වසර 4කට අධික කාලයක් ආර්ථික අර්බුදය හමුවේ තහනමට ලක් කර තිබූ වාහන ආනයනය කෙරෙහි වත්මන් රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව සැලසුම් කර ඇති පරිදි කාණ්ඩ වශයෙන් වාහන ආනයන වෙළෙඳපොළ නැවත විවෘත කිරීම සිදු වේ.
මෙහි පළමු අදියර ලෙස මගී ප්‍රවාහන බස්, විශේෂ කාර්යයන් සඳහා භාවිත කරනු ලබන මෝටර් රථ වාහන රට තුළට ආනයනය කිරීම විවෘත කොට ඇත. පොදු ප්‍රවාහන බස් රථ ආනයනය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හොඳ තීරණයකි. මෙමඟින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහනය භාවිත කිරීමට නැඹුරුතාවක් දැක්වීමේ තත්ත්වයක් නිර්මාණය කළ හැකිය.
ආර්ථික අර්බුදය තරමක් දුරට පමණක් විසඳී ඇති අවස්ථාවක වාහන ආනයනය මඟින් බදු අදායම උපයාගැනීම, රට තුළ මුදල් සංසරණය ඉහළ නැංවීම හා ආනයනකරුවන්, දේශීය වාහන ව්‍යාපාරිකයන් නඟාසිටුවීම, ඔවුන්ගේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම, පොදු ප්‍රවාහනය නඟාසිටුවීම අරමුණ බව පැහැදිලිය.
එහෙත් මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණු රාශියකි. වාහන ආනයනය තහනම් කිරීමට ආසන්නතම කාලයේදී වසරකට වාහන ලක්ෂ තුනහමාරක් පමණ ආනයනය කොට ඇත. මෙයට පෙර මෙවැනි තහනමක් ක්‍රියාත්මකව තිබී ලිහිල් කළ අවස්ථාවලදී එකල සාමාන්‍යයෙන් ආනයනය කළ වාහන ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ ආනයනය කොට ඇත. ඒ අනුව හා දැනට පවතින අඩු බැංකු පොලී අනුපාතිකය අනුව වසරකදී වාහන ලක්ෂ පහක්වත් ආනයනය කරනු ඇතැයි අනුමාන කළ හැකිය.
මෙහිදී පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා නිවැරදිව හඳුනා නොගත් විශාල පිරිසක් සිටින අප රටේ ගෙවීමේ පදනම මත ලබාගන්නා වාහන හේතුවෙන් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පහළට යෑමේ ගැටලුවක්ද ඇති වේ. එසේම වාහන ආනයනය මඟින් අනුමාන කළ ප්‍රමාණයට වඩා විනිමයක් ගලා යෑමද බලාපොරොත්තු විය හැකිය. තවද වාහන ආනයනය සමඟම ඒවා ධාවනයට අවශ්‍ය ඉන්ධන, තෙල් වර්ග, අමතර කොටස් හා මාර්ග නඩත්තුව සඳහා දීර්ඝ කාලීනව විශාල විනිමයක් වැය වීම සිදු වේ.
මෙයට අමතරව ලංකාවේ ඇති ලියාපදිංචි වාහන අසූහතර ලක්ෂයට වුවද ධාවනයට ඇත්තේ කිලෝමීටර එක්ලක්ෂ විසිතුන් දහසක දුර ප්‍රමාණයක් පමණය. මේ වාහනවලින් විශාල ප්‍රමාණයක් ප්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන ධාවනය වේ.
මේ හේතුවෙන් විශාල වාහන තදබදයක් පවතී. එය කොතෙක්ද යත්: උදෑසන කාලයේදී කොළඹ නගර සීමාව තුළ වාහනයක සාමාන්‍ය ධාවන වේගය පැයට කිලෝ මීටර 12 දක්වා අඩු වී ඇත.
වාහන ප්‍රමාණය තවදුරටත් වැඩි වීම සමඟ තදබදය වැඩි වීමත්, සාමාන්‍ය ධාවන වේගය තවදුරටත්, අඩු වීමත් දිනකදී සිදු වන අනතුරු ප්‍රමාණය වැඩි වීමත් සිදු වේ. තවද, දැනට ලියාපදිංචි ත්‍රිරෝද රථ දාහතර ලක්ෂයට අමතරව විශාල ලෙස ආනයනය කළ හොත් අපගේ ශ්‍රම බළකායෙන් තවත් කොටසක් නිෂ්පාදන ක්‍රියාවලියට දායක නොවූ කර්මාන්තයක් වෙත යොමු වීම සිදු වේ. මේ හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා පසුගිය කාලයටත් වඩා වැඩි ඉන්දීය, චීන වැනි විදේශ ශ්‍රමිකයන් නීත්‍යනුකුල හෝ වෙනත් මාර්ගවලින් යොදාගැනීමට ව්‍යාපාරිකයන්ට සිදු වේ. මේ අනුව පොදු ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වාහන හැර අනෙක් ඒවා ආනයනය දීර්ඝ කාලීනව ඉතා අහිතකර ලෙස බලපාන බව පෙනී යයි.
සියලු වර්ගවල වාහන ආනයනය අත්‍යවශ්‍ය ලෙස පෙනී යයි නම් ආනයන ප්‍රමාණය සීමා කිරීමට ක්‍රියා මාර්ග ගත යුතුය. එයට ගැළපෙන ක්‍රියා මාර්ග
සමහරක් නම් සියලු වාහන ආනයනය සඳහා විශාල බදු අනුපාතයක් හඳුන්වා දීම. දැනට අවශ්‍ය ප්‍රමාණයට වඩා රට තුළ ඇති ත්‍රිරෝද රථ සඳහා විශේෂ වැඩි බදු අනුපාතයක් හඳුන්වා දීම. වාහනයේ ධාරිතාව මත පමණක් පදනම්ව නොව වටිනාකම මත වැඩි වන බදු අනුපාතයක් හඳුන්වා දීම.
මෙමඟින් එකම ධාරිතාවේ උසස් යැයි සම්මත වර්ගවල ඒවාට වැඩි බද්දක් අය වීම සිදුවේ. ගෙවීමේ පදනම මත වාහන ගැනීමේදී මූලික ගෙවීම වාහනයේ වටිනාකමින් තුනෙන් එකක් හෝ බාගයක් ගෙවිය යුතු බවට නීති සැකසීම ආදිය වේ.
මීට අමතරව රට තුළ එකලස් කරන වාහන සඳහා ගෙන්වන කොටස් සඳහාද බදු සහන ඉවත් කිරීමෙන් රටට ලැබෙන අදායම ඉහළ දැමිය හැකිය.
වසර 21කට පෙර ආරම්භ වූ විනිවිදභාවයෙන් අඩු මේ එකලස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සැලකිය යුතු තාක්ෂණික දියුණුවක් අප රට අත් කරගෙන නැත. අප රටට ගැළපෙන වාහන ආනයන ක්‍රමවේදයක් සකස් කිරීමේදී ඉහත කරුණු ප්‍රයෝජනවත් වනු ඇත.
වරලත් ඉංජිනේරු ජේ.එස්.එස්. වීරසිංහ