Home » ජනතා අප්‍රසාදයට පත්ව ඇත්තේ ආණ්ඩුව නොව විපක්ෂයයි

ජනතා අප්‍රසාදයට පත්ව ඇත්තේ ආණ්ඩුව නොව විපක්ෂයයි

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සමඟ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රය ගොඩනැඟීමට බලාපොරොත්තු වන්නේ කවර ආකාරයටද?

අපේ අමාත්‍යාංශය සමඟ කටයුතු කරන සියලු ආයතනවලට අදාළ ක්‍රියාකාරි සැලැස්ම සමාලෝචනය කළා. පහුගිය කාලවල මේ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය සොයා බැලුවා. ඒ අනුව ක්‍රියාකාරි සැලැස්ම අදම අනුමත කරලා, අදාළ ආයතනවලට භාර දුන්නා. ඉදිරි මාස හතර ඇතුළත මේ ක්‍රියාකාරි සැලැස්මට අනුව කටයුතු කර එහි ප්‍රගතිය අපට පෙන්විය යුතු වෙනවා.

මේ ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක වන ආකාර පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කළොත්?

අපට සම්බන්ධ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටිය අනුව ඊට උචිත වන ආකාරයටයි මේ ක්‍රියාකාරි සැලසුම් සකස් කර තිබෙන්නේ. උදාහරණයක් විදිහට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත්: මේ වන විට සර්ප විෂට ඉතා සාර්ථක ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කර තිබෙනවා. එහෙත් ඒක කිසියම් තැනක නතර වී තිබෙනවා. ඒ කෙරෙහි අවධානය යොමු කර එය නිපදවීම මඟින් ඒ ඖෂධය විදේශයන්ගෙන් ගෙන්වීම සඳහා යන පිරිවැය නතර කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ රටේ ඉතා උසස් තත්ත්වයේ ග්‍රැෆයිට් තිබෙනවා. එමඟින් නිෂ්පාදනය කෙරෙන බැට්‍රිවල ප්‍රමිතිය වඩා උසස් මට්ටමකට පත් කර ඒවා නිෂ්පාදනය කිරීමට අවශය කටයුතු මේ ක්‍රියාකාරි සැලැස්මෙන් සිදු කෙරෙනවා. රටේ ආර්ථිකය නැංවීම ප්‍රමුඛතාව කරගනිමින් මේ වන විට සාර්ථක වී තිබෙන පර්යේෂණ දහයක් පමණ තෝරාගෙ ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ආණ්ඩුව ආර්ථිකය ගොඩනැඟීම ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බව ඔබ පැවසුවා. ඒ පිළිබඳ යම් සඳහනක් කළොත්?

මේ ආර්ථිකය මාසෙන් දෙකෙන්, අවුරුද්දෙන් දෙකෙන් හදන්න බැහැ. ඒක විධිමත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යා යුතුයි. අපේ රටේ ආදායම වැඩි කරන්නේ නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. ඒ නිසා අපේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ මේ රටේ ආර්ථිකය කෙටිකාලීනව, මධ්‍යකාලීනව හා දීර්ඝකාලීනව ගොඩනැඟිය හැකි ක්ෂේත්‍ර පිළිබඳවයි. විද්‍යා හා තාක්ෂණය භාර අමාත්‍යවරයා විදිහට මට විශාල කාර්යයක් පැවරී තිබෙනවා. ඒ සඳහා සපුරාගත යුතු ඉලක්ක ගණනාවක් හඳුනාගෙන, ඒ වෙනුවෙන් කැප වීමෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ අතරතුර මේ රටේ පීඩාවට පත්ව සිටින අසරණ ජනතාවට යම් යම් සංශෝධන මඟින් සහන සලසා දීමට අප කටයුතු කරනවා. අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට අමතරව ඒ පවුල්වල ඉගෙනුම ලබන සෑම දරුවකුටම රුපියල් 6000ක මුදලක් දෙනවා. වගේම අඩු ආදායම්ලාභි පවුල්වල ඉගෙනගන්නා දරුවන්ටත් ඒ ප්‍රතිලාභය දීමට කටයුතු කර තිබෙනවා. මේ සෑම දෙයක්ම අප කරන්නේ සැලසුමකට අනුවයි. මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය ආයෝජනයක් ලෙසයි අප කල්පනා කරන්නේ. ඔවුන් රටේ ආර්ථිකයේ පංගුකාරයන් කරගෙන ඔවුන්ගේ පවුල් අසරණ භාවයෙන් මුදාගැනීමයි අපේ සැලසුම.

