– කොම්පැනිවල ඩයරි කැලැන්ඩර් නැති නිසා ජනවාරි 1 වැනිදායින් පසු ඩයරි කැලැන්ඩර්වලට තොගපිටින් ඉල්ලුමක්
– මෙවර ලොකු ලොකු කොම්පැනිවලත් ඩයරි කැලැන්ඩර් ගහල නැහැ
– ගියවර ඩයරි කැලැන්ඩර් ඉතුරුවීම නිසා සමහර මුද්‍රණාලවලට ලක්ෂ 30 – 40 පාඩු
අලුත් අවුරුද්දක් කීවාම මතකයට එන්නේ මොනවාද? දෙසැම්බර් 31 දා රාත්‍රී තර්ටිෆස්ට් නයිට්, මත් සාද. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු මේ මොනවා නැතත් නව වසරේ ලොකු කුඩා මෙන්ම ඕනෑම කෙනෙකුගේ බලාපොරොත්තුවක් ඇත. එනම් අන් කිසිවක් නොව කැලැන්ඩර් සහ ඩයරියයි.
බොහෝ දෙනා සිතුවේ ස්මාර්ට්ෆෝන් එකේ කැලැන්ඩරය ආගමනයත් සමඟ කැලැන්ඩරය අභාවයට ගිය බවය. ඩයරියත් එසේමය.
මෙවර නව වසරේ බොහෝදෙනාගේ අතර කතාබහට ලක්වී ඇත්තේ කැලැන්ඩර් සහ ඩයරි සොයා ගැනීමට නොහැකි වූ යුගයක් ලෙසය. අවසානයේ අප මේ වසරේ ඩයරි – කැලැන්ඩර්වලට සිදු වූයේ කුමක්දැයි සොයන්නට පටන් ගත්තේ සුප්‍රකට රාජ්‍ය මුද්‍රණාලයේ අලෙවි කුටියෙනි.
බන්ධනාගාරය පසුකොට බොරැල්ල දෙසට යනවිට රජයේ මුද්‍රණාලය හමු වේ. එහි ගේට්ටුවෙන් ඇතුළට ගොස් අලෙවි කුටිය විමසූ විට ප්‍රධාන පාරේම ඉදිරියට යන ලෙස පොලීසියෙන් අපට දැන්වීය. අලෙවි කුටිය වූයේ රජයේ මුද්‍රණාලයේ ඉඩමේ ප්‍රධාන මාර්ගය අවසානය මුල්ලේය. එහි ගැසට් පත්‍ර සහ වෙනත් අණපනත් අලෙවියට තිබූ අතර එහි වූ යුවතියකට අපගේ අවශ්‍යතාව දැන්වීමු.
“අර රජයේ මුද්‍රණාලයේ ආණ්ඩුවේ ගැසට් එකේ තියෙන නිවාඩු දින දාල ගහන A4 සයිස් පොඩි කැලැන්ඩරේ තියෙනවද?” අපි අසා සිටියෙමු.
“අනේ මේ සැරේ ඒක ගැහුවේ නැහැ.” රජයේ මුද්‍රණාලයේ අලෙවි නිලධාරිනිය පැවසුවාය.
“එතකොට ෆේස්බුක් එකේ ඒක ෂෙයාර් වෙනවානේ?”
“නෑ නෑ මේ සැරේ එහෙම එකක් ගැහුවේ නැහැ! ඔය ෆේස්බුක් එකේ PDF එක තමයි ෂෙයාර් වෙන්නේ.”
“එතකොට 2025 අවුරුද්දේ රජයේ නිවාඩු, බැංකු නිවාඩු, ප්‍රසිද්ධ නිවාඩු ගැන තියෙන ගැසට් එක සල්ලිවලට ගන්න පුළුවන්ද?”
“නෑ නෑ ඒකත් නෑ. ඉන්ටනෙට් එකට ගිහින් ඒක ඩවුන්ලෝඩ් කර ගන්න.” රජයේ මුද්‍රණාලයේ යුවතිය පැවසුවාය.
