කොටස් ලෙස හොර පාරෙන් මෙරටට වාහන රැගෙන විත් එකලස්කර හොර පාරෙන්ම ලියාපදිංචි කර අලෙවි කිරීමේ ජාවාරම රට තුළ ක්‍රියාත්මක වන්නේ කලක පටන්ය.
හොර පාරෙන් රට තුළට ආ වාහන බොහෝමයක් මහ මඟ ධාවනය වන්නේ අබිලි වාහනවල ලියාපදිංචි අංක සවිකරගෙනය. රිය අනතුරුවලට ලක්වීමෙන් අනතුරුව රක්ෂණ ආයතනවලින් අබිලි වාහන ලෙස බැහැර කරන වාහන අංක මෙන්ම අබිලි ද්‍රව්‍ය ලෙස යකඩ බරට ඉවත් කරනු ලබන රජයේ වාහනවල ලියාපදිංචි අංක පවා ඒ අතර බොහෝය. මේ හැම දෙයක්ම සිදුවන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දූෂිත නිලධාරීන්ගේ සහයෝගය ඇතිවය. ජාවාරමේ ප්‍රධාන පුරුකක් ලෙස ක්‍රියාත්මක වන්නේ ඔවුන්ය. අබිලි වාහන වල චැසි සහ එන්ජින් අංක ජාවාරම්කරුවන්ට ලැබෙන්නේ ද ඔවුන් හරහාය. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුවෙමින් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහාය. ඊට මඟ පෑදෙන්නේ පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් කලකට පෙර සිදු කළ විමර්ශනයකදී හෙළි වූ තොරතුරකි. මෙතෙක් ඉතිහාසයේ තනි පොලිස් අංශයක් විසින් සිදු කළ විමර්ශන ඔස්සේ හොර වාහන වැඩිම ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කරගෙන ඇත්තේ නම් ඒ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පමණි. ඒ දූෂිත ජාවාරම්කරුවන්ට එම බළකායේ නිලධාරීන්ව සිය සාක්කුවට දමා ගැනීමට මෙතෙක් කිසිසේත්ම හැකියාවක් ලැබී නැති බැවිනි. ඒ නිසාම පසුගිය කාලය පුරාවට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් නීතියේ රැහැනට හසුකරගත් හොර වාහන ගණන 100කට ආසන්නය. එම වාහනවලින් බොහෝමයක් මිල අධික සුඛෝපභෝගී වාහන වීම විශේෂිතය. මෙහි නියමුවන් වන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන නිලධාරීන්ය.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ලෙස සේවයේ නිරතව සිටි උදය කුමාර සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ ඉන්දික වීරසිංහ යන නිලධාරීන් මෙම ජාවාරම පිටුපස සිටින මහ මොළකරුවන් ගැන තොරතුරු සෙවීමේ වගකීම එදා පවරන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ සේවයේ නිරත විශ්වාසවන්තම නිලධාරීන් අතර ඉදිරියෙන්ම සිටින පොලිස් සැරයන් ජයලාල්ටය.
තමන්ට පැවරෙන රාජකාරිය සිය දිවි පරදුවට තබා කැපවීමකින් ඉටු කරන නිලධාරියෙක් වන ජයලාල් මාස කිහිපයක් තිස්සේ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම ගැන බොහෝ තොරතුරු සොයා ගත්තේය. ඊට අනුව මෙම ජාවාරම මෙහෙයවන මහ මොළකරුවන් දෙදෙනෙකි. එක් අයෙක් ගම්පහ පදිංචිකරුවෙකි. ඔහු මයිකල් ය. දෙවැන්නා ආරියරත්නය. ඔහු පදිංචිව සිටියේ කඩවත පහළ කරගහමුදුනේය. මේ අයට රේගුවේ මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේත් සම්බන්ධකම් ඇති බව ජයලාල් සොයා ගත්තේය.
