ගෞතම බුදුහිමියන් තෙවරක් වැඩියා යැයි පැවසෙන්නා වූ පින් බිම අත්හැර, ලොවින් තනි වූ ඇන්ටාටිකාව සහ ඔස්ට්‍රේලියාව යන මහාද්වීප දෙකෙන් මනුස්ස වාසයට සුදුසු එකම තනි මහාද්වීපික රට වූ ඔස්ට්‍රේලියාව කරා පියෑඹීම මේ හෝමෝ සේපියන්ස් ජීවිතයේ ගත් දැඩි තීරණයකි.
මානව ඉතිහාසයේ හෝමෝ සේපියන්ස් ජීවන සංචාර ගැන කතා කිරීමේදී, භෞතික ලෙස රටතොට ඇවිදීමේ සිට අභ්‍යවකාශයේ ග්‍රහලෝකාන්තර සැරිසැරීම දක්වා එය විහිදේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. බඩගාගෙන, දණගාගෙන සංචාරයට හුරු වන බිලිඳු සේපියන්ස් ජීවිත දෙපයින් නැඟී සිට පෘථිවි ග්‍රහලෝකය මත ඇවිදින්න පටන් ගැනීම ගැන මහා ඉතිහාසයක් තිබේ.
අද වන විට ගමනාගමනය සඳහා විවිධ වේගයෙන් පොළොව මතු පිටද, දිය මතු පිට සහ දිය යටින්ද, අහසින්ද, අභ්‍යවකාශය තුළින්ද ගමන් කරන යානවාහන සහ තාක්ෂණයක් ගොඩනඟා තිබේ.
අතීතයේ ලංකාවේ රාවණාට දඬුමොනරය නමැති ගුවන්ගත විය හැකි යානාවක් තිබූ බවටද, ඉන්දීය හින්දු ආගමික විශ්වාසවලින් ශිව ලිංගයෙන් එළියට ආ ශිව වූ කලි, රොකට්ටුවකින් එළියට ආ පිටසක්වළ ජීවියකුය යන අදහසක්ද වත්මන සේපියන්ස් ඥාන මතවාද අතර සාකච්ඡා වනු පෙනේ. ඒවා පෙර කී ජනප්‍රවාදවල වූ ෆැන්ටසිමය අදහසට ඔබ්බෙන් වූ යථාර්ථයන් කරා වූ ‘දත් දෙයින් නොදත් දෙයට යෑමේ’ විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව සිතීමෙන් ගොඩනඟන ලද වඩාත් යථාර්ථවාදි අපූරු අදහසකි.
කෙසේ වෙතත්, විස්මිත වූ පුදුමාකාර තාක්ෂණයක් වසර දහස් ගණනාවකට පෙර අපට තිබූ බවට ජනප්‍රවාද ඔස්සේ ගොඩනැඟුණු ෆැන්ටසියක් හෙවත් මනස්සෘෂ්ටික සංස්කෘතික විශ්වාස සමුච්චයක් පමණක් තිබේ. එහෙත්, ඒවායේ සත්‍යාසත්‍යතාව සහ වත්මන් ජනසමාජයට ඉන් ගත හැකි තාක්ෂණික කාරණා ලක්වැසි ජනසමාජයට ලබා ගැනීමේ හැකියාවක් ලැබී නැත.
එසේ වීමට හේතු තිබේ. එහිදී, එක්කෝ ඉස්සර පර සුද්දන් අපේ රට අල්ලන් අපේ වැදගත් දැනුම ලේඛන කොල්ලකා රැගෙන ගිය නිසා අපට ඒවා සොයාගත නොහැකියැයි ආදි හේතු කියමින්, අතීත ශ්‍රී විභූතිය වනමින්, ‘අපි ලොව හැමෝටම වඩා උසස්ය’ කියන අදහසේ වැතිර සිටිමු. ඒවා ගැන වීරකම් කියමින් කඩපිලේ, සල්පිලේ, පින්කම් පොළේ කටපත්ත ඇදීමෙන් ලබන සංතුෂ්ටියෙන් එහාට ගත හැකි යමක් හමු වන්නේ නැත.
