Home » පස්-වැලි පාතාලයට තිත තබන මෙහෙයුම

පස්-වැලි පාතාලයට තිත තබන මෙහෙයුම

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– හංවැල්ල නිරිපොළ පුරන් කුඹුරු කපා පළාතම විනාශ කරලා
– මහවැලි ගඟේ මහියංගණය වේරගංතොට වැලි ජාවාරම් ගැනත් සොයයි
– හංවැල්ලේ පස් පාත­ාලයෙක් හිරේ සිට දෙන නියෝග

පස්, වැලි, කළුගල්වලට සැමදා ඇත්තේ ඉතා හොඳ ඉල්ලුමකි. ඒ නිසාම ඇති වී ඇති තරගය නිසා මේ ‘සම්පත්’ අත්පත් කරගැනීමේ අටියෙන් ඒ සඳහා රුපියල් ලක්ෂ කෝටි ගණනින් මුදල් වියදම් කරන අයද නැත්තේම නැත. ඒ නිසාම මේ ව්‍යාපාරයේ නිරතව සිටින ඇතැම් අය අතර තරගයක්ද, ඒ නිසාම එම එකිනෙකා අතර වෛරයක්ද පවතින්නේ අද ඊයෙක සිට නොවේ. මේ හේතුව නිසා පස් වැලි කළුගල් ‘පාතාලය’ද ක්‍රමයෙන් හිස ඔසවා තිබුණු අතර, මේ නිසාම ඇතැම් අවස්ථාවල ඇති වූ ආරවුල් මිනිස් ඝාතනවලින්ද අවසන්ව තිබුණු බව කිසිවකුට අමතක නැත.

ගංගා, ඇළ-දොළ, කඳුවැටි, ගල්තලා අත්පත් කරගෙන පස්, වැලි, කළුගල් ජාවාරම ජයටම සිදු කරගෙන යන කල්ලි කණ්ඩායම්වලට රතු එළියක් දැල්වී ඇත්තේ පසුගිය දිනවල සිටය. ඒ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු විමර්ශන කණ්ඩායම් දිගින් දිගටම සිදු කළ මෙහෙයුම් නිසා පස්, වැලි, කළුගල් ‘පාතාලය’ ක්‍රමයෙන් ‘සෙලවෙමින්’ පවත්නා නිසාය.

කොළඹට නුදුරු හංවැල්ල, නිරිපොළ විශාල ප්‍රදේශයක පාරිසරික විනාශයකට ලක් කරමින් පස් පාතාලයේ කණ්ඩායමක් දීර්ඝ කාලයක සිට සිදු කරගෙන ගිය ජාවාරමක් වැටලීමට මුලින්ම කටයුතු කරන්නේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ය. ඒ, බස්නාහිර පළාත් දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපනගේ උපදෙස් මතය.

හංවැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් තුරුමුල්ල ගම්මානයේ ඇල්බඩ පුරන් කුඹුරු වෙල් යායේ විශාල ප්‍රදේශයක් අනවසරයෙන් අල්ලාගෙන සිටි පාතාල කල්ලියක් ප්‍රදේශවාසීන්ද බිය වද්දාගෙන පස් ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණේ දීර්ඝ කාලයක සිටය.

හංවැල්ලේ පාතාල කල්ලියක් මිනිසුන්ද බියවද්දාගෙන අදාළ ප්‍රදේශයේ පුරන් කුඹුරු වෙල් යායක් බලෙන් අල්ලාගෙන දීර්ඝ කාලයක සිට මේ නීති විරෝධී පස් ජාවාරම සිදු කරගෙන යන බවට පැමිණිලි ලැබී තිබුණේ බස්නාහිර දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපනටය.

මේ තොරතුරු විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි මුළු විමර්ශනයම භාර කරන්නේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටය. එහි ස්ථානාධිපති චමින්ද කුලසිංහගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හංවැල්ල, නිරිපොළ, තුරුමුල්ල ගම්මානයට ගොස් ඇල්බඩ පුරන් කුඹුරු වෙල්යාය ප්‍රදේශයට ප්‍රවිෂ්ට වෙද්දී ‘පස් පාතාලය’ සිදු කරගෙන යන විනාශය පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය විය.

