බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජමාධ්‍ය රාජ්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ‘මුද්‍රිත මාධ්‍ය අත්පොත’ එළිදැක්වීමේ උත්සවය පසුගියදා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැතියේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයන් සභාව අමතා පැවැත්වූ දේශනය කාගේත් අවධානය දිනාගැනීමට සමත් වූවා පමණක් නොව, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමටද පටන් ගත්තේය. ජනමාධ්‍යවේදීන්ගේ දැනුම්වත්භාවය උදෙසාම සැකසුණු මේ ග්‍රන්ථය පාදක කරගෙන මහාචාර්යවරයා සිය දේශනය ගෙන ගියේ ප්‍රායෝගික උදාහරණ සපයමින් පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කරමිනි.
ජනමාධ්‍යවේදියාට පමණක් නොව, සාමාන්‍ය ජනතාවගේ දිවියට ද උකහාගත හැකි කරුණු රැසක් එහි ගැබ්ව තිබූ බව පැහැදිලිය.
‘මුද්‍රිත මාධ්‍ය අත්පොත’ බඳු කෘතියක් එළිදැක්වීම අගය කරමින් මහාචාර්යවරයා පවසා සිටියේ ජනමාධ්‍යවේදියා නිරතුරුවම ජනතාවට ඉදිරියෙන් සිටිය යුතු පුද්ගලයකු බවයි. එය අතිශයෝක්තියක් නොවන බව පැහැදිලිය.
“නියම ජනමාධ්‍යවේදියෙක් කියන්නේ ජනතාවට ඉදිරියෙන් ඉන්න කෙනෙකුට. එහෙම නැතුව ඔවුන්ගේ පිටුපසින්වත් ඔවුන්ට සම වර්ගයේ කෙනෙක්වත් නෙවෙයි; ඔවුන්ට ඉදිරියෙන් ඉන්න කෙනෙක්. අපට ඉදිරියේදී ඕනෑ වෙන්නෙත් ඒ වගේ අය. මම ඔවුන්ට කියන්නේ ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් කියලා. ලංකාපුරලා, කුරුවිටබණ්ඩාරලා සංස්කෘතික අමාත්‍යංශය එක්ක එකතු වෙලා මේ වෑයම් කරන්නේ අපේ රටේ ඒ වගේ අලුත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදින් පිරිසක් බිහි කරන්න. ඒක ඉතාම හොඳ වැඩක්.”
ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද? අප සිතට නැඟෙන ඊළඟ සිතුවිල්ල එය බව ව්‍යවහාරික බුද්ධියෙන් වටහාගත් මහාචාර්යවරයා උදාහරණ සපයමින් එය අපූරුවට පැහැදිලි කළේය.
“ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදියෙක් කියන්න නම් ගුණාංග හතක් තියෙන්න ඕනෑ. ඒකට මං සත් ගුණවත් කියලත් කියනවා. සත් කියන එක සත් සතිය කියන අරුතෙන් හත කියල ගන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් ගත්තොත් සද් – යහපත් කියල ගන්නත් පුළුවන්.
“පළමුවෙනි එක ඔවුන් සතුව දැනුම තිබිය යුතුයි. මේ දැනුමෙත් ප්‍රභේද කිහිපයක් තියෙනවා. සාමාන්‍ය ඥානය තියෙන්න ඕනැ. ඒක ඕනෑම කෙනෙකුට තියෙන්න ඕනැ.
ලංකාවේ හරි මැද තියෙන්නෙ කොහේද කියල මං ඔබෙන් ඇහුවොත්. කෙනෙක් කියාවි සිතියමේ ඒක තියෙන්නේ නාලන්ද කියලා. ඔව්. ඒක හරි. මාතලේ අලුවිහාරය පහු කරන් යද්දි තමයි නාලන්ද හමු වෙන්නේ. ප්‍රසිද්ධ ගෙඩිගෙයක් තියෙන්නේ නාලන්දෙ විතරයි. බිත්තිත් ගලින් බැඳලා, වහලත් ගලින් බැඳලා තියෙන නිසා තමයි ඒකට ගෙඩි ගෙය කියලා කියන්නේ. ඇයි එහෙනම් එතන විහාරයක් හැදුවෙ නැත්තෙ කියලා දැන් කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. එතන විහාරයක් හැදුවෙ නැත්තේ ඒක බුදුන් සඳහා කළ දෙයක් නොවන නිසා. ඒක තියෙන්නේ වැඳ පුදා ගන්න නෙවෙයි; ලංකාවේ හරි මැද තියෙන තැන ගැන ලෝකයාගේ දැනගැනීම පිණිස විතරයි.
“ඒ වගේම ජනමාධ්‍යවේදීන් තුළ සංස්කෘතික ඥානය තියෙන්නත් ඕනෑ. අපි හැම දෙනාම අයිති කිසියම් සංස්කෘතියක් තියෙනවා. සිංහල බෞද්ධ වෙන්න පුළුවන්. සිංහල ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. දෙමළ හින්දු වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. මේ රටේ සංස්කෘතිය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ. “ඒ වගේම ඔවුන් තුළ විශේෂඥ ඥානය කියන එකත් තිබිය යුතුයි. ඔවුන් යම් කිසි විෂයක ප්‍රවීණයෙක් වෙන්න ඕනෑ. අපි හිතමු දොස්තර කෙනෙක් කියලා. ඔහු නවීන තාක්ෂණික උපකරණ, නවීන බෙහෙත් වර්ග ගැන දැනගෙන ඉන්න ඕනෑ.