එය වූ කලි, කන්ඩ බොන්ඩ පවා ආදායමක්ද, රැකියාවක් කරගන්ඩ උගත්කමක්ද නැතිව ලෙල්ලට වැටුණු වැඩවසම් උසස් කුල පරම්පරාවක යැයි කියා ගන්නා අයකු හට ඇති ඉච්ඡාභංග ප්‍රකාශනයක් හා සමාන තත්ත්වයකි; නැත හොත්, වංසෙ කබල් ගෑමකි. ඊට අමතරව, සිත දියුණු කර ඍද්ධි බලයෙන් සක්වළ පුරා සැරි සැරූ සුපර් හීරෝ හෙවත් සුපිරි වීර සංකල්ප ලොව විවිධ සංස්කෘතික ප්‍රවාද තුළ මෙන්ම අප ප්‍රවාද සංස්කෘති තුළද තිබේ.
‘ඍද්ධියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ’ යනුවෙන් අනුරාධපුර සමයෙහි ඍද්ධියෙන් ගුවනින් වඩින්නා වූ රහතුන් වහන්සේ නිසා ඇති වූ ගුවන් තදබදය හේතුවෙන් පොළොවට වැටෙන සූර්යාලෝකයද මුවාවීම නිසා, තම්බාගත් වී මාගල් අවුවේ වේළාගැනීමටද ප්‍රදේශයේ කාන්තාවන්ට නොහැකි වූ බවට සාහිත්‍යකරුවා විසින් අතිශයෝක්තියෙන් වනා තිබේ.
අතීතයේ ඍද්ධියෙන් ගමන්බිමන් යෑම මෙන්ම පරචිත්ත විජානන ඥානය හෙවත් අනුන්ගේ සිත් කියවන නුවණ වැනි සුපිරි වීර හැකියාවන්ද ලාංකිකයන්ට තිබූ බවට ජනප්‍රවාදයේ කොතෙකුත් සඳහන්වෙයි. එහෙත් අද වන විට, එවැනි සුපිරි හැකියාවන් වඩා වර්ධනය කරගත් පසුබිමක් හෝ තාක්ෂණය පදනම් කරගත් ප්‍රවේශයකින් මෝටර් ඇන්ජිමක් හෝ වාෂ්ප ඇන්ජිමක්වත් අපේ ඉතිහාසය තුළ නිපදවා තිබූ බවට පිළිගත හැකි විද්‍යානුකූල සාක්ෂ්‍ය තවමත් හමු වී නැත.
පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් මෙරටට එන විටද අශ්වයන් සහ අලි ඇතුන් පිට නැඟී ගමන් කිරීමද, මීහරකුන් පිටේ බඩු මලු බැඳ ගමන් බිමන් යන තවලම සහ ගවයන් යොදා ගෙන කෙරෙන බරකරත්ත යන ගමනාගමන කටයුතුද, ඔරු පාරු තෙප්පම් සහ රුවල් ඔරු හෝ කුඩා ප්‍රමාණ නාවික යාත්‍රාද තිබිණැයි ඉතිහාසය පවසයි. ගොන් කරත්ත හෙවත් බර කරත්ත තාක්ෂණය ඉන්දියාවෙන් මෙරටට ලැබුණකැයිද කියති. රජවරුන් සහ ප්‍රභූවරුන් දුර බැහැර ගමන් සඳහා පල්ලැක්කිය හෙවත් දෝලාවේ නැඟි, මිනිසුන්ගේ කරමතින් ගමන්ගත් බවත් පැවසේ.
ඉතිහාසය පුරා අප වර්ගයා ආ මංපෙත් ගැන එක් තලයකින් එලෙස කතා කරද්දී, මධ්‍යකාලීන යුගයෙන් පසු දේශ ගවේෂණයත්, යටත්විජිත ඇති කරමින් ආ යුරෝපයේ ආක්‍රමණිකයන් විසින් ලොව දසතම අල්ලා තමන්ට යටත් කරගැනීමත් අමතක කළ හැකි කාරණා නොවේ. එවකට මිහිතලය මත සිටි තාක්ෂණයෙන් සහ විද්‍යානුකූල දැනුමින් ඉහළම කණ්ඩායම ඔවුන් බවද නිසැකවම පිළිගැනීමට සිදු වේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත වකවානුවේදී ඔවුන් විසින් අල්ලා ගනු ලැබූ හිරු නොබසින අධිරාජ්‍යයේ රට රටවල මාර්ග පද්ධතිය තිබුණාට වඩා සුපිරියට නිර්මාණය කළේය. ගොඩබිමේ වූ මහාමාර්ග සහ දුම්රිය මාර්ගද ජලය හරහා යන නාවික මාර්ගද ගුවන් මාර්ගද ඊට අදාළ වරාය, ගුවන්තොටුපොළ, බස්නැවතුම්පොළ, දුම්රියපොළ ආදියද ගොඩනංවන ලදි. ඒවා ගොඩනැඟුවේ අපට ඇති ආදරයකට නොව, ඔවුන්ගේ ඕනෑ එපාකම් සඳහායැයි පැවසුවද, ඔවුන් ඒවා නොකරන්නට, කන්ද උඩරට සිට කොළොම්තොටට ගාටනු පිණිස තවමත් ලාංකේය සේපියන්ස්ලා කඩුගන්නාවේ ගල ළඟට වී බලා සිටිනවා විය හැකිය.