ජයලාල් විසින් ලබාදුන් තොරතුරු ඔස්සේ මහමොළකරුවන් දෙදෙනාගෙන් මුලින්ම සිය ග්‍රහණයට ගන්නේ ගම්පහ මයිකල්වය. අසනීප තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව සිටින මයිකල්ගෙන් වැඩි යමක් එහිදී හෙළි කර ගැනීමට එදා අවස්ථාවක් නොවීය. ඒ සීමාවකට යටත්ව ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුව තිබුණු බැවිනි. එබැවින් නිලධාරීන් සිය අවධානය යොමු කරනු ලබන්නේ ආරියරත්න කෙරෙහිය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්නේ හොර පාරෙන් මෙරටට රැගෙන ආ වාහනයක් ද සමඟිනි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය ඇතිව බැවින් ඒ අයට ඕනෑවට වඩා මෙහි සේවයේ නිරත නිලධාරීන්ට බලපෑම් කරන්නට ඉඩක් නොවීය. එතෙක් කලක් නිදහසේ සිය ජාවාරම කරගෙන ගිය ආරියරත්නගේ දෑතට මාංචු වැටෙන්නේ ද එබැවිනි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් දීර්ඝ ලෙස ආරියරත්නගෙන් මෙම ජාවාරම ගැන ප්‍රශ්න කළේය. ඒ එතෙක් විමර්ශනවලින් රැස් කරගෙන තිබුණු තොරතුරු ද උපයෝගී කරගෙනය. එබැවින් ආරියරත්නට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ගේ කනින් රිංගීමට ඉඩක් නොවීය. ඒ නිසාම බොහෝ දේවල් ආරියරත්නගේ කටින්ම එළියට ගැනීමට හැකියාවක් ලැබුණේය.
ඊට අනුව මෙම වාහන ජාවාරම සිදුවන්නේ ක්‍රම කිහිපයකට අනුවය. නීති විරෝධී ලෙස මෙරටට හොර රහසේ කන්ටේනර් අස්සේ සඟවා ගෙන ගෙන එන සුඛෝපභෝගී වාහන ව්‍යාජ ලේඛන සකස් කර ලියාපදිංචි අංක ලබාදී නීත්‍යනුකූල වාහනයක් බවට පත්කිරීම ඉන් එක් ක්‍රමයකි. එසේම සොරා ගන්නා ලද වාහන සහ කල්බදු සමාගම්වලට වාරික ගෙවා ගැනීමට නොහැකි වාහන වෙනත් අංකවලට මාරු කිරීම දෙවැනි හා තෙවැනි ක්‍රමවේදයයි. මේ හැම දෙයක්ම සිදුවන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ ආශීර්වාදය ඇතිවය. මේ කුමන ක්‍රමයක වාහනයකට වූවත් ලබා දෙන්නේ අලුත් ලියාපදිංචි අංක නොව, පැරණි වාහන අංකය. එවැනි වාහන අංක ඇති තරම් මෙම ජාවාරම්කරු සතුව ඇත. ඒ හැම වාහනයක්ම පාහේ අබිලි ද්‍රව්‍ය ලෙස රක්ෂණ සමාගම් මගින් හෝ රජයේ ආයතනවලින් හෝ පුද්ගලික ආයතනවලින් ඉවත දැමූ ඒවාය. හොරට ගෙන්වන වාහනවලට ලියාපදිංචි අංක දෙන්නේ එම අබිලි වාහන වලිනි. ට්‍රැක්ටරයක අංකය පවා මොන්ටෙරෝ වාහනවලට මෙහිදී ලබා දෙන්නේ මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් වාහනයේ අංකයට ඇති වාහන වර්ගයෙන් ට්‍රැක්ටරය ඉවත් කර ඒ වෙනුවට මොන්ටෙරෝ යැයි සටහන් තබමිනි. එසේම ලියාපදිංචි අයිතිකරුගේ විස්තර ද වෙනස් වන්නේ දත්ත පද්ධතියෙන්මය. මෙම දත්ත පද්ධතියේ සටහන් වන්නේ ද හොරට ලියාපදිංචි කරන වාහනයේ චැසි හා එන්ජින් අංකය. ආරියරත්න සතුව තිබී සොයා ගන්නේ ද එවැනි වාහන 430ක ලැයිස්තුවකි. මෙම ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් ආරියරත්න විසින් මෙසේ හොර පාරෙන් ලියාපදිංචි කර ඇති බව ඔහුගේ කතාබහෙන්ම නිලධාරීන්ට පෙනී ගියේය. රජයට විශාල බදු