පොලිස් නිලධාරීන් මේ ස්ථානයට යද්දී පස් කැපීම සඳහා ගෙන ආ යන්ත්‍රසූත්‍ර එතැනම දැමූ පස් පාතාල කල්ලි සාමාජිකයෝ පලා ගියහ. පස් කැපීම සඳහා ඔවුන් උපයෝගි කරගත් කැටපිලර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක් සිය භාරයට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් මේ ගැන සිදු කළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වූයේ එම පස් ජාවාරම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇත්තේ ඒ ප්‍රදේශයේ පාතාල ප්‍රබලයකු බවයි. ඒ පාතාල නායකයා සංවිධානාත්මක අපරාධ කල්ලි කිහිපයක් අතර ඇති වුණු ගැටුමක ප්‍රතිඵලයක් වශයෙන් පසුගියදා ඝාතනය වී ඇති අතර, ඉන් අනතුරුව මේ ජාවාරම අතට ගත් ඔහුගේ පුත්‍රයා තාත්තාගේ ගෝලබාලයන් සමඟ එක්ව පස් ජාවාරම මහා පරිමාණයෙන් දිගින් දිගටම සිදුකරගෙන ගොස් ඇති බවද හෙළි විය.

මියගිය පාතාල ප්‍රබලයාගේ පුත්‍රයා සොයා විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක වුවත්, එහිදී හෙළි වන්නේ ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි. ඒ, හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධියක් මතය. මේ වැටලීම සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ හංවැල්ල පොලීසියේ කණ්ඩායමක් විසිනි.

මේ පුද්ගලයා පස් කැපීම සඳහා බලපත්‍රයක් වෙනත් ස්ථානයකට ගෙන ඇති අතර, ඔහු ඒ ස්ථානයට නොගොස් මෙහි පස් ජාවාරම සිදු කරගෙන යන්නේ පෙර කී බලපත්‍රය උපයෝගි කරගනිමින් නිලධාරීන් සූක්ෂ්මව රවටමින් බවද කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන් සිදු කළ විමර්ශනයේදී හෙළි විය.

මේ පස් පාතාල කල්ලිය නිරිපොළ, තුරුමුල්ල, ඇල්බඩ වෙල්යායේ ගලාබසින නිරිපොළ ඇළද විනාශ කර තිබූ බව පොලිස් නිලධරයන්ට නිරීක්ෂණය වී තිබේ. එය ගංවතුර කාලයේ ප්‍රාදේශවාසීන්ට මහත් බලපෑමක් ඇති කර ඇති බවද අනාවරණය විය. දැනට බන්ධනාගාරගතව සිටින මේ පස් ජාවාරම්කරු සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන, ඒ පිළිබඳ අධිකරණයටද කරුණු වාර්තා කිරීමට පොලීසිය කටයුතු යොදා තිබිණි. මේ ජාවාරම්කරු දැනට භාවිත කරන පස් බලපත්‍රයද වහා අවලංගු කිරීමට කටයුතු යොදන බව එහි පැමිණි අදාළ රාජ්‍ය ආයතන නිලධරයන් කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන්ට දැනුම් දී තිබිණි.

මේ පස් පාතාල කල්ලිය දීර්ඝ කාලයක සිට සිදු කරන මේ ජාවාරම ගැන ප්‍රදේශවාසීන් දැන සිට ඇතත්, ඔවුන් මේ පිළිබඳ වගකිව යුතු අංශ දැනුම්වත් කිරීමට ඉදිරිපත් වී නැත්තේ මේ පාතාල කල්ලි ප්‍රබලයා සහ සෙසු සාමාජිකයන්ගෙන් එල්ල වී ඇති ජීවිත තර්ජන නිසාය. එලෙස වගකිව යුතු අංශවලට මීට පෙර මේ ගැන පැමිණිලි කළ ප්‍රදේශවාසීන් කීප දෙනකුට අදාළ පාතාල නායකයාගේ ගෝල බාලයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිබුණු බවද හෙළි විය.

අදාළ ස්ථානයට නුදුරින් පිහිටි තවත් එවැනිම පස් ජාවාරම් සිදු කළ ස්ථානයක්ද විමර්ශන නිලධරයන්ට නිරීක්ෂණය වී ඇත. අත්හැර දමා ඇති ඒ ස්ථානයද ප්‍රබල පාතාල නායකයකුට අයත්ව තිබී ඇති අතර, ඔහුද මීට පෙර ඝාතනයට ලක් වී තිබිණි. ඒ ස්ථානයෙන්ද විශාල පරිසර හානියක් සිදු වී තිබුණු බව විමර්ශන නිලධාරීන්ට නිරීක්ෂණය විය.

