ගාලු නගරය ජලයෙන් යට වී, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වීමට විනාඩි කිහිපයක තද වැස්සක් වුවද ප්‍රමාණවත්ය. ඊට හේතුව ගාලු නගරය සහ ඒ අවට තිබූ කානු පද්ධති බොහොමයක් අද වන විට රොන් මඩ, කැළිකසළ සහ වල්පැළෑටි පිරී යෑමෙන් වැසී ගොස් තිබීමය. අනෙක් අතට ජලය රඳන පහත් බිම් ගොඩ කර කැබලි කර විකුණා නිවාස ඉදි කර තිබේ. මෙබඳු අනවසර ඉදිකිරීම් ගාල්ලේ ඕනෑ තරම් දක්නට ලැබේ.
ගාලු නගරය අවට එකතු වන වැසි ජලය මුහුදට ගෙන යන ප්‍රධාන ඇළ මාර්ග දෙකක් තිබේ. එකක් වක්වැල්ල මාර්ගයට සමාන්තරව පැමිණ ගාලු කොටුව ආසන්නයෙන් මුහුදට එකතු වන ස්වාභාවික ඇළකි. එයට තවත් කැපූ ඇළක්ද ඕලන්ද පාලන යුගයේදී සම්බන්ධ කර ඇති බැවින් අදටත් මේ ඇළ කැපූ ඇළ ලෙස හඳුන්වනු ලබයි. අනෙක් ප්‍රධාන ඇළ මාර්ගය කහදූවත්ත, දංගෙදර හරහා ගලා ගොස් මාගාල්ලෙන් මුහුදට එකතු වන මොරගොඩ ඇළයි.
ගාලු නගරය ජලයෙන් යට වීම වැළැක්වීමේ අරමුණින් එවකට පැවති මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ මොරගොඩ ඇළ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වන්නේ 2014 වර්ෂයේදීය. එහෙත් මොරගොඩ ඇළ ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවේ අසාර්ථකම ව්‍යාපෘතිවලින් එකක් බවට පත්ව තිබේ. මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 3,447කි. ලෝක බැංකු ණය ආධාරයක් ලෙස එම ව්‍යාපෘතිය සඳහා මුදල් ලැබී තිබිණි. මේ ව්‍යාපෘතිය සම්පූර්ණ නොකර අතරමඟ නවතා දමා ඇත.
බෙලිගහ, දංගෙදර ඇතුළු ගාල්ලේ ජනතාව පවසන්නේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජලයෙන් යට වූවාටත් වඩා දැන් තම ගේදොර ජලයෙන් යට වන බවයි. මොරගොඩ ඇළට එකතු වන අතුරු ඇළ මාර්ග කැළිකසළ පිරී හිර වී ඇති බැවින් ජලවහන රටාවට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
දංගෙදර පදිංචි තිලක් සේනානායක මහතා මේ සම්බන්ධයෙන් අප හා පැවසුවේ මෙවන් අදහසකි:
“මම අවුරුදු තිහක් තිස්සේ වගකිව යුතු සෑම ආයතනයකට ලියුම් ලිවුවා. ඒත් මේ ප්‍රශ්නයට කවදාවත් විසඳුමක් නෑ. දැන් පොඩි වැස්සකදී පවා වෙනදාටත් වඩා අපේ ගෙවල් යට වෙනවා. බිත්ති පුපුරලා, ගෙවල් කඩාවැටෙන්න ළඟයි.”
මොරගොඩ මොරිස් පාර පදිංචි ආර්.කේ.එච්. නීතා මහත්මිය (74) මෙසේ කීවාය:
“අපි මේ ප්‍රදේශයේ පදිංචියට ඇවිත් අවුරුදු 25ක් වෙනවා. පැය භාගයක් තදට වැස්සොත් අපේ ගෙවල් යට වෙනවා. මේ අතුරු ඇළ මාර්ගවල කුණු සහ මඩ පිරිලා ගැඹුර අඩු වෙලා වතුර ගලාබහින්නේ නෑ. අවුරුද්දකට හත් අට වතාවක් අපේ ගෙවල් යට වෙනවා.”
මොරිස් පාර පදිංචි ඒසම් රිසාන් (47) මහතා:
“අපට තනිකරම ඉන්න වෙලා තියෙන්නේ ජරා ගොඩක. මේ කුණු ඔක්කොම සල්ලිකාරයන්ගේ. ඇළ දිගේ පා වෙලා එන අපද්‍රව්‍ය දිහා බැලුවම ඒක පේනවා. ඔක්කොම දවටන වර්ග, බෝතල් වර්ග සල්ලිකාරයො පාවිච්චි කරන දේවල්. දුප්පත් අපට සිද්ධ වෙලා තියෙන්නේ ඒ අපද්‍රව්‍ය නිසා දුක් විඳින්න. මේ කුණු බෝක්කුවල හිර වෙනවා. බෝක්කු ලොකු කරලා මේ ඇළ හදන තුරු අපට මේ දුක විඳින්න වෙනවා. ගාල්ල නගර සභාවට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අපි ඇති තරම් ලියුම් ලිවුවා; ගිහිල්ලා කිවුවා. ඒත් වැඩක් නෑ.”