ආදායමක් අහිමි කරමින් සිදුකරන මෙම වංචාවට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සිටින දූෂිතයන්ව ද කොටුකර ඔවුන්ව නීතිය හමුවට ගෙන ආ යුතු බව තීරණය කළ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒ සඳහා හොඳම මඟ ලෙස තීරණය කරනු ලබන්නේ අංක සහිතව අනාවරණය වූ හොරට ලියාපදිංචි කළ වාහන 430 සම්බන්ධයෙන්ම පුළුල් විමර්ශනයක් පැවැත්වීමටය. ඒ සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබාගන්නා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විමර්ශන නිලධාරීන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇති එම වාහන අංකවලට අදාළ සෑම විස්තරයක්ම ලබා ගැනීමට පියවර ගත්තේය.
එම වාහනවල වර්තමාන හිමිකරුවන්ගේ ලිපින බොහෝ ඒවා ව්‍යාජය. එබැවින් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට පෙනී ගියේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්තයන් පමණක් පදනම් කරගෙන විමර්ශන පැවැත්වීම නිෂ්ඵල බවය. එබැවින් විමර්ශන නිලධාරීන් තීරණය කරනු ලබන්නේ රක්ෂණ සමාගම් මඟින් සැකයට තුඩුදෙන වාහන 430ට අදාළ ලියාපදිංචි අංකවල හිමිකරුවන් හඳුනා ගන්නටය. රක්ෂණය කිරීමේදී වාහනයේ හිමිකරුවන්ගේ දත්ත ඊට ඇතුළත් කරන බැවින් ඒ ඔස්සේ වාහනයේ වර්තමාන හිමිකරුවන් හඳුනා ගැනීම විමර්ශන නිලධාරීන්ගේ අරමුණ විය. මෙරට වාහන රක්ෂණයේ නියැළෙන රක්ෂණ සමාගම් 14කට මේ සම්බන්ධ තොරතුරු ලබාගැනීමට මහර අධිකරණයෙන් නියෝගයක් පවා මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් එදා පියවර ගත්තේය.
වාහන 430ක ලැයිස්තුවේ ඇති එක් වාහනයක් ඒ වන විට භාවිත කරනු ලබන හිමිකරු හඳුනා ගැනීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සමත් වන්නේ ඒ අනුවය. ඔහු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා ගැන තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඔහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සේවයේ නිරත ලිපිකරුවකු බවය. ආරියරත්න හා මෙම ලිපිකරු අතර කිට්ටු සම්බන්ධයක් ඇති බව ඒ වන විටත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විමර්ශන නිලධාරීන් දැන සිටියේය.
මෙම ලිපිකරුගේ ඉතිහාසය පිරිස්සීමේදී ඔහු කළු චරිතයක් නොවීය. යුද හමුදාවේ අබිලි වාහන මිලදී ගෙන කොටස් එකලස් කළ සුඛෝපභෝගී වාහනවලට එම අබිලි වාහනවල අංක ඇතුළත් කර ලියාපදිංචි කිරීමේ මහා පරිමාණ වංචාවක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේදී කළ පරීක්ෂණයකදී පවා විමර්ශන නිලධාරීන්ට මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව පැත්තෙන් ලොකු සහායක් දුන්නේ මෙම ලිපිකරුය. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ සිදුවන වංචා දූෂණ ගැන රටට හෙළි කරන්නැයි කියමින් ඔහු මෙම ලියුම්කරුට පවා බොහෝ තොරතුරු ලබාදී තිබුණේය. අවසානයේදී ඔහුව හසුවන්නේ ද මෙවැනි ජාවාරමක් සම්බන්ධයෙන් වීම විශේෂිතය.