කෙසේ වෙතත් නිදහසින් පසු අපේ උදවියට, තිබුණ දුම්රිය මාර්ගද නඩත්තු කරගත නොහැකි වූ අතර, මහාමාර්ග පද්ධතියද නඩත්තු කරගත් අයුරු සුන්දර නැත. නිදහසින් පසු වසර 50කට පමණ පසු අධිවේගි මාර්ග ඉදි කිරීමට අපේ සේපියන්ස්ලා ආරම්භ කළද, දියුණු රටවලට සාපේක්ෂව, කිහිප ගුණයක පිරිවැයක් ඒ සඳහා වියදම් වී ඇතැයි කියවේ. එසේම ඒ වැය කළ මුදලින්, රට පුරා අධිවේගි මාර්ග ඉදි කිරීමට හැකියාව තිබූ බවත් පැවසේ. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය.
එසේම අපට මතක ඇති කාලයක සිට ගම්මානවල මාර්ග පද්ධති කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම ප්‍රාදේශීය සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කරල පැහෙන ව්‍යාපාරික කටයුත්තක් වී තිබූ බව හොඳින් මතකය. පාරේ ගමන් කළ හැකි වුණා හෝ නැතා, කිසිදු ප්‍රමිතියකින් තොරව ආගිය අතේ කොන්ක්‍රීට් කර හෝ තාර දමා ඒ පාර කරවූ ආණ්ඩුවේ ලොක්කාගේ සිට පහළට ඉන්නා දේශපාලකයන්ගේ නම්, තනතුරු සහ මූණත්තහඩු යෙදූ විශාල බෝඩ් තැන තැන දක්නට ලැබිණි. හදන පාලමක්, බෝක්කුවක් ගානේද ඒවාට වියදම් කළ මුදලට වඩා වැඩි මුදලක් යට කර දේශපාලකයන් තමන්ගේ පෞද්ගලික බූදලයෙන් ගොඩනැඟූ ආකාරයට සිය ගුණවරුණ කියා පෑවේය.
එහෙත්, ඒවා තනිකර ජනතාවගේ බදු මුදලින් රජයට එක්රැස් වූ ධනයෙන්, බලයට පත් පාලකයන් විසින් අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ජනතා සේවයක් වූ බව අමතක කර තිබිණි. පාරක් අලුතින් ඉදි කළද, පාරක් වසා හමුදා බැරියරයක් දමා කලක් වසා තබා යළි එය ජනතාවට විවෘත කිරීමේදී වුවද, ජනතා මුදල් වැය කර උත්සව තබා හදපු පාලකයන්ගේ ගුණවරුණ ජනතාවට මතක හිටවන්නට කටයුතු කෙරිණි. ජනතාවට ජනතා මුදලින් නිවාස ඉදි කර දුන්නද, වැසිකිළි පහසුකම් සලසා දුන්නද, උත්සවාකාරයෙන් ජනතාවට ඒවා ලබා දී ඊළඟ ඡන්දයේදී තමන්ගේ නම් මතක තබාගන්නට යැයි නොකියා කිවුවේය.
