විශාල වැය බරක් දැරීමට සිදු වීමත් ගොවීන් මිරිස් වගාවෙන් ඈත් වීමට හේතුවක්
මේ වන විට අමු මිරිස් කිලෝවක මිල නැවතත් රුපියල් දහස ඉක්මවා ගොස් ඇත. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් එක්දහස් පන්සීයකට ආසන්නව පවතී. මේ අතර ආනයනික වියළි මිරිස් කිලෝවක මිල රුපියල් නවසීයක් පමණ වන විට, දේශීය වියළි මිරිස් කිලෝව රුපියල් දහස ඉක්මවා යමින් තිබේ. දේශීය මිරිස් වගාව සපුරාම අකර්මණ්‍ය වී ඇති පසුබිමක මේ මිල ඉහළ යෑම දැඩිව අවධානයට ගත යුතු කරුණක් බවට පත්ව ඇත. මේ හේතුවෙන් මෙරට මිරිස් වගාව වර්තමානය වන විට පවතින පසුබිම පිළිබද යම් විමසුමක යෙදීමට අවස්ථාව උදා වී ඇත.
හැත්තෑව දශකයේ මෙරට වියළි කලාපයේ මිරිස් වගාව ඉහළ මට්ටමින් සිදු වුවද, මිරිස් වගාවට වැලඳෙන විවිධ රෝග, පලිබෝධ හානි, නියගය, අධික වැසි වැනි පාරිසරික බාධක හේතුවෙන් ගොවීන් වගාවෙන් බැහැර වීමත් සමඟ දේශීය නිෂ්පාදනය පහත වැටී, වියළි මිරිස් ආනයනය ඉහළ ගොස් ඇත. අමු මිරිස් පාරිභෝගිකයාට දැරිය නොහැකි මිලක් දක්වා ඉහළ නැඟ තිබේ. මොනරාගල, අම්පාර, පුත්තලම, වවිනියාව, කුරුණෑගල, හම්බන්තොට සහ විශේෂයෙන් අනුරාධපුරයේ කලාවැව කේන්ද්‍ර කොටගෙන ඇති මහවැලි එච් කලාපය ප්‍රධාන වශයෙන් මිරිස් වගා කරන ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. මහවැලි එච් කලාපයේ ගල්නෑව, තඹුත්තේගම, තලාව, එප්පාවල, නොච්චියාගම, මහඉලුප්පල්ලම ආදි ප්‍රදේශවල අසුව දශකය තුළ ඉතා සාර්ථකව මිරිස් වගාව සිදු කොට ඇතත්, අද වන විට ඒ තත්ත්වය සම්පුර්ණයෙන් බිඳවැටී තිබේ.
එවැනි පසුබිමක අනුරාධපුරය, නොච්චියාගම ප්‍රදේශයේ ගලේඇළ, ඇත්පන්තිය, ඇහැටුවාගම, කුඩාවැව, අඹගහවැව, ඉට්ටිකුලම, කුකුල්කටුව, රනෝරාව, දුණුමඩලාව, කොකුන්නෑව, හැලඹවැව ආදි ගම්මැදිවල ගොවීහු විවිධ දුෂ්කරතා මැද තවමත් හේන් ආශ්‍රිතව මිරිස් වගාවේ නියැළී සිටිති. මෙහි ගොවීහු වැඩි පිරිසක් අමු මිරිස් අස්වැන්න ඉලක්ක කොටගෙන මිරිස් වගාවේ යෙදෙති. අමු මිරිස් අස්වැන්න ඉහළ මිලකට අලෙවි කරගත හැකි වීම මීට හේතු වී තිබේ. එහෙත් වරින් වර මතුව එන විවිධ උපද්‍රව්‍ය හේතුවෙන් මේ කලාපයෙන්ද ක්‍රමයෙන් මිරිස් වගාව අත්හැරෙමින් ඇත. නොචිචියාගම, ඇහැටුවාගම ගමේ සමන් ප්‍රේමසිරි කලක් තිස්සේ මිරිස් වගාවේ නියැළෙන ගොවියෙකි. කලින් කලට අමු මිරිස් මිළ ඉහල යෑම ගැන ඔහු කීවේ මෙවැනි අදහසකි:
“එක පාරටම ආයෙත් අමු මිරිස් කිලෝව රුපියල් දාහකට ගියේ මේ වැස්සත් එක්ක. තිබ්බ කොටු ඔක්කොම වගේ කුණු වුණා. ඒකෙන් අමු මිරිස් හිඟ වුණා මිල වැඩි වුණා. වැස්සෙන් පස්සේ ඉතුරු වෙච්ච මිරිස් කරලත් පොඩියි. ඇත්තටම මේ ගම්වල මිනිස්සු කිසිම කෙනෙක්ගේ උදවුවක් නැතිව මේ ගොවිතැන කරගෙන යන්නේ. අතේ සල්ලි නැතිව අවාට ගියාට දැන් මිරිස් ගොවිතැන කරන්ඩ බෑ. වියදම වැඩියි. සත්තුන්ගේ කරදරය වැඩියි. පලිබෝධ හානි වැඩියි. ඒ හැමදේමත් එක්ක ගොවිතැන ගැන බලන්ඩ ඉන්න නිලධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නෑ. කෘෂිකර්ම නිලධාරි වැඩ කරන්නේ ගමකින් තෝරගත්ත ගොවියෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්ක. පොදුවේ මිනිස්සුන්ට එයාලගෙන් සේවයක් වෙන්නේ නෑ. මේක තමයි ඇත්ත. සමහර නිලධාරීන් අපි අවුරුදු ගාණකින් දැකලා නෑ.”