මෙසේ හොර පාරෙන් රට තුළට රැගෙන විත් හොරට ලියාපදිංචි කළ වාහන පරිහරණය කරන අය අතර පොලිසියේ උදවියද නැත්තේම නැත. පොලිස් ස්ථානාධිපතිවරු කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ද තොරතුරු විමර්ශනයේදී එළියට ආවේය.
එහෙත් එතරම් දෙයක් කිරීමට තරම් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට ඉඩක් නොවීය. යම් ඉහළ බලපෑමක් හේතුවෙන් මෙම විමර්ශනය එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සිදුවන්නේ මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් ගලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නටය. ඒ මෙවැනි විමර්ශන සඳහා වඩාත් පහසුකම් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බැවින් මෙම ජාලයට සම්බන්ධ සෙසු සැකකරුවන් ද නීතියේ රැහැනට හසුකර ගනිමින් ලැයිස්තුවේ ඇති වාහන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ඇතැයි පවසමිනි.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් ගිලිහී ගිය එම විමර්ශන ගොනුව අපරාධ පරීක්ෂණ දෙර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව සිදුවන්නේ හමස් පෙට්ටියට වැටීමය. එය හුදෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි විමර්ශනයට ලක් නොවූ ලිපි ගොනුවක් බවට පත්වන්නේ එවකට සිටි පොලිස්පතිවරයාටත් වඩා බලවත් අදෘෂ්‍යමාන හස්තයක හයියෙනි. පොලීසියටත් අමතකව ගිය එම ගොනුව ගැන මතක් කර දෙන්නේ “සිළුමිණ“ ය. ඒ සුජීව සේනසිංහ සතුව තිබී සොයාගත් ආන්දෝලනයට තුඩු දුන් වී8 වාහනය සම්බන්ධයෙන් 2024 වර්ෂයේ නොවැම්බර් 17 වැනිදා සිළුමිණ 03 වැනි පිටුවේ “සුජීවගේ රිය සෙට්ටිකුලමේදී මාරක අනතුරට ලක්වූ රථයමද“ ශීර්ෂයෙන් පළ කළ ලිපිය ඔස්සේය. මෙම ලියුම්කරු විසින් එදා ඒ තැබූ සටහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන තුරුම එම ගොනුව තිබෙන්නේ මුල්ලකට දමාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් ප්‍රධානීන් ඊට වගකිවයුතු නැත.
සිළුමිණ කළ ඒ හෙළි කිරීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක්වූ එතෙක් අතක්වත් තබා නොතිබුණු එම ගොනුව දුහුවිලි ගසා දමා විමර්ශන කටයුතු සඳහා භාරදෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකයටය. එහි ප්‍රධානියා ලෙස දැන් සේවයේ නිරතව සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පලිස්කාර ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිලගේ උපදෙසින් ඔහු වැඩ පටන් ගන්නේ සහකාර පොලිස් අධිකාරී රුවන්කාන්තගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසේකර යන නිලධාරීන්ගේ අධික්ෂණයෙන් ක්‍රියාත්මක ජාලගත වංචා විමර්ශන අංශයටය. එහි සේවයේ නිරත උප පොලිස් පරීක්ෂක තිවංක දසනායක, පොලිස් කොස්තාපල්වරුන් වන ජයරත්න (97501), රුක්ෂාන් (104902), ආකාෂ් ඒකනායක (104842) සහ පොලිස් කොස්තාපල් රියදුරු රවිඳු (97650) ඇතුළු නිලධාරින් එතැන් සිට