හා හිටපු උපකුලපති අතුල සෙනාරත්න ඇතුළු පිරිසක් මීට දෙවසරකට පමණ පෙර සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් ද ප්‍රගතියක් අසන්නට දකින්නට නැතැයි ගම්මු නඟන වෝදනා නිසාය.
ආසියාවේ විශාලතම යපස් නිධිය ලෙස සැලකෙන මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුමාරගම ග්‍රාමසේවා වසමේ පිහිටි පිහිටි හොරක්ගොඩ කන්ද හෙවත් වෙලන්ආර කන්ද නමින් හඳුන්වන කන්දේ පිහිටි මෙම යපස් නිධිය සම්බන්ධයෙන් මුලින්ම කතිකාවක් ඇති වන්නේ 1995 වර්ෂයේදීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ආචාර්වරුන් පිරිසක් හා ශිෂ්‍යයන් පිරිසක් එක්ව මෙම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ පර්යේෂණවලදී මෙම යපස් නිධියේ යකඩ මෙට්‍රික් ටොන් මිලියන අනුවක් ඇති බවත් එය හෙක්ටයාර් 65ක් පුරා පැතිර ඇති බවත් හඳුනා ගත්හ.
තවද මෙම යපස් නිධිය භුමි මට්ටමින් අඩි 150ක් ගැඹුරට පැතිර ඇති බවත් මෙහි ඇති ද්‍රව්‍යවලින් 97.5%ක්ම ඇත්තේ යකඩ බවත් යපස්වලට අමතරව පැතිර පවතින අනෙක් ඛනිඡ ද්‍රව්‍ය වන්නේ ටයිටේනියම් බවත් එය ප්‍රතිශතයක් ලෙස 3%කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් පර්යේෂණයෙන් තහවුරු විය.
ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසන්නේ මෙවන් අදහසකි.
“ආණ්ඩු කීයකට අපි මේවා කියලා තියෙනවාද? ඇමැතිලා එක්කගෙන ගිහින් පෙන්නලා තියෙනවද? කොයි ආණ්ඩුවත් එනකොට මේ ගැන කතා කරනවා. නමුත් සම්පත් ප්‍රයෝජනයට ගත්ත ආණ්ඩුවක් තවමත් නෑ. දැනට ලෝකේ හොයගෙන තියෙන පිරිසිදුම ඛනිජ නිධි අතර මේ බුත්තල යපස් නිධියට සුවිශේෂී තැනක් ලැබෙනවා. යපස් සඳහා ඉන්දියාව හා ඕස්ට්‍රෙලියාවෙත් චීනයෙත් විශාල ඉල්ලුමක් තියෙනවා. විදේශිකයන් බොහෝ පිරිසක් මේ නිධිය සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දැක්වූවා. නමුත් ලංකාවේ අය මේ සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් දැරුවේ නෑ. ඒක නිසා ලංකාවට පසුගිය අවුරුදු 20ක කාලය ඇතුළත විශාල පාඩුවක් වෙලා තියෙනවා. සංඛ්‍යත්මකව කිව්වොත් පසුගිය වසරේ ලංකාවට ඩොලර් මිලියන 540ක වානේ ගෙනැවිත් තිබෙනවා. අපි මේ සම්පත හොයලා දීලා කරුණු ඉදිරිපත් කරලා වසර 20කට වැඩියි. ඒ කාල සීමාව ඇතුළදිවත් මේක ප්‍රයෝජනයට අරගෙන තිබුණා නම් අපේ රටට ඩොලර් මිලියන 10000ක මුදලක් පැහැදිලිව ඉතිරි කරගන්න තිබුණා. අපි කිව්වට කවුරුවත් ගණන් ගත්තේ නෑ.”