අනුරාධපුරයේ කලාවැව නිම්නයේ මහවැලි ප්‍රදේශයේ සරුසාරව කෙරෙන අතුරු භෝග වගාවන් අතර මිරිස් වගාව සඳහා අසූව දශකය තුළ ලැබී ඇත්තේ විශේෂ ස්ථානයකි. මේ පසුබිම නිසාම මහවැලි එච් කලාපයට එවක “රතු පලස” යන අන්වර්ථ නාමයද පටබැඳී ඇත. එවක විශේෂයෙන් මහවැලි එච් කලාපයේ මිරිස් වගාවෙන් ගොවීහු සරු අස්වැන්නක් ලබාගත්හ.
එමඟින් ඔවුහු හොද ආදායමක්ද උපයාගත්තා පමණක් නොව, ගල්නෑව ආදි ප්‍රදේශවලින් ලැබී ඇති සරු මිරිස් අස්වැන්න මැද පෙරදිගට අපනයනය කරනු ලදුව එමඟින් විදේශ විනිමයද උපයා ගනු ලැබ තිබේ. එහෙත් අද වන විට සියල්ල කණපිට පෙරළී ඇත්තේ මෙරට මිරිස් වගාව පිළිබඳ අර්බුදයක් නිර්මාණය කරමිනි. නොච්චියාගම, ඇත්පන්තිය ගමේ රුචිර ප්‍රේමසිරි තරුණ අවදියේදීම ජීවිකාව ගෙන යෑමට මිරිස් වගාව තෝරාගත් අයෙකි. ඔහු මෙසේ අදහස් දැක්වීය:
“අක්කරේක මිරිස් හදන්ඩ බීජ ග්‍රෑම් 400ක් විතර ඕනැ. දැන් බීජ ග්‍රෑම් 10ක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. එතකොට බීජවලට විතරක් රුපියල් ලක්ෂේකට වැඩිය යනවා. තුන් පාරක් පොහොර දාන්ඩ ඕනැ. කෘමිනාශක ගහන්ඩ ඕන, දියර පොහොර ගහන්ඩ ඕනැ. මිරිස් කඩන්න, ප්‍රවාහනේ කරන්න. මේ හැම දේම වියදම්. අලින්ගෙන්, මොනරුන්ගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. අඩුම තරමින් හේනක වගා ළිඳක් කපාගන්ඩ තරම් උදවුවක්වත් අපට හම්බ වෙලා නෑ. මිරිස් වගා කරන්ඩ උදවු කරනවා කියලා එක එක ව්‍යාපෘති ගැන කියනවා. ඒවා නිකං ඇස්බැන්දුම් විතරයි.”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිගමනයට අනුව මිරිස් වගාව සඳහා මෙරට තුළ හොඳ විභවයක් පවතී. එහෙත් අපගේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය ජාතික අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නැත. එහෙයින් විශාල වශයෙන් විදේශ විනිමය වැය කර වසරක් පාසා මිරිස් ආනයනය කිරීමේ අවාසනාවට අපි තවමත් මැදිව සිටිමු. පසුගිය වසර කිහිපයේ දේශීය මිරිස් වගාවේ හා නිෂ්පාදනයේ ශීඝ්‍ර පසුබැසීමක් පෙන්වන අතර, ආනයනය හා ඒ සඳහා වැය වන විදේශ විනිමය වසරෙන් වසර විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද පෙනී යන්නකි. අප රටෙහි වාර්ෂික වියළි මිරිස් අවශ්‍යතාවෙන් 90%ක් පමණම ආනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය හෙළිදරවු කරයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වියළි මිරිස් පාරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් 55,000ක් පමණ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඉන් මෙට්‍රික් ටොන් 48,000ක් පමණම ආනයනය කිරීමට සිදුව ඇත. ඒ සදහා වසරකට මිලියන ගණනක මුදලක වැය කිරීමට සිදුව තිබේ. මේ අතර මෙරට වාර්ෂික අමු මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 70,000ක් පමණ යැයි ගණන් බලා ඇත. ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල වාර්ෂික වියලි මිරිස් පාරිභෝජන අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් දෙකහමාරක් පමණ වන බවට ගණන් බලා ඇත. දැනට රටට අවැසි අමු මිරිස් අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කොට සපුරා ගැනෙන බව සඳහන් වුවද ඒ සඳහා කලින් කලට අධික පිරිවැයක් දැරීමට පාරිභෝගික ජනයාට සිදුව ඇත. අමු මිරිස් කිලෝවක් කලකදී රුපියල් දහස ඉක්මවන විට තවත් විටකදී සියයක් තරම් පහළ වැටේ. නොච්චියාගම, ගලේයාය ගමේ උදාර සම්පත් මේ මිල උච්චාවචනය පිළිබඳ පැවසුවේ මෙවැනි අදහසකි:
“රුපියල් දාහට අමු මිරිස් මිල යනකොට අපි ළඟ මිරිස් නෑ. කොටු විනාශ වෙලා ඉවරයි. පහුගිය කාලේ මිරිස් අමු මිරිස් කිලෝව රුපියල් සීයට වැටුණා. ඇත්තටම මේ විදිහට මිල ඉහළ යන එකෙන් ගොවියො වෙච්ච අපට මහලොකු වාසියක් නෑ. ගොවියන්ටයි, මිනිස්සුන්ටයි සාධාරණයක් වෙන විදිහේ වැඩපිළිවෙළක් හැදුණා නම් මෙහෙම ප්‍රශ්නයක් නෑ.”
දිගු කලක් තිස්සේ වගා කිරීම නිසා භුමිය පාංශු ඛාදනයට ලක්ව ඇත. රසායනික පොහොර, කෘමිනාශක යෙදීම නිසා පෝෂක කොටස් විනාශයට පත් වූ ගොවි බිම් යළි මිරිස් වගාවට සුදුසු ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පැනනැඟී ඇත. වියළි කලාපයේ මිරිස් වගාවට සුදුසු ඉඩම් හඳනාගෙන ජීව විද්‍යාත්මක හා යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳව ගොවීන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවද මතු වී ඇත. නිසි ප්‍රමිතියෙන් යුතු බීජ ගොවීන්ට හඳුන්වාදීම සහ පහසුවෙන් මිල දී ගැනීමේ ඉඩකඩ සැලසිය යුතුව ඇත. ව්‍යාජ බීජ වෙළෙඳපොළ තුළ සංසරණය වීමෙන් සමහර වගා කන්නවලදී මිරිස් වගාවේ නියුතු ගොවීන් විවිධ අකරතැබ්බයන්ට මුහුණ පෑ අවස්ථාවලද අඩුවක් නැත.
බොහෝ විට බීජ, රසායන ද්‍රව්‍ය, පොහොර ආදිය පිළිබඳව ව්‍යාපාරිකයන් වෙතින් ගොවීන්ට අවශ්‍ය උපදෙස් ගැනීමට සිදුව ඇත. එපමණටම ගොවිතැන හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම අවම වී ඇත. මේ සියලු තත්ත්වයන් ද ඉතා සීමිත ප්‍රදේශයකට මිරිස් වගාව සීමා වීමටත්, වියළි මිරිස් ආනයනය ඉහළ යෑමට සහ අමු මිරිස් මිල විටින් විට අසාමාන්‍ය ලෙස උච්චාවචනය වීමටත් හේතු වී ඇති බව පැහැදිලිය. මේ සියල්ල නිතැතින් දකින නොච්චියාගම ඇහැටුවාගම ගම්මැද්දේ ලක්ෂ්මන් කුලතුංග අවසන සිදු විය හැක්කේ කවරක්ද යන්න ගැන මෙසේ කරුණු කීවේය:
“පහුගිය කාලෙ කතාවක් තිබ්බා මිරිස් අස්වැන්න වැඩියෙන් එන කාලෙට ශීතාගාරවල දාලා තියලා, මිරිස් හිඟ කාලෙට වෙළෙඳපොළට දාන්න. ඒත් ඒවා නිකම් කතා විතරයි. ගොවියෝ අලුත් ක්‍රමවලට හුරු කරන්න දවසෙන් දෙකෙන් බෑ. ඒකට නිලධාරින්ගේ අවංක කැප වීමක් ඕනෑ. කොහොම හරි මෙහෙම ගියොත් වෙන්නේ මිරිස් හදන ගොවියො කිහිප දෙනාත් මේ වගාවෙන් ඈත් වෙන එකයි.”
තඹුත්තේගම විශේෂ - ඩබිලිව්. ප්‍රදීප්