මෙවර කැලැන්ඩර් ගැසූ ප්‍රමාණය හොඳ හැටි දැනගත හැකි තැන් වන්නේ කැලැන්ඩර්වල ඉහළ තහඩු පටිය නොහොත් රිම් එක ගහන තැන්ය. මෙම කැලැන්ඩර් පටි ගහන ප්‍රධාන ව්‍යාපාරිකයකු වන්නේ පාලය. පාල කියන්නේ කෝපි කඩේ රඟපාන පාලමය. ඔහුගේ කර්මාන්තශාලාව ඇත්තේ ඛෙත්තාරාමය පසුකොට ග්‍රෑන්ඩ්පාස් පැත්තට යනවිටය. කර්මාන්ත ශාලාව අසලින් යන විට වෙනදාට කැලැන්ඩර් පටි ගහන ශබ්දය කන් කඩාගෙන යන තරම් හඬින් ගිගුම් දෙයි. නමුත් අද කර්මාන්තශාලාව පැත්තෙන් හාවක් හූවක් නැත. බිම්මහල දෙස බැලීමි. කැලැන්ඩර් පටි කපන, තලන, හිල් විදින මැෂින් සිටියේ කම්මැලිකමට ඈනුම් අරිමින් දැයි සිතුණේ එහි වූ පාළු ස්වභාවය නිසාය. පළමු මහලේ ඇත්තේ කැලැන්ඩර් පටි ගහන මැෂින් 30ක් පමණ ඇති දිගු ශාලාවකි. අනෙක් වසරවල ජනවාරි 15 පසුවනවිටත් කෑලි ගණනට කැලැන්ඩර් පටි ගහන කම්කරුවන්ගෙන් මෙම ශාලාව පිරී ඉතිරී ගොස් හමාරය. පාළු ශාලාව අතරින් ගොස් දෙවැනිමහලට නැඟ ගතිමි. එතැන නම් කිහිපදෙනකු සිටි අතර ඔවුන් මදුරු කොයිල් ස්ටෑන්ඩ් කපමින් සිටියහ.
“කෝ පාල නැත්ද?” මම අසා සිටියෙමි.
“නෑ තාත්තා නැහැ.” තරුණයකු අපට කතා කරන්නට පටන් ගත්තේය.
“නම මොකක්ද?”
“මම ධනුෂ්ක ප්‍රභාත්. කැලැන්ඩර් පටි ගහන පාලගේ පුතා.”
“යමුකො බලන්න කැලැන්ඩර් පටි ගහන ශාලාවට. වෙනදට ජනවාරි 15 විතර වෙනකම් වැඩ නේද?”
“මේ අවුරුද්දෙ තමයි අඩුවෙන්ම කැලැන්ඩර් ආවේ. වෙනදට ලක්ෂ 12කට වැඩිය පටි ගහන්න එනවා. මේ සැරේ 60,000ක්වත් ආවේ නැහැ.”
“මොකක්ද හේතුව මේ සැරේ කැලැන්ඩර් නැති වෙන්න?” මම පෙරළා ප්‍රශ්න කළෙමි.
“ඔය එක්ස්පෝට් කම්පැනි වගේ ඒවා ගැහුවා. මේ සැරේ බැංකු දෙකක කැලැන්ඩර් විතරයි ආවේ. අනික්වා පොඩි කම්පැනි.”
ධනුෂ්ක කියන පරිදි කලින් වසරවල කැලැන්ඩර් පටි කපා සකස් කර ගන්නේ ඔක්තෝබරයේ සිටය. ඊට කලින් ඒවා සකස් නොකරන්නේ මලකඩ කන නිසාය. අඟල් 22ක කැලැන්ඩර් තහඩු පටියක මිල රු. 16/=කි. ගිය වසරේ එය පැවතී ඇත්තේ රු. 12/=කටය. 2023 වසරේ කැලැන්ඩර් අලෙවියේ දැවැන්ත පසුබෑමක් ඇතිවීම නිසා කැලැන්ඩර් නිෂ්පාදකයන්ට දරන්නට වී ඇති අලාභය ඇතැමුන්ට ලක්ෂ 20 – 30 දක්වා දරාගන්නට සිදුවී ඇත.
මෙරට ආර්ථික අර්බුදයෙන් හා කොරෝනා උවදුරෙන් පසු මෙරට කැලැන්ඩර් – ඩයරි කර්මාන්තය නැවත පණ ගසා ඇවිත් ඇත්තේ 2023 වසර මුලදීය. එහිදි ඩොලර් අර්බුදයට පෙර රුපියල් 4000ට පැවති කැලැන්ඩර් මුද්‍රණය කරන කඩදාසි 500ක රිමක් රුපියල් දහඅටදහස දක්වා ඉහළ යාම දරාගත නොහැකි මිල වැඩිවීමකට හේතුවී ඇත. මුද්‍රණය සඳහා යොදාගන්නා ප්ලේට් තහඩුවක මිල රුපියල් 900 සිට රුපියල් 1800 දක්වා මිල ඉහළ ගොස් ඇත. මුද්‍රණ තීන්ත මිල ද දරාගත නොහැකි ලෙස ඉහළ ගියේය. එහෙත් මේවා 2024 අගවන විට සැලකිය යුතු ලෙස පහළ බැස ගිය මුත් එහි වාසිය පාරිභෝගිකයන්ට අත්වූයේ නැත.