එවකට නිකුත් කළ පර්යේෂණ වාර්තාව අනුව මෙම යපස් නිධිය විධිමත්ව ප්‍රයෝඡනයට ගැනීම සිදු කළේ නම් වාර්ෂිකව අපේ රටට ගෙන්වන මෙට්‍රික් ටොන් 60000ක යකඩ ප්‍රමාණය නවතා ගැනිමට හැකිව තිබූ බවත් පළමු වසර තුළ රුපියල් දසලක්ෂ 2400ක් අපේ රටේ ඉතිරි කර ගැනීමට හැකියාව තිබු බවත් වසර හතරක් තුළ එම මුදල රුපියල් දශලක්ෂ 11200ක තරම් විශාල අගයක් වන බවත් වසර සියයක කාලයක් පුරා ප්‍රයෝජනයට ගැනීමට හැකි සම්පතක් බවත් එවකට සිදු කළ ගණනය කිරීම්වලදී අනාවරණය කරගෙන තිබිණි.
මෙම යපස් නිධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ විමෙන් පසු ලංකාවේ ඛනිඡ කැණීම සම්බන්ධයෙන් ප්‍රකට සමාගම් දෙකක් මෙහි කැණීම් කරන්නට ඉදිරිපත් වූ අතර, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මඟින් අවසරය ලැබුණේ අනුරාධපුර ප්‍රකට ව්‍යපාරිකයකුට අයත් කැණීම් සමාගමකටය.
ඒ අනුව ඔවුන් මෙම යපස් නිධියේ ගවේෂණ කටයුතු සදහා 2003-07-03 දින නව සමාගමක් ලෙස ලියාපදිංචිය කළ අතර, එය වාණිඡ ගවේෂණය සඳහා පමණක් නොව වාණිඡ කැණීම් පිරිසිදු කිරීම හා අපනයනය සඳහා කටයුතු කිරීමටද අවසරය ලබා ගෙන තිබිණි.
ඒ අනුව මෙම සමාගම කැණීම් කරන යපස් ඉන්දියාවට අපනයනය කිරිමට කටයුතු සැලසුම් කර තිබු අතර ප්‍රදේශවාසීන්, පරිසර සංවිධාන, දේශපාලන කණ්ඩායම් ඇතුළු පුද්ගලයන්ගෙන් එල්ල වූ විරෝධතාව හමුවේ හකුලා ගැනීමට ඔවුන්ට සිදු විය.
“සමහරුන්ට අවශ්‍ය වුණා මේක පවුඩර් කරලා ටොන් එකක් ඩොලර් 20-30ට පිටරට යවන්න. මම ඒකට විරුද්ධ වුණා.කර්මාන්තයක් කරන්න තරම් දෙයක් නැති නිසා ඒකට ඉඩදෙන්න කියලා සමහරු මට කිව්වා. ඒ වෙලාවේ මම කිව්වා වෙනත් විශ්වවිද්‍යාල කණ්ඩායමක් දාන්න මේකේ තත්ත්වය තහවුරු කරගන්න කියලා. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් පරීක්ෂණය කළා. ඔවුන්ගේ වාර්තා අනුව මේකෙන් මෙට්‍රික් ටොන් මිලියන පනහකට වඩා තිබෙන බව තහවුරු වුණා. ඒ අනුව මේ කන්ද ආණ්ඩුවට ගත්තා.දැන් එය පරිසර අමාත්‍යාංශය යටතේ තියෙන්නේ. මේ සම්පත කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබුණා නම් මීට වඩා ඵලදායි වෙන්න තිබුණා. ඉන්දියාවෙන් ඇවිත් ආයෝජයන කරන්න සුදානම් වුණා. ඒ අයත් කිව්වා මේකේ මිලියන 40කට වඩා වැඩියෙන් තියෙනවා කියලා. නමුත් ඒ අයට අවස්ථාව ලැබුණේ නෑ. ඔස්ට්‍රෙලියන් කණ්ඩායමක් මෑතකදීසි මාත් එක්ක ආවා ඔවුන් ආයෝජනය කරන්න කැමතියි කර්මාන්ත ශාලාවක් දාන්නත් කැමතියි ඒ විතරක් නෙවෙයි මෙහේ ඉඳලා හම්බන්තොට දක්වා රේල් පාරකුත් දාන්න කැමතියි කිව්වා. ඒ වගේම අෙමරිකන් ඩොලර් මිලියන තුන්සියක ආයෝජනයක් අපේ රටේ කරන්න කැමතියි කියලත් කිව්වා. මේකේ බලපත්‍රය තියෙන්නේ ආණ්ඩුවට ඒ නිසා මම 20019 පෙබරවාරි මාසයේ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. මේ කර්මාන්තය ආරම්භ කළොත් මේ ගමේ ජනතාවට විශාල සහනයක් වෙයි. මම මේකෙන් යකඩ හදලා හෙළ වානේ කියලා නමකුත් දැම්මා. හරිම ශක්තිමත් වානේ මේ යපස්වලින් නිෂ්පාදනය කරන්න පුළුවන්” යැයි මහාචාර්යවරයා කියා සිටියේය.
