‘ඩෙනිස්’ කියන්නේ තුර්කි භාෂාවෙන් මුහුදට. ‘කරාඩෙනිස්’ කියන්නේ කළු මුහුද. ළඟ පාතක මුහුදක් නැතත් ‘ඩෙනිස්ලි’ කියන්නේ තුර්කියේ ඒජියන් පළාතට අයත් සුන්දර නගරයක්. සති අන්ත දීර්ඝ නිවාඩුවක් තිබ්බ නිසා මාත් බිරියත් පසුගිය මාසයේ දවසක උදේ පාන්දරින් පිටත් වී ඉස්තාන්බුල් සිට ඩෙනිස්ලි බලා ගියේ දින දෙක තුනක නිවාඩුවක් ගෙවන්න. මේ නගරය අවට බලන්න බොහෝ දේ තිබෙනවා. අපට බලන්න ඕනෑ වුණේ පමුක්කලේ හුනුගල් පාත්තිවලින් සකස් වුණු දිය තටාක පෙළ හා අවට කලාපයයි.
ඔන්න අපි කාතානේ මෙට්‍රෝ දුම්රියපොළෙන් M11 කෝච්චියට නැඟලා අලුත් ගුවන්තොටුපොළට ගියා. එතැනින් ‘ඩොමෙස්ටික්’ යානයක් අරන් ඩෙනිස්ලි ගුවන්තොටුපොළට ගියා. පැයක ගමනක්. ජනාකීර්ණ නගරයක ඉඳන් ගම්බද නිස්කලංක පළාතකට යනවා වගේ. යානය ඒ තරම් ඉහළින් පියාසර කළේ නැති නිසා ගොඩාක් වගා බිම් වනාන්තර හා දුරින් දුරින් පිහිටි කුඩා නගර පේනවා. අප ළඟා වූ ඩෙනිස්ලි ගුවන්තොටුපොළ කුඩා සරල එකක්. යානයෙන් බැහැලා පයින් ඇවිදගෙන එන්න තියෙන්නේ. ගුවන්තොටුපොළේ පිටුපස මායිම විශාල වෙල්යායක්.
මෙතැන ඉඳන් අපේ තානායමට කිලෝමීටර් තිහක් විතර යන්න තියෙනවා. තානායම කිවුවේ අපි එන්න කලින් කාමර වෙන් කරපු කොට්න් හවුස් හෝටලය. පමුක්කලේ හුනුගල් කන්ද පාමුල පිහිටි මේ නවාතැන අපට නිර්දේශ කළේ කලින් අවුරුද්දේ මෙහෙ ගත කරපු බ්‍රිතාන්‍ය ජාතික මිතුරු යුවළක්. කොට්න් හවුස් අධිපති ටුරාන් අපට තානායමේ ඉඳන් ගුවන්තොටුපොළට එන්න ‘ඔප්ෂන්’ තුනක් දුන්නා. එකක් එයා ‘ඇරෙන්ජ්’ කරන ටැක්සියේ එන එක. ඩොලර් පනහයි. නැත් නම් පමුක්කලේ ගමට යන ‘ෂටල්’ බස් සේවය. ගාස්තුව එක්කෙනෙකුට ඩොලර් දහයයි. ෂටල් සේවයට තිබ්බේ හයිරූෆ් වෑන් වර්ගයක්. හොඳට ඉඩකඩ තියෙන වායුසමනය කරන ලද මේ වර්ගයේ කුඩා බස් රථ ඉස්තාන්බුල් නුවරත් අතුරු මාර්ගවලත් යන-එනවා. ඔය දෙකම නෙවෙයි, අපට වඩා හොඳ තෝරාගැනීමක් තිබ්බා. සුවපහසු සංචාරක බස් රියක් ඒ වෙලාවේ පමුක්කලේ යන්න පිටත් වුණා. කලබලයක් හදිස්සියක් නැති සුහදශීලි රියැදුරෙක් හා මගී පිරිසක්. රමණීය මඟක තැනිතලා, පුංචි කඳුගැට මැදින් අපි ටික වෙලාවකින් පුංචි ගම්මානයකට ළඟා වුණා. බස් එක කුඩා ගේට්ටුවක් අයිනේ නතර කළා. “ඔයාලා බහින්න” රියැදුරා කිවුවා. “හොටෙල් එක දුරද?” මම ඇහුවා. “ඔය තියෙන්නේ.” ඔළුව දාලා බැලුවම කුඩා ලස්සන බෝඩ් එකක් තියෙනවා. මට දැනුණෙම ගමේ බස් එකේ නැඟල ගමේ ගෙදරට ආවා කියලා. විශාල ගෙවත්තක් කෙළවරේ තිබ්බ ළා කොළපාට තෙමහල් ගෙදරක්. හාත්පස බැලුවාම පෙනෙන්නේ සාමාන්‍ය ලස්සන ගෙයක් කියලා.
අපි පාන්දරින් පිටත් වුණු නිසා එතෙන්ට ළඟා වෙන කොටත් උදෑසන අටට විතර ඇති. අපට හෝටලේට ‘චෙකින්’ වෙන්න තියෙන්නේ දවල් එකෙන් පස්සේ. ඒ නිසා සැලසුම් කළේ බෑග් දෙක හෝටලෙන් තියලා ටවුමේ පොඩ්ඩක් ඇවිදලා පමුක්කලේ කඩමණ්ඩියෙන් කෑම කන්න. ඒත් අපව ආදරෙන් පිළිගත්ත කුඩා තානායම හිමි යුවළ මෙහෙම කිවුවා:
“කොහෙවත් යන්න ඕනැ නෑ. නිල වශයෙන් චෙකින් වෙන වෙලාව හවස වුණාට අපි දැන්ම කාමරයක් ලෑස්ති කරන්නම්. දැන් එන්න අපිත් එක්ක උදේට කමු” කියලා අපව ගෙඋයනේ තිබ්බ කෑම මේසෙක වාඩි කෙරෙවුවා; ඉන්පසු පරිපුර්ණ තුර්කි උදේ කෑම වේලක් ගෙනල්ලා අපට සංග්‍රහ කළා.