කැලැන්ඩර් – ඩයරි මුද්‍රණය කරන මුද්‍රණාල කිහිපයකට කරක් ගැසූ මුත් ඒවා බොහොමයක් ජනවාරි 1 වැනිදා වන විට වැඩ අහවර කර තිබුණි. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ එක් මුද්‍රණාලයක් පමණක් ඒ වනවිටත් කැලැන්ඩර් – ඩයරි මුද්‍රණය කරමින් සිටිනු අපට දැකගත හැකි විය. එහි හිමිකරු මෙන්ම සේවකයන් බොහෝ දෙනෙකු ද්‍රවිඩ ජාතිකයන් විය. එහි මුද්‍රිත බොහෝ කැලැන්ඩර් – ඩයරි ද්‍රවිඩ භාෂාවෙන් මුද්‍රණය කෙරුණි. එහි හිමිකරු ඥානම් අප සමඟ කතාවට එක්විය.
“අපේ ප්‍රධාන වෙළෙඳපළ උතුරු – නැඟෙනහිර. ගොඩක් උතුරු – නැඟෙනහිර එක්ස්පෝට් ෆැක්ටරි කරන අයගේ නෑදෑයෝ ඉන්නේ කැනඩාව, ඉතාලිය වගේ රටවල. ඒගොල්ලන්ට සල්ලි තියෙන නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ පැතිවල අය මේ සැරේ කැලැන්ඩර් – ඩයරි ප්‍රින්ට් කිරීම ගොඩක් අඩුයි!”
ෆේස්බුක් යුගයේ කැලැන්ඩරයට හා ඩයරියට අත්වූ ඉරණම සොයාගිය අපට පැහැදිලිව ඒත්තු ගියේ තවමත් ඩයරි හා කැලැන්ඩර් බලාපොරොත්තුවෙන් එය වැලඳගත් රසිකයන් බහුතරයක් සිටිනා බවය. කොතරම් ඩිජිටල් යුගයකට ගියත් මේ රසික පිරිස නව තාක්ෂණයට යොමු කිරීම බුලත්විට කෑමට පුරුදු වූවන් චුවින්ගම් කෑමට පුරුදු කිරීමකට සමානය.
මෙරට කැලැන්ඩර් – ඩයරි කර්මාන්තය අධීක්ෂණයේදී පෙනී යන්නේ එය ‘සූදුවකට’ සමාන බවය. කැලැන්ඩර්වලදි බොහෝවිට කෙරෙන්නේ අනුග්රාහකයන්ගේ වෙළෙඳ නාමයට ඉඩකඩ තබා දින මුද්‍රණය කිරීමය. මේ අතරින් ජනප්‍රිය ඉලක්කම් කැලැන්ඩරයයි. නළු නිළියන්ගේ, කුඩා ළමයින්ගේ, මල් විසිතුරු හෝ දර්ශනීය දියඇලි ආදිය ඇති තනි කොළයේ කැලැන්ඩර් ද ඇත. ඇණවුම් ලබාගත් පසු එම මුද්‍රිත කැලැන්ඩරය මුද්‍රණ යන්ත්‍රය තුළට යවා අනුග්‍රාහකයාගේ විස්තර ඇතුළත් කොටස් මුද්‍රණය කරනු ලැබේ. ඉන්පසු කැලැන්ඩරය එල්ලීමට තහඩු Calender Rim එක ගැසීම සිරිතය.
මේ කැලැන්ඩර් – ඩයරි අලෙවියට ඉස්සර නම්, නම් දැරූ වීදිය වූයේ මැලිබන් වීදියයි. ඒත් පසු කලෙක මෙම වෙළඳාම පීපල්ස් පාක් වෙළෙඳ සංකීර්ණයට කේන්ද්‍ර විය. එහෙත් අද කැලැන්ඩර් ගහන්නට එදා නම් දරාපු කොම්පැනි සොයා ගැනීමටවත් නැත. දංකොටුවේ මල් පියලි, සීවලි දිනපොත්, දුමින්ද එරන්ද කලේමගල්, මාධවි පැතුම්, මිහැන්ඩන් දැන් නම් අපට සොයා ගැනීම අපහසු විය. මෙරට ප්‍රකට රහස් පරීක්ෂක කතා රචකයකු වූ ඩීමන් ආනන්ද මේ කැලැන්ඩර් ව්‍යාපාරයේ ජයකෙහෙළි නැංවූ පුද්ගලයෙක් විය. ඔහු ප්‍රධාන වශයෙන් මුද්‍රණය කරන ලද්දේ විජය කුමාරතුංගගේ රුව සහිත කැලැන්ඩර්ය.