විමර්ශන නිලධරයන් සිදු කළ නිරීක්ෂණයේදී හෙළි වූ තවත් කරුණක් වූයේ අදාළ ස්ථානයට ඌරු කොටු 16ක අපවිත්‍ර ද්‍රව්‍ය ගෙනැවිත් දමන බවයි. ඒ නිසා ප්‍රදේශයේ පවතින්නේ විශාල දුර්ගන්ධයකි. ගංවතුර බැසයෑම සඳහා වක්ඔය දක්වා ඉදි කළ නිරිඇළ පස් දමා වසා ඇති අතර, අධික වර්ෂාවකදී මේ ස්ථානය ජලය පිරී කැලණි ගඟට එම ජලය මිශ්‍ර වීම වැළැක්විය නොහැකි බවද හෙළි විය.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් විසින් එලෙස අත්අඩංගුවට ගත් පස් කපන යන්ත්‍ර දෙක අධිකරණ කටයුතු සඳහා හංවැල්ල පොලිසියට භාර කෙරිණි.

මේ ආකාරයටම මහවැලි ගඟේ වැලි ගොඩ දමමින් සිදු කරන පරිසර විනාශය වැළැක්වීම සඳහා බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ නියෝගය පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් මහියංගණයේදී විමර්ශනයක් ආරම්භ කළේ පසුගියදාය.

මහියංගණය වේරගංතොට මහවැලි පාලමේ ආරක්ෂාව සඳහා වැලි කැණීම් සපුරා තහනම් කර ඇති කලාපයේ මේ වන විටත් සිදු වන නීති විරෝධි වැලි කැණීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ඒ ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මහියංගණය පොලිස් වසමට අයත් වගාව ගම්මානයේ මහවැලි ගඟේ වැලි ජාවාරම් ඉතා තදින් සිදු වන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුර මත මේ විමර්ශනය සිදු විය. මේ ස්ථානයද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

නීති විරෝධි වැලි කැණීම්වලින් ගොඩ ගන්නා වැලි ට්‍රැක්ටර්වලට පැටවීම සඳහා ඒ ට්‍රැක්ටර් මහවැලි ගඟට දමන ස්ථාන ගල් දමා සකස් කර ඇත්තේ ට්‍රැක්ටර් වැල්ලේ එරී නොයෑම සඳහාය. එවැනි ස්ථාන පස්වැටි දමා අවහිර කරන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මීට පෙරද පොලීසිය සහ වගකිව යුතු සෙසු රාජ්‍ය ආයතනවල නිලධරයන් අදාළ ප්‍රදේශයට පැමිණ මේ ගැන විමර්ශනය කර ට්‍රැක්ටර් මහවැලි ගඟට දමන මාර්ග පස්වැටි යොදා අවහිර කරනු ලැබුවත් එහෙත් වැලි ජාවාරම්කරුවන් ටික දිනකින් එම පස්වැටි ඉවත් කර සිය ජාවාරම් රිසිසේ සිදු කරගෙන ගොස් තිබිණි.

වගකිව යුතු රාජ්‍ය ආයතන සියල්ලේම සහයෝගය ඇතිව ඉදියේදී මහවැලි ගඟේ අනවසර වැලි ජාවාරම නැවැත්වීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව කී නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල හසලක පොලිස් බල ප්‍රදේශට අයත් මහවැලි ගඟේ ස්ථාන කිහිපයකද සිදු වන අනවසර වැලි කැණීම් නැවැත්වීමට මෙහෙයුම් සිදු කරන බවද සඳහන් කළේය.

මේ අතර හොරණ රන් පොකුණුගම ගම්මානයේ කළු ගඟ ආශ්‍රිතව වැලි ගොඩ දමමින් සිටි තිදෙනකුද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගියදාය.

විශේෂකාර්ය බළකායේ හොරණ කඳවුරේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම සහ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධරයන් කණ්ඩායමක් විසින් මේ මෙහෙයුම සිදු කරන ලදි. වැලි ජාවාරම සඳහා යොදාගත් එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ එම වැලි නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබුණු ටිපර් තුනක් ද අත්අඩංගුවට ගැනිණි. සැකකරුවෝ අදාළ වාහනද සමඟ වැඩිදුර විමර්ශන සඳහා හොරණ පොලිසියට භාර කරනු ලැබූහ.

ඡායාරූප – නුගේගොඩ සමීර අබේසිංහ / මාපාකඩවැව රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division