ඕස්ට්‍රේලියාව වැනි දියුණු ජනසමාජවලද එලෙස පාලම්, බෝක්කු, මහාමාර්ග ජනතා අයිතියට පත් කරද්දී සිදු වනු ඇතැයි, ලියුම්කාර සේපියන්ස් ගොයියාද සිතා සිටියේය. අහෝ ඛේදයකි! දිනක් සේපියන්ස් ගොයියා යන එන මාර්ගයක අධිවේගි මාර්ගයකට වූ, නව විශාල පිවිසුම් මාර්ග සංකීර්ණයක් ඉදි කරනු දැක, මෙය විවෘත කරන දාට විකල්ප මාර්ගයකින් යා යුතුයැයි කල්පනා කළේය. එසේ සිතුවේ, එතැන විවෘත කිරීම යනු වරුවක පමණ පාර හරස් කර සිදු කරන උත්සව, දේශපාලන කතා, නැටුම් ගැයුම් සංදර්ශන සහිත වැඩසටහනක් ඇතැයි සිතූ නිසාය. කරුමය කියන්නේ, හරියටම ඒ දවස ඔවුන් සැලසුම් කළ දිනට කලින් නිම වී තිබිණි. සේපියන්ස් ගොයියාද ඒ වෙලාවටම ඒ ආසන්නයෙන් ගමන් කරන්නට වූයේය.
තරමක මාර්ග තදබදයක් තිබුණද එය සාමාන්‍යය. නැට්ටුවන්, බෙරකරුවන්, පීත්ත පටි, මල්මාලා, මාධ්‍ය ආවරණ, විශාල වේදිකා කිසිවක් නැත. මාර්ග පිවිසුම නිම කළ සේවකයෝ, පාර වසා තිබූ මාර්ග බාධකද, කේතු ආකාර ප්ලාස්ටික් කෝන්ද වැඩබිම් වාහනවල පටවාගෙන යන්නට ගියෝය. පාරේ ගිය වාහන එක දෙක ඒ නව පිවිසුම හරහා යන්න විය. ඒක නම් හරි වැරදිය. අඩුම තරමේ, එය කරවු දේශපාලක මහතාගේ නම සඳහන් නාම ඵලකයක් හෝ සවි කිරීමට තිබිණි. එහෙත් එවැන්නක්ද නැත. ගූගල් කර සොයා බැලුවද එය කරවූ දේශපාලකයන්ගේ වත ගොතක් හෝ නැත. එම වසරට ඇස්තමේන්තු කරන ලද රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක කොටසක් ලෙස මහජන මුදලින් ඒවා ඉදි කර ඇති බවට මිස වෙන ආරලු බූරලු නැත.
සේපියන්ස් ගොයියාද ඊතල මෙන් වේගයෙන් ඇදෙන වාහන මංතීරු ඔස්සේ එකී පිවිසුමෙන් අධිවේගි මඟට පිවිස, බ්‍රිස්බේන් නගරයටද ගොස් ආවේ සතුටටය.
එහෙත් මේ ඊයෙ පෙරේදා නම් ලංකාවේ ද එවැනි පන්නයේ වැඩක් වී ඇති බව දුටුවෙමි. උතුරු නැඟෙනහිර යුද්ධය නිම වී වසර ගණනාවකට පසු පලාලි, අලිමංකඩ ඇතුළු මාර්ග වසා සිටි හමුදා මුර කපොලු ඉවත් කර එම ජනතාව වෙත ඒ මාර්ග විවර කර තිබිණ. පාර විවෘත කළ ද රටේ ජනාධිපතිවරයා හෝ පැමිණ, පාර විවෘත කිරීම ගැන හද සසල වන කතාවක් කර උත්සවාකාරයෙන් එය, විවෘත කරතැයි සිතූ ප්‍රදේශයේ ජනතාව ඒ ඔස්සේ ගමන් කිරීමට මැළිව බලා සිට ඇත. එහෙත්, එවැනි නිෂ්ඵල විවෘත කිරීම් මින් පසු නැති බවත් දැනගන්න ලැබී අමුතු සතුටකින්, පාර පරණ වුවද නව ගමනක් අරඹා තිබේ.
උතුර නැඟෙනහිර දමිළ ජනතාවගේ ඥාති හිත මිත්‍රයන් ලොව විවිධ රටවල සිටින අතර, රජයේ ඒ නව පිළිවෙත දියුණු සේපියන්ස්ලාගේ ජනසමාජවල සිද්ධ වන සැම්පලේට සිද්ධ වූ බවට කතා වෙන බව නම් ඇසිණි.