“මේ අපි ගානේ නොමිලේ අමුත්තන්ට කරන සංග්‍රහයක්.”
“මේ අපේ නෝනා හදපු ඇප්‍රිකට් ජෑම් එකක්. මේ සුදු චීස් අපි ගෙදරමයි හදන්නේ.”
ඔන්න ඔහොම දෙන්න-දෙමහල්ලෝ සංග්‍රහ කරන ගමන් වරින් වර ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. නොබෝ වේලාවකින්ම අපට දැනුණා ඉතාම හිතවත් නෑදෑ ගෙදරකට ආවා වගේ හැඟීමක්. තේ බොන අතරේ අපට මුණගැසුණා ප්‍රංශ ජාතික සරසවි ආචාර්යවරුන් යුවළක් හා තුර්කියේම වෙනත් ප්‍රදේශයක වෙසෙන අඹුසැමි යුවළක් සමඟ දරුවන් දෙදෙනා. මේ සියල්ලෝ මීට පෙර මෙහෙ ඇවිල්ලා තියෙනවා. තුර්කි ජාතිකයා අපට කිවුවා ඔහු අවුරුද්දකට වතාවක් කෙසේ හෝ ‘කොට්න් හවුස්’ නවාතැනට ඇවිත් යනවා කියලා. අවුරුදු ගාණකට කලින් පමුක්කලේ හුනුගල් කන්ද හා දිය පොකුණු බලන්න අවාම අහම්බෙන් මේ නවාතැන හමු වූ බවත්, ඉන්පසු අවුරුදු පතා නෑදෑ ගෙදරක එනවා මෙන් මේ නිවෙසට ඇවිත් දවසක් දෙකක් ගත කර යන බවත් පැවසුවා. මේ අවට මොන තරම් දේවල් නරඹන්න තිබ්බත් ඔවුන් ඇවිල්ලා තියෙන්නේ ඒවා බලන්න නෙවෙයි, තානායම හිමි මිත්‍ර පවුල සමඟ විවේකයන් දවසක් ගත කරන්න.
උදේ කෑමෙන් පස්සේ අපි අපට ලැබුණු කාමරයට ඇතුළු වුණා. කුඩා නිවෙසක අමුත්තන්ට වෙන් කරපු කාමර හයෙන් එකක්. ඒත් ඒ කාමරය තරු පහේ හෝටල් කාමරයක තියෙන්න ඕනෑ සියලු පහසුකම් හා නැවුම් බඩුබාහිරාදියෙන් සමන්විත වුණා. අපි පිටිපස විශාල ජනේලය ඇරියා. ඒ දුටු දර්ශනයෙන් අපි දෙදෙනා ගල් ගැසී ගියා. අපේ දර්ශන පථය මුවා කරගෙන සුදුපාට හිම කන්දක් උස්ව නැඟී සිටියා. ඊට ඉහළ අහසේ නෙක වර්ණයන්ගේ විශාල සංචාරක බැලුන දුසිම් ගණනක් පියාසර කරමින් තිබුණා.
මේ අප ඉන්නේ සමහරුන් ‘ලොව අටවැනි පුදුමය’ ලෙස හඳුන්වන පමුක්කලේ සුදු කන්ද හා සංචාරක ගම්මානයේ. මේ ගම්මානයට ඉහළින් දෙවැනි සියවසේ ඉදි වූ විශාල ග්‍රීක නගරයක නටබුන් තිබෙනවා; මහා ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා; ක්ලියෝපැට්‍රා දිය නෑ තටාකය ලෙස ප්‍රසිද්ධ නාන තටාකයක් තිබෙනවා; කෞතුකාගාරයක් තිබෙනවා.
තවත් නම් බලා ඉන්න බෑ. මම වහාම එළියට ගොස් තානායම් හිමියා හමු වුණා.
“අපිට දැන්මම යන්න ඕනැ අර සුදු කන්ද බලන්න.”
මා එසේ කී විට ඔහු කොක්හඬලා හිනා වුණා.
“ඔහෙලා ඇවිත් තියෙන්නේ හරිම කාලෙක. මේ ගිම්හානයේ ඔය කන්ද මුදුනේ සෙන්ටිග්‍රේඩ් අංශක හතළිහක් විතර උෂ්ණයි. ඔතන බලන්න යනව නම් හවස පහවත් වෙනකම් ඉන්න. මම ඔයාලට හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. හවස මෙතනින් ගිහිල්ලා නටබුන් නගරය බලාගෙන එන්න පුළුවන්. ක්ලියෝපැට්‍රා පොකුණට, ඊට පස්සේ එතන තියෙන මියුසියම් එකයි පරණ තියටර් එකයි බලලා, සුදු කන්දේ නාන තටාක බලන්න යන්න. ඉන් පස්සේ විවේකයෙන් ඉඳල කරලා කලින් නිදාගන්න. හෙට පාන්දර පහට නැඟිටින්න වෙනව නේ…”
“ඒ මොකටද පාන්දර පහට නැඟිටින්නේ?”
“මම ඔයාලට ලෑස්ති කරලා තියෙන බැලුන් සවාරිය යන්න මෙතනින් පහට පිටත් වෙන්න ඕනෑ. දැන් ගිහින් ටිකක් විවේක ගන්න.” ඔහු මට මිතුරු උපදෙසක් දුන්නා.
(ඒ ගමනේ විස්තර මීළඟ සටහනෙන්…)