වසර ගණනාවක් දරු සම්පතක් නැතිව සුසුම්ලමින් සිටි පැතුම් සහ මාලිකාගේ කැදැල්ල කිරි සිනාවකින් එළිය වැටුණේ 2009 වසරේදීය. ලෝකයම දිනුවා යැයි තුටින් උන් යුවතිපතීන්ගේ සිත් කීරිගැසුණේ දෙවසරක් සපිරෙන්නටත් පෙර පුංචි දෝණි නිතර නිතර රෝගි වන්නට පටන් ගත් නිසාය. ඇය දරුණු අක්මා රෝගයට ගොදුරු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් සහතික වද්දී මව්පියන්ගේ ලෝකයම කඩාවැටුණේ ඒ වන විට එම රෝගය සඳහා විධිමත් ප්‍රතිකාර ශ්‍රී ලංකාව තුළ නොවූ බැවිනි.
එහෙත් දරුවකු වෙනුවෙන් මව්පියන්ට කළ නොහැක්කේ මොනවාද? අමෙරිකාවේ දකුණු කැරොලිනාහි පිහිටි hemangima ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් මේ රෝගය සඳහා ප්‍රතිකාර සොයාගෙන ඇති බව දැනගත් පැතුම් බොහෝ ආයාස දරා ඒ වෛද්‍ය කණ්ඩායම සමඟ සම්බන්ධ වී, සිඟිති දියණියට ප්‍රතිකාර ගැනීමට කටයුතු කළේය. මුල් අවස්ථාවේ ප්‍රතිකාර වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකළ විශේෂඥ කණ්ඩායම අමෙරිකාවටත් පසුව පිලිපීනයටත් පැමිණ, දියණියට ප්‍රතිකාර ගන්නා ලෙස පැතුම්ට දැන්වූහ. ඒ සඳහා වැය වන මුදල් සොයාගැනීමට පැතුම් සහ මාලිකාට දුෂ්කර වී තිබුණේ ඒ වන විට සන්තක සියල්ල දරුවාගේ රෝගය වෙනුවෙන්ම වැය කර තිබූ නිසාය.
“අපි ජනාධිපති අරමුදලෙන් පිහිටක් ඉල්ලමු.” හිතමිතුරන්ගේ ඒ ඉල්ලීම අනුව පැතුම් ජනාධිපති අරමුදලින් ආධාරයක් පැතීය. එහෙත් අරමුදලෙහි මුදල් ප්‍රමාණවත් නොවන බැවින් සීමිත රෝග සංඛ්‍යාවකට පමණක් මුදල් දෙන බවත්, මෙවැනි රෝග සඳහා ආධාර නොකරන බවත් දන්වා ජනාධිපති අරමුදලෙන් ලැබුණු ලිපිය දකිද්දී පැතුම්ගේ හිසේ අකුණු දහසක් එක්වර පුපුරා ගියේය. සිය ජීවිතය මරුකටේ බව නොදැන සුරතල් සිනා නඟන සිඟිත්තිය වැරෙන් ළයට තුරුලු කරගෙන සිඟා කා හෝ මුදල් එකතු කර ඇයගේ දිවි රැක දෙන්නට ඔහු අදිටන් කර ගත්තේ ජන දුක හඳුනන බවට පුරාජේරු ගසන ඒ ආණ්ඩුවට ශාප කරමිනි. තම දියණියගේ දිවි රැක දෙන්නට ප්‍රමාණවත් තරම් මුදලක් නොවූ බව කී ඒ ජනාධිපති අරමුදලම මැති ඇමැතිවරුන්ට දක්වා ඇති විශිෂ්ට සැලකුම් ගැන මාධ්‍ය මඟින් දැනගනිද්දී පැතුම්ගේ සිත කෝපයෙන් ගිනි ගත්තේය.
ජනාධිපති අරමුදල අවභාවිත කරමින් ලක්ෂ ගණනින් මුදල් ආධාර ලැබූ මැති ඇමැතිවරුන් අතර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විදේශ රටකදී ප්‍රතිකාර ලැබීම වෙනුවෙන් ලක්ෂ 110ක් ජනාධිපති අරමුදලින් ගෙන තිබිණි.