මොරිස් පාර පදිංචි එම්.ඒ. අමීනා අයිශිස් (50) මහත්මිය:
“මේ ප්‍රදේශයේ ගංවතුර නවත්වන්න කියලා කෝටි ගණනක් වියදම් කරලා මොරගොඩ ඇළ ව්‍යාපෘතිය කියලා එකක් කළා. ඒක පටන්ගනිද්දී කිවුවා මේ ඇළ මාර්ග ඔක්කොම හදනවා කියලා. ඒත් හැදුවේ නෑ. මොරගොඩ ඇළ ව්‍යාපෘතිය කරන්න ඉස්සෙල්ලත් හයියෙන් වැස්සම අපේ ගෙවල් යට වුණා; ඒත් වතුර ඉක්මනට බැහැලා ගියා. දැන් ඉස්සරට වැඩිය අපේ ගෙවල් යට වෙනවා. ඉස්සර වගේ වතුර ඉක්මනට බැහැලා යන්නෙත් නෑ. වැස්සත් එක්ක ගෙවල් යට වුණාම මේ පැත්තේ ඉන්න දරුවො ඔක්කොම ලෙඩ වෙනවා. මගේ දරුවකුත් විෂබීජයක් ගිහින් මැරුණා. මහත්තයාට මී උණ හැදුණා.”
මේ ව්‍යාපෘතිය යටතේ මොරගොඩ ඇළේ මීටර 4,250ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබිණි. එහෙත් 2021 වර්ෂයේ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ විගණන වාර්තාවේ දක්වා ඇත්තේ ඒ දුරෙන් මීටර 1,850ක දුරක් පමණක් ප්‍රතිසංස්කරණය කර, අනෙක් කොටස අත්හැර දමා ඇති බවයි. ඒ අනුව මූලික සැලැස්මේ තිබූ මීටර 2,400ක දුරක් ප්‍රතිසංස්කරණය කර නැත.
ඇළ ඉවුරේ එක් පසෙක බැමි බැඳ, ඇවිදින මංතීරු සහ මාර්ගයක් පවා සකස් කර ඇති නමුත් ඒ මාර්ගය සංවර්ධනය කිරීමද අතරමඟ නතර කර තිබේ. අනෙක් ඉවුර සංවර්ධනය කර නැත.
අතුරු ඇළ මාර්ගවලින් පැමිණෙන ජලය ප්‍රධාන ඇළට එකතු කිරීමට තැන තැන බෝක්කු කිහිපයක් ඉදි කර ඇතත්, අතුරු ඇළ මාර්ග සංවර්ධනය නොකිරීම සහ ඒ බෝක්කු ප්‍රමාණවත් නොවීම නිසා ජලය බැස යන්නේ නැත.
විගණන වාර්තාවේ සහ ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකුව සකස් කළ වාර්තාවක දැක්වෙන්නේ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය යටතේ වැසි ජලය රඳවාගන්නා පොකුණු ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය ස්ථාන 8ක් සහ අපවහන පද්ධති 16ක් ඉදි කිරීමට යෝජනා කර තිබුණද ඒ කිසිවක් ඉදි කර නැති වීම නිසා ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවයි. ඒවා ඉදි කර නැත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ ගැටලු හේතුවෙන් බවද සඳහන් වේ.
ගාල්ල නගර සභාවේ හිටපු මන්ත්‍රීනි නිශාන්ති ප්‍රදීපිකා මහත්මිය පළ කළේ මෙවන් අදහසකි:
“මොරගොඩ ඇළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මීට සම්බන්ධ අතුරු ඇළ 26ක් හදන්න නියමිතව තිබුණා. ඒවා හැදුවෙ නෑ. අපි මේවා නගර සභාවේදී දිගින් දිගටම කතා කළා. ඒත් තාමත් විසඳුමක් නෑ. දංගෙදර ප්‍රදේශයේ ගෙවල් 500ක් 600ක් නිතරම ජලයෙන් යට වෙනවා. පාරවල් යට වුණාම දරුවන්ට පාසල් යන්නවත් බැහැ. මේ මිනිස්සු හැමදාම දුක් විඳිනවා.”
2014 වර්ෂයේදී ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2019 වර්ෂයේදීය. එහෙත් ව්‍යාපෘතිය සම්පූර්ණ නොකළ කොන්ත්‍රාත්කරුවෝ 2022 දෙසැම්බරයේදී කටයුතු අතහැර දැමූහ.