“මේක දියුණු කරන්න පුළුවන් සම්පතක්. රස්සා දෙන්න පුළුවන්. අපි කරන්නම් කියලා දේශපාලකයෝ ජන්දේ කාලෙට එනවා විතරයි. ආයේ පැත්ත පළාතේ දකින්නවත් නෑ. අපි ගම්වාසීන් විදිහට නැවත වතාවක් කියන්නේ මේ සම්පතෙන් ප්‍රයෝජනයක් ගන්න. මේවා හදනකොට පරිසරය විනාශ කරනවා කියලා සමහරු කෑ ගහනවා. එතකොට මේ කන්ද වටේටම ගල්කොරි හය හතක් දාලා තිබුණා. එතකොට ඔය කියන පරිසර විනාශය වුණේ නැද්ද? ඒකෙන් සත්තුන්ට පරිසරයට වුන හානිය කවුරුවත් දැක්කේ නැද්ද? පෙනුණේ නැද්ද?
අපිට තේරෙන විදිහට නම් මේක රටට මිල කළ නොහැකි ස්වාභාවික සම්පතක් මේක විධිමත් ලෙස ප්‍රයෝජනයට ගැනීමට වර්තමාන ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. එහෙම නැත්තන් වෙන්නේ ආණ්ඩු මාරුවෙනකොට මේක උඩට ඇවිල්ලා ආයෙමත් ආණ්ඩු මාරුවෙනකොට හමස් පෙටිටියට යන එක විතරයි. ඒක නිසා බුත්තල යපස් නිධිය පොළොවට පස් වෙන්න කලින් ප්‍රයෝජනයට ගන්න කියලා ගම්වාසීන් විදිහට අපි ඉල්ලා සිටිනවා “.යැයි යපස් නිධිය ආසන්නයේ පදිංචිකරුවකු වන ටෙනිසන් සමරසේකර වැඩිදුරටත් කියා සිටියේය.
බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්. එස්. තිලකරත්න මහතාගෙන්ද විමසීමක් කළෙමු. ඒ මහතා මෙසේ කීය.
“පේරාදෙණිය විශ්වවිදයාලයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. ඉතාම හොඳ තත්ත්වයේ යපස් තියෙන බවට එහිදී තහවුරු වෙලා තියෙනවා. වසර 25කට අධික කලයක් තිස්සේ විවිධ ආයෝජකයන් පැමිණියත් මෙම යපස් නිධිය ආශ්‍රිතව කර්මාන්තයක් ආරම්භ වුණේ නෑ . මේ වන විට එම කන්ද ඝන කැලෑවකින් වැසී තිබෙනවා. මෑතකදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කන්ද රක්ෂිතයක් ලෙස ගැසට් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මේ යපස් කන්ද භාවිතයට අරගෙන ලංකාවට ඉතාම හොඳ ආයෝජනයක් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා නැවත වතාවක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළකට ප්‍රමුඛතාව ලබා දීලා කන්දෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි.ආයෝජනයක් කරනවා නම් එය ඉතාමත් ඵලදායි ව්‍යපෘතියක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”
වැල්ලවාය විශේෂ - ජී. අයි. ආර්. ගරුසිංහ