“එදා ජනාධිපති අරමුදල මගේ දුවට බෙහෙත් කර ගන්න පිටරට යන්න සල්ලි ටිකක් නොදුන්නෙ අරමුදලෙ තියෙන සීමිත මුදල සීමිත රෝග සංඛ්‍යාවකට විතරක් දෙන හින්දා මගේ දුවට හැදිලා තිබුණ ලිස්ට් එකේ නැති රෝගයකට ආධාර කරන්න බෑ කියලයි. දෙවියො අපේ මූණ බලලා මගේ අහිංසක දරුවගෙ ජීවිත රැකලා දුන්නා. රට යන්න සල්ලි හොයාගන්න මමත් පවුලෙ අයත් මගෙ යාළුවොත් හිඟා නොකා හිඟා කෑවා. ඒ දොස්තර මහත්තුරු දෙවිවරු වගේ නොමිලේ මගේ දුවට බෙහෙත් කරපු නිසා එයාගේ ජීවිතේ බේරාගත්තා. හැබැයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමාට පිටරටකදි බෙහෙත් කර ගන්න රුපියල් ලක්ෂ 110ක් දුන්නේ එතුමාට හැදිලා තිබුණු ලෙඩේ ලිස්ට් එකේ තිබුණු රෝගයක් හින්දද කියලා මම අහන්න කැමැතියි. එතුමා බැල්කනියෙන් වැටුණේ මොනවා කරන්න ගිහින්ද කියලා මුළු රටම දන්නවනෙ.”
පැතුම්ගේ සරදමත් කෝපයත් සාධාරණය. ඉකුත් සතියේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණය විසින් නිවේදනය කර තිබූ අතර, එලෙස අත්හිටවනු ලැබුවේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන් සතු බැංකු ගිණුම් සහ වත්කම් කිහිපයකි. ඒ අනුව බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 5ක් අක්‍රිය කළ අතර, කොළඹ 5 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයක්ද අත්හිටුවූ වත්කම් අතර වේ. එවැනි වත්කම් රැසක් සමඟ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සිය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 110ක් ජනාධිපති අරමුදලෙන් ලබාගැනීමට තරම් දුප්පතෙකු වූ හැටි! ඔහු පමණක් නොව හිටපු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් රැසක්ම එපමණටම දිළින්දන් සහ අසරණයන් නොවේදැයි ඔවුන් ජනාධිපති අරමුදල අවභාවිත කර ඇති ආකාරය දකිද්දී සිතේ.
එසේ වුවද 1978 අංක 7 දරන පනතින් ජනාධිපති අරමුදල ස්ථාපිත කර ඇත්තේ දරිද්‍රතාවට සහන සැලසීම, අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම, ආගම් නංවාලීම සඳහා දායකත්වය දීම, ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයන් කිරීම සහ ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ ශුභසිද්ධිය උදෙසා කාර්යයන් ඉටු කිරීම වෙනුවෙනි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ මහජන පරිත්‍යාග හරහා ජනාධිපති අරමුදල පවත්වාගෙන යනු ලබන අතර, ශ්‍රී ලාංකික පුරවැසියන් හට පමණක් ජනාධිපති අරමුදලෙන් මුදල් ගැනීමට අයදුම් කළ හැකි වුවද ඊට අදාළ කොන්දේසි හා නියමන් කිහිපයක්ම ඇත.
සැත්කම හෝ ප්‍රතිකාරය සිදුකර රෝහලෙන් පිට වූ දින සිට දින 60ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කිරීම (සති අන්ත හා රජයේ නිවාඩු දිනද ඇතුළුව), රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රු. 200,000 නොඉක්මවීම, රෝගියා, කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයකු ආදායම් බදු නොගෙවීම, සැත්කම හෝ ප්‍රතිකාරය සඳහා වැය වන මුළු වියදමෙන් 50%ක මුදලක් වෙනත් කවර හෝ ආයතනයකින් ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම (රක්ෂණාවරණයකින්/ වෛද්‍යාධාර ක්‍රමයකින්/ සුබසාධන ක්‍රමයකින්), ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය ලැබීම, සැත්කම/ ප්‍රතිකාරය සඳහා යන වියදම දරා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම, අදාළ සැත්කම/ ප්‍රතිකාරය ජනාධිපති අරමුදලේ අනුමත රෝහලකින් සිදු කරවාගෙන තිබීම, ජනාධිපති අරමුදලේ අනුමත මූල්‍යාධාර දෙන රෝගයක් වීම, ජනාධිපති අරමුදලේ අනුමත උපරිම මූල්‍යාධාරය ලබා නොතිබීම මෙන්ම අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම ඒ කොන්දේසි හා නියමයන්ය.
කළුතර පදිංචි විශ්‍රාමික අර්ධ රාජ්‍ය සේවකයකු වන ජයන්තගේ (68) කතාව මෙසේය:
“හදිසියේම මට පපුවෙ අමාරුවක් හැදුණා. පරීක්ෂණවලින් දැනගත්තා හදවතේ නහර හතරක්ම සියයට 99, 95, 90,96 වගේ බරපතළ විදිහටම අවහිර වෙලා කියලා. හැකි ඉක්මනින් සැත්කම නොකළොත් ජීවිතේ අවදානම් කියලා වෛද්‍යවරු කිව්වා. ඒ නිසා සැත්කමට වැය වෙන ලක්ෂ 10කට කිට්ටු මුදල කොහොමහරි හොයාගෙන හැකි ඉක්මනින් සැත්කම කර ගන්න තීරණය කළා. දුවගේ රැකියා ස්ථානයෙන් සහ අග්‍රහාර රක්ෂණයෙන් ලැබුණු ලක්ෂ 6න් ලක්ෂ 4ක් කෙළින්ම රෝහලට දීලා තිබුණා. තිබුණු සේරම මුදල් සහ ණයටත් සල්ලි අරගෙන ඉතුරු සල්ලි ටික හොයාගත්තා. ගිය ඔක්තෝබර් මාසේ සැත්කම කළා. මාස 3-4ක් සම්පූර්ණයෙන්ම විවේකයෙන් ඉන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා. ජනාධිපති අරමුදලට බිල්පත් ඉදිරිපත් කළාම එහෙන් ලිපියක් එවලා තියෙනවා, සැත්කමට වැය වුණු මුදලෙන් සියයට 50ක් කුමන හෝ විදිහකින් හොයාගෙන තියෙන නිසා අරමුදලෙන් මුදල් දෙන්න බැහැ කියලා. ඒ ආරංචිය දැනගත්තට පස්සේ මට ලොකු කම්පාවක් ඇති වුණා. එහෙට මෙහෙට ණය වෙලා හරිම අමාරුවෙන් සල්ලි ටික හොයාගෙන සැත්කම කළේ මුලින් ජීවිතේ බේරගෙන පස්සේ ජනාධිපති අරමුදලෙන් සල්ලි ටික අරන් ණයෙන් නිදහස් වෙන්නයි. ඒත් අන්තිමට වුණේ මම ණයකාරයෙක් වුණ එකයි. අවිවාහක දුව තමයි පවුලෙම බර අදින්නේ. දැන් අපි ණයකාරයොත් වෙලා. අපි වගේ අසරණ මිනිස්සුන්ට මේ අරමුදලෙන් පිහිටක් වෙන විදිහට නීතිරීති හදන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.”
උඩුපිල පදිංචි චන්ද්‍රසිරිගේ කතාවද එවැනිම අනුවේදනීය එකකි. හදවතේ එක් නාළයක 99.9%ක අවහිරතාවක් හේතුවෙන් වහාම ස්ටෙන්ට් එකක් දැමිය යුතු බව වෛද්‍ය නිර්දේශය ලැබෙද්දී ඔහුගේ සිහියට ආවේ ජනාධිපති අරමුදලේ පිහිටය.
“ඒ දවස්වල මැතිවරණ දවස්. පරක්කු වෙන දවසක් ගානේ ජීවිතේ අවදානම් කියලා දොස්තර මහත්තයා කිව්වා. ඒ නිසා ජයවර්ධනපුර රෝහලෙන් ස්ටෙන්ට් එක දාගන්න තීරණය කළා. ඒ සඳහා රුපියල් 580,000ක මුදලක් වැය වුණා. ඉතුරු කරගෙන හිටපු සේරම සල්ලියි මදි පාඩුවට ණයට ගත්ත සල්ලියි දීලා සැත්කම කරගෙන බිල් ටික ජනාධිපති අරමුදලට ඉදිරිපත් කළා. ගිය සතියේ ජනාධිපති අරමුදලෙන් ලියුමක් ආවා, ගෙවාගන්න පුළුවන්කම තියෙන නිසා මට ආධාර කරන්න බැහැ කියලා. හේතුව මීට වසර දෙක තුනකට කලින් මගේ බිරියගේ නංගිගේ මුදල් වගයක් මගේ බිරියගේ ගිණුමේ තැන්පත් කළා. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලැබෙන පොලී මුදල වැඩි නිසා. අපි ජනාධිපති අරමුදලට ඉදිරිපත් කළේ ඒ ගිණුම් අංකය. ඒ නිසා අපට දැන් ලොකු අසාධාරණයක් වුණා. සැත්කම නිසා මාස කිහිපයක් යන තුරු මට වෙහෙස වෙලා රැකියාවක් කරන්න බැහැ. මම විශ්‍රාමිකයෙක්. බිරියටත් රැකියාවක් නැහැ. එයාත් දිනපතා බෙහෙත් බොන පෙෂර්, කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ ලෙඩ ගොඩකින් පෙළෙනවා. සැත්කමෙන් පස්සේ මම දිනපතා බොන බෙහෙත්වලට මාසෙකට රුපියල් දහදාහක් විතර යනවා. ඒ සේරම එක්ක ජීවිතේ ගැටගහන්නවට අමතරව සැත්කමට ගත්ත ණය සල්ලි ගෙවන්නත් තියෙනවා. අපිට දරුවො නැහැ. හැමදාම නෑයින්ට කරදර කරන්නත් බැහැ. අපි ලොකු මානසික පීඩනයකින් ජීවත් වෙන්නෙ. ඒ වේදනාව අපි වගේ වයසක මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නෙ නැහැ. බිරියගේ ගිණුමෙ තියෙන මුදල් අපිට අයිති නැහැ කියලා ඔප්පු කරන්න අවස්ථාවක් දීලා, අපේ අසරණකම ගැන සලකා බලලා, සුළු මුදලක් හරි දෙන්න කියලා ජනාධිපති අරමුදලෙන් ඉල්ලා සිටිනවා.”
ඔහුගේ ආයාචනය වැනි හෘදය සංවේදි කතා රාශියක් ජනාධිපති අරමුදලේ පිහිට පැතූ මහජනතාවගෙන් ඇසෙමින් තිබේ.
ජනාධිපති අරමුදල විසින් ආධාර දීම ප්‍රතික්ෂේප කරමින් මහජනතාව වෙත යවනු ලැබූ ලිපි බහුතරයක සඳහන් වන්නේ අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති විධිවිධාන අනුව ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවයි. එසේ නම් මැති ඇමැතිවරුන් වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් ආධාර දීමේදී එකී විධිවිධාන අරමුදලෙන් ගිලිහුණේ කෙසේද යන්න ගැටලුවකි.
මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54,285ක් වන අතර, නියෝජ්‍ය ඇමැතිවරයකුගේ මසක වැටුප රුපියල් 63,500ක්, රාජ්‍ය ඇමැති හා කැබිනට් ඇමැතිවරයකුගේ මාසික වැටුප රුපියල් 65,000කි. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 156ක් පමණ වැය වන බවද පැවසේ. ඊට අමතරව පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ඇති අතර, ඊට අමතරව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා රුපියල් මිලියනයක වටිනාකමක් සහිත රක්ෂණ ආවරණයක් හිමිවේ. එවැනි තත්ත්වයක් මත ඔවුන් ලක්ෂ ගණනින් ජනාධිපති අරමුදලින් මුදල් ගැනීමේ ‘අසරණකම’ කුමක් දැයි විමසිය යුතුය.
ජනාධිපති අරමුදල පිළිබඳ 2022 විගණන නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ රෝගීන් 67 දෙනකු වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ රුපියල් 11,377, 501ක මුදලක් ගෙවීමට වසර 1 සිට වසර 3.5ක කාලයක් කල්මරා ඇති බවයි. එමෙන්ම 2022 දෙසැම්බර් 31 දිනට පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික ආයතනවලින් ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ගෙවිය යුතුව තිබූ වෛද්‍යාධාර අවස්ථා 31ක් වෙනුවෙන් රුපියල් 4,011,100ක මුදල ගෙවා අවසන් කර ඇත්තේද ජාතික විගණන කාර්යාලය විසින් එම ගෙවීම් කඩිනම් කරන ලෙස ජනාධිපති අරමුදලේ කළමනාකාරිත්වය වෙත දැන්වීමෙන් අනතුරුවය. විගණන කාර්යාලය විසින් පනතේ විධිවිධාන අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පාලක මණ්ඩලය වෙත කිහිප වරක්ම අවධාරණය කර ඇති බව 2020, 2021 විගණන වාර්තාවලින්ද හෙළි වේ.
වසර 2019, 2020 සහ 2021දී ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ගැනීම සඳහා ලැබී තිබූ අයැදුම්පත් 12,000කට ආසන්න ප්‍රමාණයක් එවකට ගෙන තිබූ ප්‍රතිපත්ති තීරණ මත රඳවාගෙන සිටි බවත්, 2022 ජූලි 28 දිනෙන් පසු එසේ රඳවාගෙන සිටි සියලු අයැදුම්පත් ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව පරීක්ෂා කර ප්‍රතිලාභ දිය යුතු රෝගීන්ට ඒවා දීමට කටයුතු කර ඇති බවත් 2022 විගණන වාර්තාවේ සඳහන් වේ. එසේ වුවද කිසියම් බරපතළ රෝගයකින් පෙළෙන රෝගියකුට වසර දෙක තුනක් ජීවිතය වෙනුවෙන් බලා සිටීමට කාලය තිබේද යන්න සහ මූල්‍යාධාරය ලැබෙන විට අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගීන් කී දෙනකු ජීවිතයෙන් සමුගෙන තිබුණාද යන්න සොයා බැලිය යුතු වැදගත්ම කරුණක් නොවන්නේද?
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකු විදෙස් රෝහලකදී සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා සමාලෝචිත වසරේදී තනි පුද්ගලයකු සඳහා ගෙවූ වැඩිම වටිනාකම වූ රුපියල් මිලියන 6,083ක් හා රුපියල් මිලියන 6,995ක් බැගින් එකතුව රුපියල් මිලියන 13,038ක් අරමුදලෙන් ගෙවා ඇති බව 2022 විගණන නිරීක්ෂණවල සඳහන් වේ. ඒ පිළිබඳ ජාතික විගණන කාර්යාලයේ විමසීමේදී ජනාධිපති අරමුදලේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ අරමුදල් පනත අනුව ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි මෙවැනි ගෙවීම් සිදු කළ හැකි බවය. එසේ වුවද අරමුදලෙන් ප්‍රතිලාභ ගෙවීමේදී වැඩි ප්‍රතිලාභීන් සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව විගණන කාර්යාලය විසින් නිර්දේශ කර ඇත.
එකී සමාලෝචිත වර්ෂයේදී හෘද සැත්කම්, පිළිකා රෝග, මොළය ආශ්‍රිත රෝග, දණහිස් හා උකුල ආශ්‍රිත රෝග, දණහිස් හා උකුල ආශ්‍රිත රෝග, වකුගඩු, වෙනත් ප්‍රතිකාර සඳහා රෝගීන් 5,101 දෙනකු වෛද්‍යාධාර ඉල්ලීම් කර තිබුණද රෝගීන් 2,750 දෙනකුට පමණක් ගෙවීම් කළ බවද නිරීක්ෂණය වේ. ජනාධිපති අරමුදලේ කළමනාකාරීත්වය ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ඉදිරිපත් කර නැති අතර, අරමුදලේ අරමුණු උපරිමයෙන් ඉටු කිරීමේ අවශ්‍යතාව ජාතික විගණන කාර්යාලය විසින් ඒ අවස්ථාවේදීද අවධාරණය කර ඇත.
2021 විගණන විමසුම තුළින් නිරීක්ෂණය වී ඇති වැදගත් කරුණක් වන්නේ සුභසාධන කාර්යයන් යටතේ කරුණාසහගත දීමනා ගෙවීම සඳහා හඳුනා ගත හැකි නිශ්චිත නිර්ණායක අරමුදල මඟින් හඳුන්වා දී නොතිබුණ ද අනුමත වෛද්‍යධාර දීමේ ක්‍රමයෙන් බැහැරව ප්‍රතිලාභීන් 7 දෙනකු සඳහා විවිධ රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් කරුණාසහගත දීමනා ලෙස රුපියල් 5,500, 075ක් අරමුදල විසින් වැය කර ඇති බවයි. මේ කරුණාසහගත දීමනා ලෙස ජනාධිපතිතිවරයාගේ විධානය රහිතව ප්‍රතිලාභීන් 3 දෙනකු වෙත රුපියල් 2,393,909ක් වටිනා වෛද්‍ය බිල්පත් ගෙවා තිබිණි. ඒ පිළිබඳ පිළිතුරු දෙමින් ජනාධිපති අරමුදලේ කළමනාකාරීත්වය පවසා ඇත්තේ 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 06 (ඉ) සඳහන් පරිදි අතිගරු ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එම ගෙවීම් සිදු කළ බවයි. ඇතැම් විට එම කරුණාසහගත දීමනා පොදු ජනතාව වෙනුවෙන් කැප වූ මැති ඇමැතිවරුන් පිළිබඳ කරුණාසහගතව දුන්නා විය හැකිය.
පසුගිය රජයන් සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ බව කියන දේශපාලනඥයන් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පැවැත්වෙමින් තිබේ. මහජනතාවගේ දුකට පිහිට වන්නට පිහිටුවා ඇති ජනාධිපති අරමුදල හරි පාරට වැටෙන තුරු මහජනතාව විමසිල්ලෙන් බලා සිටින බවද මතක් කළ යුතුය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්