“අනිත් එක තමයි ජනමාධ්‍යවේදියා තුළ දැනුම විතරක් තිබිල වැඩකුත් නැහැ. ඔවුන් තුළ බුද්ධියත් තියෙන්නම ඕනෑ. බුද්ධිය කියන එක ගත්තත් විමර්ශන බුද්ධිය, විතක්ෂණ බුද්ධිය, විචාර බුද්ධිය වගේ තවත් ප්‍රභේද ගණනාවක් තියෙනවා.”
ජනමාධ්‍යවේදීන්ට දැනුම මෙන්ම බුද්ධියත් තිබිය යුතු බව පවසා සිටි මහාචාර්යවරයා ලෝක ඉතිහාසයේ පළමුවැනි IQ ටෙස්ට් එක එසේත් නැත හොත් සාමාන්‍ය දැනීමේ පරීක්ෂණය සිදු කළේ මිහින්තලා ගල මුදුනේ බවද පැවසීය.
මිහින්තලා ගල මුදුනේ එදා මිහිඳු හිමියන් හා දේවානම්පිය තිස්ස රජු අතර ඇති වූ සංවාදය සිහිපත් කළේ ද සභාවේ සිටි පිරිස සිනා සාගරයක ගිල්වමිනි. දේවානම්පිය තිස්ස රජු කොතරම් බුද්ධියකින් හෙබි රජ කෙනකුදැයි වටහාගැනීමට මිහිඳු හිමියන්ට තවත් කරුණු කාරණා අවශ්‍ය වූවේ ද නැත.
ව්‍යවහාරික බුද්ධිය පුද්ගලයකු තුළ කොතරම් නම් තිබිය යුතු ද යන්න ඒදණ්ඩේ ගමන උදාහරණයට ගනිමින් මහාචාර්යවරයා පැහැදිලි කළේද අප නිතර කතා කරන ‘කොමන් සෙන්ස්’ යන්න තියෙන්නේ කීයෙන් කී දෙනාටද යන්න පැහැදිලි කරමිනි.
“අපි හිතමු දෙන්නෙක් ඒදණ්ඩක යනවා කියලා.
දෙන්නම දෙපැත්තෙ ඉඳන් එකට ආවොත් මොකද වෙන්නේ? මාරු වෙන්න බැරි වෙනවා. එතනදි ව්‍යවහාර බුද්ධිය කියන එක දැනගෙන හිටිය නම්, ඒක පාවිච්චි කළා නම් එක්කෙනෙක් එන කල් බලන් ඉඳල තමයි අනෙක් කෙනා යන්නේ.
මොකද, ඔවුන් ව්‍යවහාරයෙන්ම දන්නවා ඒදණ්ඩක දෙන්නෙක්ට එකට යන්න බෑ කියන එක.”
ජනමාධ්‍යවේදියා මෙන්ම ඕනෑම කෙනකු තම තමන්ගේ භාෂාව ගැන දැනුම්වත්ව සිටීම අත්‍යවශ්‍ය කාරණයක් බව පැවසූ මහාචාර්යවරයා භාෂාව යනු පද ගොඩක් පමණක් නොවන බව ද පැවසීය. භාෂාව යනු රීති සමුදායක් මිස නීති සමුදායක් නොවේ. යම් හෙයකින් නීති සමූදායක් වූවේ නම් මේ වනවිට පොලීසි, උසාවි පිරි ඇති බව කියා සිටියේ ද සැමගේ මුවගට සිනහවක් කැන්දමිනි.
“අපි මේ හැමදෙයක්ම කියන්නේ භාෂාවෙන්. තමන් දන්න දේ කියන්න භාෂා සක්‍යතාවක් අවශ්‍යමයි. සතුන්ට භාෂාවක් නැති වුණත් උන් ශබ්ද නිකුත් කිරීම මඟින් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්නවා.
ඒත් උන්ට කතා කිරීමේ හැකියාව නැහැ. ඒත් අපට ඕනෙම දෙයක් කියන්න භාෂාවක් තියෙනවා. එතනින්ම පේනව නේද භාෂාව කියන එක කොතරම් වැදගත් ද කියලා.”
විශ්වකෝෂයක් බඳු සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායකයන් ප්‍රායෝගික උදාහරණ ගෙනහැර පාමින් කළ හරවත් දේශනය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.
එමඟින් බොහෝ දෙනා දැනුමට යමක් එක් කරගත් බවද සැබෑවකි. ජනතාව දැනුම්වත් කිරීමේ වගකීම්සහගත මෙහෙය ඉටු කිරීමට බැඳී සිටින ජනමාධ්‍යවේදීන් දැනුම, බුද්ධිය අතින් පෝෂණය වී නිවැරදිව බස හසුරුවමින් හරවත් දේ සමාජගත කිරීමේ දායකයකු වීම අත්‍යවශ්‍ය කරුණකි.
නාමලී ගමගේ