දීර්ඝ විමර්ශනයක් සිදුකරමින් හඳුනාගනු ලබන්නේ හොර පාරෙන් මෙරටට රැගෙන එන වාහනවල චැසියට අබිලි වාහනවල චැසි අංකය සහිත කොටස පෑස්සුම් කරන ස්ථානයයි. ඒ තැන පිහිටියේ මාතලේ ය. දින කිහිපයක් තිස්සේ ජාලගත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මාතලේ සැරිසරමින් සොයා ගන්නේ ඒ තැන ඇත්තේ පලාපත්තල බවය. විවිධ ප්‍රදේශවලින් ගෙන්වා ගන්නා දක්ෂ වෑද්දුම්කරුවන් යොදා ගනිමින් ඔහු අබිලි වාහනවල චැසි අංක සහිත හොර පාරෙන් රැගෙන ආ වාහනවල චැසි අංකය සහිත කොටසට පාස්සන බව ද ජාලගත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සොයා ගත්තේය. ඒ වන විටත් වාහන කිහිපයක්ම පලාපත්තල පිහිටි මේ ජාවාරමේ මහමොළකරුට අයත් ඉඩමේ ගාල්කර තිබුණේය. ඒ තැන නිලධාරීන් විසින් වටලන්නේ පසුගිය 31 වැනිදාය. ඒ එම ස්ථානය පවත්වාගෙන ගිය මහමොළකරුව ද නීතියේ රැහැනට හසුකර ගනිමිනි. ඒ වන විටත් එහි කොටස් එකලස් කරන ලද සුඛෝපභෝගී ජිප් රථ ඇතුළු වාහන 08ක්ම ගාල්කර තිබුණේය. එම වාහන 08ම සිය භාරයටගත් ජාලගත අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් තවත් වාහනයක් සොයා ගන්නේ පිළියන්දලිනි. එම වාහනය ඒ වන විට තිබෙන්නේ ව්‍යාපාරිකයෙක් සතුවය.
මෙම වැටලීමේදී වාහන චැසි අංකය සහිත කොටස් රැසක්ම පලාපත්තල දී ජාල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හමු විය. එම චැසි අංක සහිත කොටස් බොහෝමයක්ම රක්ෂණ සමාගම් විසින් රිය අනතුරු සම්බන්ධයෙන් ගර්භිත වාහන ලෙස භාවිතයෙන් ඉවත් කළ වාහනවලට අදාළ ඒවාය. එම චැසි අංක කොටස් රක්ෂණ සමාගම් විසින් ලබා දෙන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයටය. එකලස් කළ වාහනවල චැසියට පාස්සා ඇත්තේ එම ගර්භිත වාහනවල චැසි අංක සහිත කොටසය. අවසානයේදී එකලස් කරන ලද නීති විරෝධි වාහන මහ මඟ ධාවනය වන්නේත් අතින් අත එම වාහන අලෙවි වන්නේත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන්නේත් එකී ගර්භිත වාහනවල ලියාපදිංචි අංකයෙනි. පලාපතවලින් අත්අඩංගුවටගත් පුද්ගලයා මෙම ජාවාරමට සම්බන්ධ වන්නේ ඔහුට ලැබෙන ගර්භිත වාහනවල චැසි අංක සහිත කොටස එකලස්කර ඇති නීති විරෝධි වාහනයේ චැසිසට පෑස්සීමට පමණි. එය සිදුවන්නේ පෑස්සුමක් සිදු නොවූ ආකාරයට බැලූ බැල්මට නොපෙනෙන ලෙස සීරුවටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරොධි වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත විමර්ශන ඒකකයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ ගර්බිත වාහනවල චැසි අංක මෙම ජාවාරමට ලබාදීම පිටුපස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දූෂිතයකුගේ ලොකු සම්බන්ධයක් ඇති බවය. විමර්ශන නිලධාරීන් දැන් පන්නමින් සිටින්නේ එම දූෂිතයා පස්සේය. ඒ අතර පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායද අළුගසා නැඟිට සිටින්නේ 430 ලැයිස්තුවේ සොයා දැවැන්ත මෙහෙයුමක් ද දියත් කරමිනි.
ගයාන් කුමාර වීරසිංහ