මොරගොඩ ඇළ ඉවුර ආසන්නයේ පදිංචිව සිටින කුමුදු දේවිකා මහත්මිය මෙසේ කීවාය:
“ඉස්සර අපේ ගෙවල් යට වුණේ වැස්සට විතරයි. දැන් කරිජ්ජ ගහන කොට වැස්සක් නැතිව වුණත් ගෙවල් ඇතුළට වතුර එනවා. හැමදාම අපි වතුරේ ඉන්නේ. බිත්තිත් පුපුරලා. මොරගොඩ ඇළ ව්‍යාපෘති කාර්යාලයට මේ ගැන පැමිණිලි කළාම නිලධාරීන් ඇවිත් බලලා, ලියුම් ලියවාගෙන ගියා. දැන් ඒ කාර්යාලයවත් නැහැ. ව්‍යාපෘතියත් අතරමඟ නවතා දමලා.”
විගණන වාර්තාවේ දැක්වෙන්නේ මේ ව්‍යාපෘතියේ නිර්මාණය සහ ඉදිකිරීම් සඳහා උපදේශකවරයාට ගෙවා තිබූ රුපියල් මිලියන 21.49ක මුදලද පල රහිත වියදමක් බවයි.
ගාල්ල මහා නගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා මෙසේ කීවේය:
“මේ ඇළ දෙපස සමහර ස්ථාන ඉදිකිරීම් නිසා පටු කරලා, වතුර රැඳෙන ස්ථාන ගොඩ කර තිබෙනවා. මේවාට අවසර දී තිබෙන්නේ රාජ්‍ය ආයතන විසින්මයි. මේ ඇළ තියෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින් නිසා වතුර මුහුදට බහින්නේ නෑ, මුහුදු වතුර ගොඩට එනවා. වතුර මුහුදට යවන්න පොම්පාගාරයක් හදන්න ඕනෑ. මේ ඇළ ව්‍යාපෘතිය කරන්න ගත්තේ දේශපාලනය මූලික කරගෙන තම හිතවතුන් රැකීමේ පටු අරමුණු ඇතිව. ඒ නිසා ප්‍රශ්නය තවත් වැඩි වුණා. නිවැරදි සැලැස්මකට අනුව කළේ නැති නිසා මිනිස්සු දුක් විඳිනවා. මෙතන වැඩපිළිවෙළ වැරදියි, දූෂණයක් තියෙනවා. මේ ප්‍රශ්නය විසඳන්න නම් ජලය රැස් වෙන වැවක් ඉදි කරන්න ඕනෑ.”
මේ සම්බන්ධයෙන් විමසූ විට ගාල්ල මහ නගර සභාවේ කොමසාරිස් ආර්.එම්.ටී.කේ. රස්නායක මහත්මිය:
“මොරගොඩ ඇළ ව්‍යාපෘතිය යටතේ ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න නියමිතව තිබුණත් එය නිසි පරිදි සිදුව නැහැ. මොරගොඩ ඇළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඇළ මාර්ගයක්. එයට එකතු වන අතුරු ඇළ මාර්ග නගර සභාවෙන් වරින් වර පිරිසිදු කරනවා. ගාල්ල නගරයම තිබෙන්නේ මුහුදු මට්ටමට වඩා පහතින් නිසා වැසි ජලය බැස යෑමේ ගැටලු රැසක් තියෙනවා. ඒ වගේම මේ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විසින්ම පහත් බිම් ගොඩ කර ගොඩනැඟිලි ඉදිකිරීම නිසා තත්ත්වය තවත් දරුණු වෙලා තියෙන්නේ. මේ ගැටලුව විසඳීමට යෝජනා කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන්ම මොරගොඩ ඇළ පොම්පාගාරයක් ඉදි කරන්න සහ වැඩි ජලය රඳවා තබාගැනීමට කුඩා වැව් කිහිපයක් ඉදි කරන්න. ඒ සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.”
මේ ව්‍යාපෘතියට වගකිව යුතු ආයතනයක් හෝ පුද්ගලයකු සොයාගැනීමට අප ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයද දැන් නැත. ව්‍යාපෘති කාර්යාලයද වසාදමා තිබේ. එම ව්‍යාපෘතියේ ගෙවීම් සිදු කර ඇත්තේ කවර නම් සමාගමකටද යන්න දැක්වෙන ලේඛන කිසිවක් රජයේ කාර්යාලවලින් සොයාගැනීමට නොහැකි විය. ගාල්ල මහා නගර සභාවේ කොමසාරිස්වරිය පැහැදිලිව සඳහන් කරන්නේ ව්‍යාපෘතිය නගර සභාව විසින් සිදු කරන ලද්දක් නොවන බැවින් ගෙවීම් පිළිබඳ නගර සභාව සතුව කිසිදු තොරතුරක් නැති බවයි.
කෝටි ගණනක් මුදල් අවභාවිත කළ මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වගකිව යුතු අයකු දැන් නැත. රටක් ණය කර ජනතාව අමාරුවේ දැමූ තවත් අසාර්ථක ව්‍යාපෘතියක් බවට ගාල්ලේ මොරගොඩ ඇළ ව්‍යාපෘතිය පත්ව තිබේ. ජනතාවට වග නොකියන පාලකයන් සහ නිලධාරි පෙළැන්තිය දැයේ දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළන බවට මොරගොඩ ඇළ ව්‍යාපෘතිය හොඳම සාක්ෂියකි.
කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට