Home » දේශප්‍රේමීන්ගේ පැටවු ගැසීම

දේශප්‍රේමීන්ගේ පැටවු ගැසීම

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

පුරවැසියකු ලෙස කතා කරන්න අකැමැති මාතෘකාව කුමක්දැයි මගෙන් කිසිවකු විමසා සිටියොත් එකඑල්ලේම දෙන උත්තරය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ අහිංසක මිනිසුන්ගේ මළ කඳන් මත දේශපාලනය කිරීමට පටන් ගත්තේ ඔවුන්ගේ මළ සිරුරුවල උණුසුම යෑමටත් පෙරය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වගඋත්තරකරුවන් කෙරුණු හිටපු ජනාධිපතිවරයකු වූ පොලොන්නරුවේ සිරිසේනද ඇතුළුව ඔහු විසින් පත් කර ගන්නා ලද ආරක්ෂක ලේකම්ද පොලිස්පතිවරයා ද වින්දිතයන්ට වන්දි ගෙවීමට අධිකරණයෙන්ම නියෝග ලැබූහ.

මේ සටහනට ප්‍රවේශ වන්නට දිනකට පෙර මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ නාමල් කුමාර නමැත්තකු අත්අඩංගුවට ගත් බවයි. මේ නාමල් කුමාරගේ නමට ඉදිරියෙන් සමාජ ක්‍රියාකාරි යන විශේෂණ පදයක්ද මාධ්‍ය විසින් හඳුන්වා දෙනු ලැබූ බව සඳහන් කළ යුතුය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන් යන වචන මෑතක සිට මාධ්‍ය ඔස්සේ නිතර ඇසෙන්නකි. මේ සමාජ ක්‍රියාකාරීන් මෙන්ම මයික් අල්ලන මාධ්‍යකරුවන්ද සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් නොව සමාජය වියවුල් කිරීම වෙනුවෙන් දායක වී ඇති බව නොරහසකි. නාමල් කුමාර පොලීසියට කටඋත්තරයක් දුන්නේ මීට බොහෝ කලකට පෙරය. ඒ හිටපු ජනාධිපති පොලොන්නරුවේ සිරිසේන සහ බෙලිඅත්තේ ගෝඨාභය ඝාතනය කිරීමට එවකට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සැලසුමක් ඇති බවටය. ඇත්තටම මේ තොරතුර දුන් නාමල් කුමාර කවරෙක්ද? කාගේ නිපැයුමක්ද? යන්න මාධ්‍යයට එතරම් වැදගත් වූ බවක්ද නොපෙනෙයි. නාමල් කුමාර. විටෙක දූෂණ විරෝධි බළකායක අධ්‍යක්ෂවරයෙකි. කලෙක දූෂණ විරෝධි පෙරමුණේ රාල කෙනකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරවරයකු වුවද දූෂණ විරෝධි බළකායේ අධ්‍යක්ෂට එවන් තනතුරක් නොලැබිණි. ගෙදරකට රිංගන්න ගොස් මිනිසුන් අල්ලා ගස් බැඳ පහර දුන් බවට මාධ්‍ය විටෙක වාර්තා කළ නාමල් කුමාර මොහුමදැයි සොයා බැලිය යුතුය. සිරිසේන, ගෝඨාභය, නාමල් ත්‍රිත්වය වෙන වෙනම නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ තිදෙනාම ගුප්ත චරිත බවයි.

සිරිසේන ජනාධිපති පුටුවේ ඉන්දවන්නට බොහෝ කැප කිරීම් හා පරිත්‍යාග කළ කිහිප දෙනකුටම එක්වර ඇරීමට පොලොන්නරුවේ සිරිසේන දක්ෂ විය. ඒ හැර ඔහු දක්ෂ වූයේ නම් ඒ ලණු කෑමටය. මේ ලණු කෑමේ කුප්‍රකට අවස්ථාව වන්නේ තමන් පැරදුණොත් අඩි හයක් හිමි කර දෙන බව කීවැයි ජනාධිපති වන්නට පෙර සිරිසේනම පැවසූ මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා විරෝධිව අගමැති කිරීමය. ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට වැරදිකරු වූ සිරිසේන, පසු කලෙක පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගඋත්තරකරුවකු ලෙසද අධිකරණය විසින් ප්‍රකාශයට පත් කෙරිණි. අධිකරණයෙන් නියම වූ දඩය ගෙවීමට ඔහු තමා නායකත්වය දැරූ පක්ෂයද කිසියම් පුද්ගලයකුට විකුණා දැමූ බව පසුගිය දිනවල පැතිර ගිය තවත් කාරණයකි. එහි ඇත්ත නැත්තද දන්නේ සිරිසේනලාමය. එදා බණ්ඩාරනායක සමඟ හර්බට් ශ්‍රී නිශ්ශංක වැනි බරසාර මිනිසුන් හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ ජෝකර්ලා අත සූදුවක් විය.

අත්අඩංගුවේ සිටින නාමල් කුමාර අප දන්නේ පොලිස් ඔත්තුකරුවකු ලෙසය. පොලිස් ඔත්තුකරුවන්ට ඔත්තුවලට ගෙවීමක් ලැබෙයි. නාමල් කුමාර එවකට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ ඇයිහොඳයියක් පවත්වන්නේ ඔත්තුකරුවකු ලෙසිනි. පොලීසියටද, හමුදාවටද, බුද්ධි අංශවලටද ඔත්තුකරුවන් වැදගත්ය. ලංකාවේ ජනමාධ්‍ය ආයතනවලද නාමල් කුමාර වැනි ඔත්තුකරුවන් සිටින බව මා දැනගන්නේ බොහෝ කලකට පෙරය. ඇතැම් අවස්ථාවල මාධ්‍ය ආයතන ඉහළින්ම නාමල් කුමාර ආවරණයට උපදෙස් ලැබුණු බවද රහසක් නොවේ. දැන් නාමල් කුමාර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොළකාරයකු බව කියන්නේ කතෝලික පල්ලියයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් විශාල පිරිසකට සමාජ සාධාරණත්වය ඉටු විය යුතුව තිබේ. උතුරේ වුවද දකුණේ වුවද සමාජ සාධාරණත්වය අහිමිව සිටින වින්දිතයන් බහුල වීම හොඳ තත්ත්වයක් නොවේ. රාජ්‍යයක පැවැත්මටද, ආණ්ඩුවක දේහ සුවතාවටද වින්දිතයන් බහුල වීම අහිතකර බව මගේ අදහසය. දේශප්‍රේමීන් පඳුරු අස්සෙන් පැටවූ ගහන විටෙකදීද, වින්දිතයන් සංඛ්‍යාත්මකව ඉහළ යන බව ප්‍රායෝගික සත්‍යයක් බව අප අතීතය පුරා අත්දැක ඇති කාරණයකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division