ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරතන පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නාහිමියන්ගේ 75 වැනි ජන්ම දිනය අදට (05) යෙදේ.
වර්ෂ 1950 ජනවාරි 05 දින ජාසිං ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන මහතාට සහ අම්පාගොඩ ලියනගේ ප්‍රේමවතී මහත්මියගේ නව දෙනකුගෙන් යුත් දරු පවුලේ හත්වැනියා ලෙස උපත ලැබූ පින්වත් දරුවාට සිය මහප්පා වූ බානගල සීලරතන හිමියන් නම් තැබුවේ ‘ජයසේන ලියනගේ දොන් හෙන්ද්‍රික් උපතිස්ස’ යනුවෙනි. ‘උපතිස්ස’ යනු සැරියුත් මහ රහතන් වහන්සේගේ ගිහි කල නාමයයි. දෛවෝපගත සිදුවීම වන්නේ අද සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ භාරකාරත්වය පැවරී ඇත්තේ එදා ‘උපතිස්ස’ ලෙස නම් ලැබූ වර්තමාන බානගල උපතිස්ස නාහිමියන්ට වීමය.
1967 ඔක්තෝබර් 19 දින ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, අග්‍රශ්‍රාවක විහාරාධිපති, දඹදිව සාංචි විහාරාධිපති හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් වෙතින් කොළඹදී උපතිස්ස දරුවා සසුන්ගත විය.
ඒ වසරේදීම හැඩිගල්ලේ නාහිමියන් උපතිස්ස සාමණේරයන් දඹදිව සාංචි විහාරයට එවා, එහි ආගමික වතාවත් ඉටුකිරීම හා පැමිණෙන ඉන්දීය, ලාංකික සහ වෙනත් රටවල වන්දනාකරුවන්ට අවැසි පහසුකම් සැපයීම පැවරුවහ. මේ අතර සාංචියේ රජයේ උසස් ද්විතීයික පාසලට ඇතුළත්ව හින්දි සහ ඉංග්‍රීසි භාෂා උගෙන, පසුව S.S.L. Jain College පාසලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ඉන් පසු භෝපාල් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදි උපාධිය හිමි කරගත් බානගල සාමණේරයෝ 1970දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටුවනු ලැබූහ.
මේ අතර දිනක් සාංචියට පැමිණි ජපන් ජාතික තකිකෝ යොෂීඩා මැතිනිය සහ බානගල උපතිස්ස හිමියන්ගේ හමුවීමද දෛවය විසින් නියම කළ සාංසාරික සිදුවීමක් විය. මේ සම්බන්ධතාව පසුව යොෂීඩා මැතිනිය බානගල හිමියන්ගේ දෙවන මවු තනතුරට පත් වීමට හේතු විය. පසු කලෙක මෙරට ජනතාවට විශේෂයෙන් ළමා පරපුරට ජපාන ජනතාවගෙන් විශාල සේවාවක් ඉටු කරවා ගැනීමට බානගල හිමියන්ට හැකි වූයේ තකිකෝ යොෂීඩා මැතිනියගේ නොසිඳෙන ගෞරවනීය ආදරය සහ සහයෝගය නිසාමය. 1979දී යොෂීඩා මැතිනියගේ සහ ඒ පවුලේ හිතවතුන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සපුගස්කන්ද අබේසේකරාරාම පරිශ්‍රයේ මෙරට ප්‍රථම ජපාන ළමා විය සංවර්ධන අධ්‍යාපන මාදිලියේ විධිමත් පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතනයක් ලෙස ‘යොෂිඩා පෙර පාසල’ දරුවන් තිස් දෙනකුගෙන් ආරම්භ කළෝය. අද එය සිංහල ඉංග්‍රීසි ද්වි භාෂා ළදරු පාසල් සමූහයකින් සමන්විතව, යොෂීඩා ජාත්‍යන්තර පාසල් ලෙස විශාල සේවයක් ඉටු කරයි. ජපානයට පැමිණි මෙරට තරුණ තරුණියන් අති විශාල පිරිසකට අදටත් ක්ෂේම භූමිය වන්නේ උන්වහන්සේ ගොඩනැඟූ සවරා ලංකා ජී පන්සලයි.
බානගල නාහිමියන් ලෝකයේ බොහෝ රටවල බොහෝ ආගමික සමුළුවල ගෞරවනීය දේශකයකු හා සම්භාවනීය අමුත්තකු ලෙස සහභාගි වී ඇති අවස්ථා අතිවිශාලය. විශේෂයෙන් සවුදි අරාබියට වැඩම කළ එකම බෞද්ධ භික්ෂුව උන් වහන්සේය. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේද නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාද මාලිගාකන්ද විහාරයට පැමිණියේ නාහිමියන් පිළිබඳ ඇති අතිමහත් ගෞරවයය නිසාමය.
අවුරුදු හැත්තෑපහක් තුළ උන්වහන්සේ කළ සේවය, ඒ නිසාම ලෝකයෙන් ලද බුහුමන් සැලකූ විට එය මෙරට රාජ්‍ය නායකයකුට හෝ ලැබී නැත.
බානගල නාහිමියන්ගෙන් මෙරටට ගත හැකි සේවාවෙන් අප තවමත් සියයට පනහක්වත් ගෙන නැත. තවත් චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ වඩනු පිණිස උන්වහන්සේට නිදුක් නීරෝගි සුවය සමඟ දීර්ඝායුෂ ලැබේවායි පතමු.
සිංහ හේමකුමාර ගුණසේකර
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පාලක මණ්ඩල සභික, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති