නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ. ඔබ මෙය බොහෝ වතාවක් අසා ඇති. මේ නීතියේ මූලික සිද්ධාන්ත ඔබ මම ඇතුළු සෑම අයෙකුම දැන සිටිය යුතුයි. එසේ දැන සිටින බවට නිතැතින් උපකල්පනය කරන බව ඔබ දැන සිටිය යුතුයි. මන්ද නීතිය පිහිට වන්නේ අවදියෙන් සිටින්නාට පමණයි.
මෑතකදී මා හමුවීමට පැමිණි සේවාදායකයකු මෙසේ ඔහුගේ ප්‍රශ්නය මා ඉදිරියේ දිග හැරියා.
“මිස් මම ගෙයක් කුලියට ගත්තා. දැන් ඒ ගෙදර අයිති කෙනා ඒ ගෙදර විකුණන්න හදනවනේ. මම මොකද කරන්නේ මේකට?”
“කොහොමද ගත්තේ ගෙදර? ලෝයර් කෙනෙක් ඉස්සරහා ඔප්පුවක් ලියලද ගත්තේ?”
“නෑ නිකන් කොළේක ලියලා අත්සන් කරලා තමයි ගත්තේ. ඔප්පු ලියන ඒක ගැන තේරුමක් නෑ.”
“කිසිම දවසක නිකන් කොළවල ලියලා ගෙවල් ගන්න එපා. ඔය වැඩේ ගොඩක් දෙනෙක් කරනවා. එහෙම වුණහම වග කියන්න බෑ කාටවත්.”
නිවසක් බද්දට ගන්නා විටත් නිවසක් බද්දට ලබා දෙන විටත් අමාරුවේ වැටෙන්නේ නැතිව හරි විදියට නීත්‍යානුකූල විදියට බදු දෙන්නේ කොහොමද?
බදු ගිවිසුමක් ලියාපදිංචි කළ යුත්තේ මසකට වැඩි කාලයක් සඳහා වන්නේ නම් පමණි. ඒ අනුව ඔබට බද්දට ගැනීමට නිවසක්, පරිශ්‍රයක් හෝ ව්‍යාපාරික ස්ථානයක් සොයා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ නොතාරිස්වරයෙකු හමුවී ඔබට බදු ගිවිසුමක් සකසා ගැනීමට අවශ්‍ය බවත් එය ලියාපදිංචි කිරීම අවශ්‍ය බවත් පවසන්න. ඉන්පසුව ඔහුගේ උපදෙස් අනුව කටයුතු කරන්න. මෙහිදී ඔප්පු ලිවීමේ හැකියාව ඇත්තේ ප්‍රසිද්ධ නොතාරිස් වරයෙකුට වේ. නොතාරිස් ධුරය ලබාගත් නීතීඥවරුන්ට ඔප්පු ලිවීමේ හැකියාව ඇති අතර නීතීඥවරුන් නොවන නොතාරිස් ධුරය පමණක් ලබා ගත් නොතාරිස්වරුන් ද වේ. මේ දෙකොට්ඨාසයටම ඔප්පු ලියා සහතික කිරීමේ හැකියාව ඇත.
ඒ අනුව 1907 අංක 1 දරන නොතාරිස් ආඥා පනත, 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ පනත සහ 1927 අංක 23 දරන ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත්වල ප්‍රතිපාදන අනුව නිසියාකාරව බදු ගිවිසුමක් නොතාරිස්වරයෙකු මඟින් සකසා ගත යුතුය. දෙපාර්ශ්වය හා සාක්ෂිකරුවන් නොතාරිස්වරයා ඉදිරිපිට සහතික කර මුද්දර ගාස්තු හා ලියාපදිංචි ගාස්තු ගෙවා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුයි.
එසේ සකසන බදු ගිවිසුමක අඩංගු වන්නේ මොනවාද? බදු දෙන ස්ථානය හා සීමා ප්‍රමාණය, බදු දීමේ කාල සීමාව, විදුලි බිල් ආදී පරිශ්‍රයේ නඩත්තු සම්බන්ධයෙන්, ගෙවිය යුතු මාසික හා වෙනත් ගාස්තු ආදී බදුහිමියා එකඟ විය යුතු කොන්දේසි, බදුකරු එකඟ විය යුතු කොන්දේසි මෙන්ම ගිවිසුම කඩ කිරීමේදී ගත හැකි පියවර ආදිය වේ.
බදු ගිවිසුමක් ලියාපදිංචි කළ යුත්තේ ඇයි? ගාස්තු හා විවිධ හේතූන් නිසා බදු ගිවිසුම් ලියාපදිංචි නොකිරීමේ ප්‍රවණතාවයක් දක්නට ඇත. එම නිසා ප්‍රායෝගික ගැටලු රාශියක් දෙපාර්ශවයටම උද්ගත වේ. නමුත් බදු ගිවිසුමක් ලියාපදිංචි කළ විට එම ලියාපදිංචිය පත්ඉරුවල සටහන් වන බැවින් එම කාලසීමාව ඇතුළත වෙනත් විකිණිමක් හෝ අමතර බදුදීමක් කිරීමේ කිසිදු අවදානමක් ඇති වන්නේ නැත. බදුකරු මෙයින් ආරක්ෂිත වන අතරම බදු හිමි ද ආරක්ෂිත වේ. එවිට බදුකරු බදු දේපළ හැර නොයාම, ගිවිසුම් කොන්දේසි කඩකිරීම වැනි අවස්ථාවල පහසුවෙන් නීතිමය පියවර ගැනීමට හැකි වේ. මෑතකදී සම්මත වූ 2023 අංක 1 දරන බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනතද බදුහිමියා ආරක්ෂා කිරීමට උපකාරී වේ.
මීට අමතරව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට පදිංචිය සනාථ කිරීම වැනි වෙනත් අවශ්‍යතා වලට වුවද ඔ්නෑම තැනකින් ලියාපදිංචි බදු ගිවිසුමක් ඉල්ලා සිටිනු ලැබේ. එම නිසා ඔබ විසින් නොතාරිස්වරයෙකු ඉදිරියේ නිසියාකාරව ලියන බදු ගිවිසුමක් ලියාපදිංචි කරවා ගැනීමට කටයුතු කිරීමෙන් ඔබට බදු දීම හෝ බදු ගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු නොවේ. නියපොත්තෙන් කැඩීමට තිබෙන දේ පොරොවෙන් කැපීමට ඉඩ නොතැබීමට බුද්ධිමත් ඔබ අවදියෙන් සිටින්න.
ඉහත මා සඳහන් කළ සේවාදායකයාට විශාල ප්‍රශ්නයකට මුහුණපාන්න වූයේ ඇයි?
ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිය නීති පද්ධතීන් ගණනාවකගේ ආභාසය, බලපෑම ලබමින් මිශ්‍ර නීති පද්ධතියක් බවට පත් වී තිබේ. පොදු නීතිය වන රෝම-ලන්දේසි නීතිය හා ඉංග්‍රීසි නීතියේ වැඩි බලපෑමද විදේශ බලපෑම් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර පැවති දේශීය නීතියද මෙම මිශ්‍ර නීති පද්ධතියට එකතු වී සංකීර්ණ නීති රාමුවක් නිර්මාණය වී ඇත. එම නීතිය ශතවර්ෂ ගණනාවක සිට විවිධ ජාතීන් ඔස්සේ ද 1833 ව්‍යවස්ථාදායක සභාවේ සිට 1978 නීති නිමැවුම් මහගෙදර වූ පාර්ලිමේන්තුව හරහාද අණ පනත් හා සංශෝධන රාශියකින් පෙරී දැන් පවතින ඔබ මම භාවිතා කරන නීතිය ලෙස ඉතිරි වී ඇත.
ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ කරන සෑම දෙයක්ම යම්කිසි නීතියකට ඇතුළත් වේ. උදාහරණයක් ලෙස ඔබ උදෑසන රැකියාවට පිටත්ව යාමට සූදානම් වනවා. ඔබගේ මෝටර් රථයෙන් ඔබ මහාමාර්ගයට පිවිසෙන තැන පටන් ඔබ මාර්ග නීතියට යටත්. ඔබ යන රැකියාවට යා යුතු වෙලාවක් තිබෙනවා. ඔබේ ප්‍රධානියා ඔබට මාස් පතා වැටුප් ගෙවිය යුතු වෙනවා. ඒ කම්කරු නීතිය. ඔබ විවාහ වනවා. දරුවන් ලබනවා. ඔබ ඔබේ බිරිඳ හා දරුවන් නඩත්තු කිරීමට නීතියෙන් බැඳී සිටිනවා. ඒ නඩත්තු නීතිය. ඔබේ මව්පියන් ඔබ හැර යනවා. ඔබ බූදල් නීතියට අනුව කටයුතු කළ යුතුයි. ඔබ නොදැනුවත්වම නීති ගණනාවක් යටතේ ජීවත් වනවා. නීතිය පැය 24ම ඔබ සමග. නමුත් ඔබට නීතිය අවශ්‍ය වන්නේ ඔබේ ඉහත කී මෝටර් රථය පොලීසිය විසින් නැවැත්වූ විට, ප්‍රධානියා පඩි නොගෙවූ විට, බිරිඳ නඩත්තු ඉල්ලන විට, දෙමාපියන්ගේ දේපළ විකිණීමට. එහෙම නේද? ඒත් ඔබට නීතිය අවශ්‍ය වන විට ඔබ ප්‍රමාද වැඩි නම්?
ප්‍රමාද වී පසුතැවිලි නොවෙන්න
ඔබ කළ යුත්තේ කුමක් ද?
බොහෝවිට මා හමුවට එන සේවාදායකයින් වැරදි පාරවල් වල වැරදි උපදෙස් මත ගමන් කිරීම නිසා ඔවුන්ව ගොඩ ගැනීමට අපහසු තත්වයේ සිටියදී තමයි නීතිඥවරයෙකු හොයාගෙන එන්නේ. බරපතළ රෝගයක් වුවත් මුල් අවස්ථාවේම නිසි ප්‍රතිකාරවලට යොමු වූ විට සුව කිරීමේ හැකියාව තිබෙනවා. නීතිමය ප්‍රතිකර්මත් ඒ හා සමානයි. ඔබ සෑම විටම ගැටලුවකදී උපදෙස් ලබා ගත යුත්තේ ඒ සම්බන්ධ දැනුමක් පළපුරුද්දක් තිබෙන අයෙකුගෙන්. ඔබේ ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකට මුහුණ දුන් කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීම වෙන අයෙකුගේ රෝගයකට ලබා දුන් බෙහෙත් ඔබ බොනවා වැනි වේ. එලෙසම නීතිඥවරුන් නොවන ඒ ආශ්‍රිතව සේවය කරන වෙනත් අයගේ උපදෙස් ලබා ගැනීමත් ඒ වගේම භයානක ප්‍රතිඵල ලබා දිය හැකි කාරණයක් වේ. වෘත්තීමය නොවන සාමාන්‍ය පුද්ගලයින් මුදල් ලබා ගෙන ඔබට වැරදි උපදෙස් ලබා දෙන්න පුළුවන් බව සැමවිටම මතක තබාගත යුතු වේ.
ප්‍රශ්නෙකදි දෙවනුවට වැඩිම පිරිසක් පිළිසරණ පතන ස්ථානය වෙන්නේ පොලිසියයි. පොඩි දබරයක් වුණත් මුදල් වංචාවක් වුණත් පොලිසියට පැමිණිලි කිරීමට බොහෝ දෙනා නිතැතින්ම පෙලඹේ. නමුත් පොලිසියට පැමිණිලි කළ යුතු ප්‍රශ්න සහ නොකළ යුතු ප්‍රශ්න තිබෙනවා මෙන්ම පොලිසිය නොවන බොහෝ ආයතන ඔබට විසඳුම් ලබා ගැනීමට පවතී. නිසි වේලාවේ නිසි ආයතනයට යන්නට නම් ප්‍රශ්නයකට මුහුණ දුන් හෝ මුහුණ දෙමින් සිටින ඔබට උපදෙස් අවශ්‍යයි. නිසි උපදෙස් අනුව කටයුතු කිරීමෙන් කාලයත් මුදලුත් ඔබේ අතේ ඉතිරි කර ගන්න හැකියාව ඇත. ඒ නිසාම ගැටලුවකදී කරන්න තිබෙන හොඳම මුල් පියවර වන්නේ නීතීඥවරයෙකු මුණගැසීමය. නීතිඥවරයෙකු හමුවීමට අනිසි බියක් හෝ දුරස්ථභාවයක් ඇති කර ගත යුතු නැත. නීතිඥවරුන් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටී. එසේ නොමැති නම් සෑම උසාවියකම පිහිටුවා ඇති නීති ආධාර ඒකකය මඟින්ද ඔබට නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම නීතිය ගැන සවිඥානිකව සිටින්න. එවිට උගත් හෝ නූගත් හෝ කිසිම අයෙකුට ඔබව නොමඟ යැවීමේ හැකියාවක් නැහැ.