පටු අදහස් නම් පවුරින්
ලෝකය කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී…
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ…
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන…
– මහගම සේකර
මහගම සේකරයන් රන් හා සමාන එවදන් ගීයට නැඟුවේ අපගේ දේශය පටු අදහස් නම් පවුරේ සිර වී, කැබලිවලට බෙදීමට අයාලේ යමින් තිබෙන බව කල් තියාම දාර්ශනිකව දුටු නිසාය. එහෙත් ඒ වදන් නිවැරදිව වටහාගන්නට අපට අඩසියවසක් ගත වී තිබේ.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතවාදි පාලනයෙන් නිදහස් වීමෙන් පසු ගෙවන 77 වැනි වසරට පැමිණ ඇත. ලොව කවර ජාතියක හෝ දේශයක හෝ වේවා, ජනතාව නව වසරකට පා තබන්නේ දහසකුත් එකක් බලාපොරොත්තු හා ප්‍රාර්ථනා පෙරදැරිවය. ඕනෑම රටක ජනතාවට එළඹෙන නව වසර තුළ ඉටු කරගත යුතු ඉලක්ක තිබේ; සාක්ෂාත් කරගත යුතු ප්‍රාර්ථනා තිබේ; අත්පත් කරගත යුතු ජයග්‍රහණ තිබේ. ශ්‍රී ලංකාව නව වසරට පා තබන්නේ රටේ ජනතාව අපේක්ෂා කළ මහා වෙනස යථාර්ථයක් වනු දකින පිපාසයෙනි.
නව වසර අභිමානනීය වසරක් බවට පත් කරගත හැකි වන්නේ අපේ සිතුම් පැතුම් තුළ ඇති විය යුතු වෙනස අප නිරවුල්ව, නිවැරදිව වටහාගත හොත් පමණි. ඉතිහාසයේ රෝදය පෙරළෙන්නේ ප්‍රගතිය කරාය. ඉතිහාසයේ චක්‍රය සමඟ ඉදිරියට ගමන් කරන්නෝ ප්රගතිශීලීන් වශයෙන්ද, ඉතිහාසය ආපස්සට කරකවන්නට වැර දරන්නෝ ප්රතිගාමීන් වශයෙන්ද දේශපාලන විද්‍යාවේදී හඳුන්වනු ලබති.
ප්රතිගාමි දේශපාලකයන් විසින් වසර 76ක් තිස්සේ ඉතිහාසයේ රෝදය ප්‍රගතිය කරා භ්‍රමණය වීමට ඉඩ නොදී අඩ තැබීමේ විපාක රටත්, ජනතාවත් මේ මොහොතේ අත්විඳිමින් සිටිති.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළේ: ‘ගත වූ වසරක් වසරක් පාසා අප යහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් ඉදිරියට ගියාද?, එසේත් නැති නම් අයහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් අතීතයටම ගියාද? යන පැනය අප හමුවේ තිබෙන බවය. ජනතාව වෙනස් වීමට සූදානම් වුවත්, පාලකයන් වෙනස් වීමට සූදානම් වූයේ නැත. අවසානයේ ඔවුන් ඉතිහාසයේ කුණු බඳුනට තල්ලු කරන ලද්දේ වැරදුණේ කොතනකදැයි නිවැරදිව වටහා ගත් පුරවැසියන් විසිනි.
ජනාධිපතිවරයා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ක්ලීන් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට සියලු පුරවැසියන්ගේ සහයෝගය අවශ්‍ය බවය. සෑම තැනක්ම, සෑම අංශයක්ම වෙනස් විය යුතුව තිබේ. එහි ප්‍රථම පියවර වන්නේ පුරවැසියන් වන අප වෙනස් වීමය. අපේ ගේදොර පමණක් නොව, අපේ ගම් දනව් නගරද අප විසින් පිරිසිදුව තබාගත යුතුව තිබේ. තමන් තමන්ට ආදරය කරන, තමන්ට ගෞරවය කරන මිනිසුන් බවට ප්‍රථමයෙන් පත් විය යුතුයැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ පැහැදිලි කිරීම තුළ තිබුණේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යන්නේ ගැඹුර සහ අභිමානයයි.
නව වසර ඇරඹිය යුත්තේ අප අපට ආදරය කරන අතරම පෙරළා රටේ සහෝදර පුරවැසියන්ටද ආදරය කරන, රටට ආදරය කරන මානවීය හැඟීමෙනි.
ප්‍රගතිය කරා යන ගමනේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෙරමුණ ගෙන තිබේ. ඔහුගේ නායකත්වයෙන් පෙරට යෑමට දේශපාලන භේද අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව තවමත් ප්රජාතන්ත්රවාදි, බහු දේශපාලනික රාජ්‍යයකි.
ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා එළඹෙන ගමන ආරම්භ කර තිබෙන්නේ නිදහස ලැබී වසර හැත්තෑ හයකට පසුවය. ආසියාවේ දැවැන්තයා වන චීනය දුප්පත්කම තුරන් කළ ලෝකයේ එකම රාජ්‍යයයි. ලෝකයට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා සියල්ලන් අත්වැල් බැඳගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පින් සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් ඉල්ලා සිටියේය. හෙතෙම ප්‍රකාශ කර සිටියේ සිහින සහ ප්‍රාර්ථනා බොහෝ දුර විය හැකි නමුත් කැප වීමෙන් සහ ලුහුබැඳීමෙන් ඒවා ඉටු කරගත හැකි බවයි; අපෙන් පරිබාහිර පරිසරයේ ඇති අවිනිශ්චිතතා සහ අභියෝග වටහාගත හොත් අපට උත්සාහයෙන් ජය ගත හැකි බවයි. අපට චීනයෙන් ඉගෙන ගන්නට බොහෝ පාඩම් තිබේ.
චීනය වැසි සහ සුළංකෝඩ නොතකා, දේදුන්න දුටුවේයැයි චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නව වසර සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඉලක්කය වූයේ ට්‍රිලියන 130ක දළ දේශීය නිෂ්පාදනය ඉලක්කයක් චීනය ජය ගත යුතු බවයි. ඒ ඉලක්කය සපුරාගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය සිය 20 වැනි මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිවාරයේදී නිශ්චිත සැලසුමක් සම්මත කළේය. ඒ අනුව අජටාකාශ ගවේෂණයේදී මෙන්ම සාගර ගවේෂණයේදීද චීනය නව ඉලක්ක සපුරාගත්තේය. Chanj’ e 6 චන්ද්‍ර යානය ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ අඳුරු පැත්තෙහි පස් සාම්පල් රැගෙන ඒමට සමත් විය.
චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාවට අනුව චීනය 2024 දී ස්මාර්ට් කර්මාන්තශාලා දසදහසක් අලුතින් ඉදි කර ඇත. මේ වන විට චීනය රාජ්‍ය සහනාධාර වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබේ. අලුත් මෝටර් රථයක් සඳහා තම පැරණි මෝටර් රථය හුවමාරු කරගන්නා චීන ජාතිකයන්ට ආර්එම්බී 20,000ක සහනාධාරයක් දෙන ලදි. එය සාම්ප්‍රදායික ඉන්ධන භාවිත කරන මෝටර් රථයක් මිල දී ගන්නා අයට ලැබෙන ආර්එම්බී 15,000ට වැඩිය.
පීකිං විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය හුන්ග් ටයිජුන් ප්‍රකාශ කර තිබුණේ නුදුරු අනාගතයේදී ජලයට සහ විදුලියට සමාන මූලික යටිතල පහසුකමක් බවට ඒඅයි තාක්ෂණය පත් වනු ඇත යනුවෙනි. චීනය වඩාත් ක්‍රියාශීලි ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවත් ඉහළ ප්‍රමුඛතාවක් ලෙස උසස් තත්ත්වයේ සංවර්ධනයක් අනුගමනය කරන බවත්, විද්‍යාව හා තාක්ෂණය සඳහා විශ්වාසයක් හා ශක්තියක් ප්‍රවර්ධනය කරන බවත් ආර්ථික හා සමාජයේ සංවර්ධනය වෙනුවෙන් නිසි වේගයක් පවත්වා ගන්නා බවත් ෂී ජින් පින් අවධාරණය කර තිබේ.
ඉදිරියේ ඇති සියලු රැකියා අතුරින් වඩාත් වැදගත් වන්නේ ජනතාවට ප්‍රීතිමත් ජීවිතයක් සහතික කිරීම බව චීන ජනාධිපතිවරයා අලුත් අවුරුදු පණිවිඩයෙන් ප්‍රකාශ කළේය. චීනය දැනටමත් දුප්පත්කම මුළුමනින්ම පරදවා ඇති අතර, මිනිසුන් පොහොසත් ජීවිතයක් ගත කරනවාද යන්න සොයා බැලීම සඳහා චීන ජනාධිපතිවරයා 2024දී රට පුරා සංචාරය කළේය. ගොවිපොළවලට සහ නාගරික නිවාසවලට ගිය ජනාධිපති ෂී ජින් පින් මිනිසුන් සමඟ කතා කර, ඔවුන්ගේ ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාගත්තේය.
සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපතිවරයා හුබෙහි පළාතේ එළවළු ගොවිපොළකට ගියේය. නිෂ්පාදනය ඉහළ නංවා වැඩි ප්‍රතිඵල අත් කරගැනීම පිණිස තාක්ෂණික දියුණුව ප්‍රයෝජනයට ගන්නා ලෙස ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා චීනයේ පූජියන් පළාතේ ධීවරයන් හමු වීමට ගිය අතර, වියළන ලද මුහුදු ආහාර නිෂ්පාදනය ගැන සොයා බැලුවේය. නොවැම්බර් මාසයේදී හෙතෙම ගන්සූහි පලතුරු වත්තක සංචාරය කළේය. කලාපයේ විශේෂත්වයක් වන රතු ඇපල් එහි හෙක්ටයාර් ගණනාවක් වගා කර තිබිණි.
පරිවර්තන සහ කැලඹිලි සහිත ලෝකයක වගකිව යුතු ප්‍රධාන රටක් ලෙස චීනය පාලන ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කරන අතර ගෝලීය දකුණ සමඟ ප්රායෝගිතාව තීව්ර කරමින් සිටින බව චීන ජනාධිපතිවරයා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කර තිබේ. දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය වේගවත්ම රට අපේ අසල්වැසියා වූ ඉන්දියාවයි. ලොව විශාලතම ප්රජාතන්ත්රවාදි රාජ්‍යය වූ ඉන්දියාව සමඟත් කොමියුනිස්ට් චීනය සමඟත් ඉතා හොඳ සබඳතා සහිතව වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
නොබැඳි ප්‍රතිපත්තියට එහා ගිය නූතනවාදි ප්‍රවේශයක් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන බව විදේශ ඇමැති විජිත හේරත් ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ අනන්‍යතා රැකගනිමින් ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් හැටියට සිංගප්පූරුවද පර්යා නැඟී සිටින්නට අපට හැකියාව තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකාවක් සඳහා අපිදු සැඬ කුණාටු මැද්දෙන් දේදුන්න දකිමු.
උදේනි සමන් කුමාර