පීපල්ස්පාක් වෙළෙඳ සංකීර්ණයේ සාමාන්‍යයෙන් පුවත්පතක් ප්‍රමාණයේ අඟල් 18 x 24 දිග පිටු 12ක අංක කැලැන්ඩරයක මිල රු. 250/=ක් විය. එහි දෙගුණයක තඩි කැලැන්ඩරය හැඳින්වූයේ ජම්බෝ කැලැන්ඩරය ලෙසය. එහි මිල රු. 600/=කි. අඟල් 18 x 12 මුස්ලිම් කැලැන්ඩරය රු. 150/=ක. වෙළෙඳපළට පිවිස ඇති ඩයරි වර්ග ගණන 25කට අධිකය. ඒවා රුපියල් 200 සිට 2000 දක්වා ඇත. ඒත් පැන්සලක් රුවා ඇති උඩ සාක්කුවේ දැමිය හැකි පොකට් ඩයරිය අපට දැකගත හැකි වූයේ නැත.
මේ ඩයරි අතර ජනප්‍රිය දිනකට පිටුව බැගින් ඇති ඩෙස්ක් ඩයරියයි.
“මේ සැරේ ගහපු ඔක්කොම ඩෙස්ක් ඩයරි නත්තලටත් කලින් ඉවර වුණා. ගොඩක් තැන්වල ඩයරි – කැලැන්ඩර් ගහල නැති නිසා පුදුම ඉල්ලුමක්. මුළුමනින්ම සල්ලි ගෙව්වොත් විතරයි අලුතෙන් ඩයර් – කැලැන්ඩර් ගහන්නේ. ගිය සැරේ ඉතුරු වෙලා ලක්ෂ 35ක් පාඩුවුණා. කිලෝ 1 ක් රු. 35/=ට වික්කේ.”
වෙළෙඳපළේ ජනප්‍රිය ස්ලිම් ඩයරිය හා මැනේජ්මන්ට් ඩයරිය අතරින් මැනේජ්මන්ට් ඩයරිය රු. 800/= සිට රු. 2000/= තෙක් මිලදී ගත හැකිය.
ඒ කාලේ ජනප්‍රිය කැලැන්ඩරයක් නම් දිනකට එක කොළය බැගින් කඩන කැලැන්ඩරයයි. එම කැලැන්ඩරය බොහෝවිට ජනප්‍රිය ද්‍රවිඩ ව්‍යාපාරිකයන් අතරය. එකම එක තැනක එම කැලැන්ඩර විකුණන්නට තිබුණ අතර කැලැන්ඩරයේ මිල රු. 2000/=ක් විය.
බොහෝ වෙළෙන්දන් පැවසුවේ කොරෝනාවෙන් පසු මෙරට කැලැන්ඩර් – ඩයරි වෙළෙඳපළ පණ ගසා ආවේ 2023 වර්ෂයේ බවය.
“ගිය සැරේ කැලැන්ඩර් – ඩයරි ගහපු අයට ලක්ෂ ගණන් පාඩු වුණා. ඒ නිසා මේ සැරේ කැන්වස් කරන්න (ඇණවුම් ගන්න) කවුරුත් මාකට් එකට බැස්සේ නැහැ. ඊටත් වැඩිය ජනාධිපතිවණයක්, වගේම මහමැතිවරණයක් තිබ්බේ කැලැන්ඩර් ඕඩර් ගන්න කාලේ. ඒ හින්ද කවුරුත් කැලැන්ඩර් – ඩයරි ඕඩර් කළේ නැහැ. ඒකත් මේ සැරේ කැලැන්ඩර් – ඩයරි අඩු වෙන්න හේතුවක්.”
වර්ණ පින්තූර ඇති කොම්පැනියේ යට නම මුද්‍රණය කළ හැකි කැලැන්ඩර් 250/=ක් මුද්‍රණය කරන විට එකක මිල රු. 55/=ක් විය.
බොහෝ ව්‍යාපාරිකයන්ට තමන් කැලැන්ඩර් හා ඩයරි මුද්‍රණය කළේ නැති බව මතක් වී තිබුණේ ජනවාරි 1 වැනිදා ගනුදෙනුකරුවන් බඩු මිලදී ගැනීමෙන් පසු කැලැන්ඩර් – ඩයරි ඉල්ලීමේදීය. අන්තිමට සිදුවී තිබුණේ වෙළෙඳපළේ ඉතිරිවී තිබූ ඩයරි – කැලැන්ඩර් කියන මිලකට මිලදී ගැනීමටය. ඊටත් වඩා හෙට අනිද්දට නොමිලේ කැලැන්ඩරයක් – ඩයරියක් නොලැබුණ විට බොහෝදෙනාට සිදුවනු ඇත්තේ ද මුදල් ගෙවා ඩයරියක් හෝ කැලැන්ඩර්යක් මිලදී ගැනීමට තම හිත එකඟකරවා ගැනීමටය.
ඡායාරූප – ශාන් රඹුක්වැල්ල
වජිර ලියනගේ