ආර්ථිකය වර්ධනය සඳහා වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ කවර ක්ෂේත්‍ර කෙරෙහිද?

මේ සඳහා මා ප්‍රථමයෙන් සඳහන් කළ ආකාරයට කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා. කෙටිකාලීන වැඩ පිළිවෙළ යටතේ සංචාරක ක්ෂේත්‍රය වැනි, දැනටමත් යම් මට්ටමක පවතින කෙටිකාලීනව සංවර්ධනය කළ හැකි නමුත් තවදුරටත් දියුණු කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. පසුගිය වසර තුළ මිලියන දෙකකට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් රටට ආවා. එහෙත් එහි උපරිම ප්‍රයෝජනය අපට ගන්න ලැබුණේ නැහැ. ඒ සංචාරක ක්ෂේත්‍රයේ තිබෙන අඩුපාඩු නිසා. ඔවුන්ගේ අවශ්‍යතා උපරිමයෙන් සපුරාලිය හැකි පරිදි මේ ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍යයි. උදාහණයකට: ලෝකයේ කිසිදු රටක දක්නට නැති ආකාරයේ ආකර්ෂණීය ස්ථාන අපේ රට තුළ තිබෙනවා. ඒවායේ පහසුකම් වර්ධනය කරමින්, ඔවුන්ට රිසි සේ ඒවා දැක බලාගෙන වින්දනය කළ හැකි ආකාරයට හෝටල් සංකීර්ණ නිර්මාණය කිරීම, ආරක්ෂාකාරිව වනෝද්‍යාන තුළ සංචාරය කිරීමට ඉඩකඩ සැලසීම, ත්‍රාසජනක අත්දැකීම ලබාදීමට හැකි ස්ථාන වඩා ආරක්ෂිත ආකාරයට සැලසුම් කිරීම, සංචාරකයන් ආකර්ෂණය කරන ගම්මාන, පාරම්පරික කර්මාන්ත ගම්මානවල පහසුකම් සැලසීම, ආයුර්වේදය, විනෝදාස්වාදය ලබාගත හැකි ස්ථාන නිර්මාණය කිරීම, ඒ වගේම අපේ පළාතෙන් පළාතට, ගමෙන් ගමට ඒ අයටම සුවිශේෂ ආහාර තිබෙනවා, ඒවා ප්‍රචලිත කිරීම… මේ ආදි විශාල පරාසයක් අප හඳුනාගෙන තිබෙනවා. ඒවා නිසි පරිදි දියුණු කළොත් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කළ හැකි වගේම අද අප ලබන ආදායමට වඩා විශාල ආදායමක් සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත හැකියි.

අනෙක් අතට කෘෂිකර්මාන්තය ගත්තොත් එහි ඵලදායිතාව වැඩි කර ආහාර අතින් ස්වයංපෝෂිත රටක් ගොඩනැඟීම අපේ මූලික ඉලක්කය වී තිබෙනවා. එමඟින් සහල් පිටරටින් ගෙන්වීම නතර කළ හැකියි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය දීමට අපේ අමාත්‍යාංශය මැදිහත් වී තිබෙනවා. මේ ආකාරයට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මේ රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය වැඩ කටයුතු රාශියක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙහි ප්‍රතිඵල අපට වසරක්, දෙකක් ඇතුළත ජනතාවට ළඟා කර දෙන්න හැකි වේවි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒ අතරතුර දිගුකාලීන ආර්ථික වැඩ පිළිවෙළ යටතේ ස්ථාවර ආර්ථිකයක් කරා මේ රට රැගෙන යෑමේ අඩිතාලම දැමීමට කටයුතු කරමින් සිටිනවා.

ජනතා පරමාධිපත්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත් වුණාට පස්සේ; ඒ ආණ්ඩුවට වැඩකටයුතු කරගෙන යන්න ඉඩ නොදී ඇතැම් විද්‍ය ුත් මාධ්‍ය හා ප්‍රතිවාදි කණ්ඩායම් එල්ල කරන චෝදනා හා විවේචන ඔබ දකින්නේ කොහොමද?

මෙවර ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් සිදු වූ වෙනස සාමාන්‍ය ආණ්ඩු මාරුවීමක් හා කිසිසේත් සංසන්දනය කරන්න බැහැ. මෙය මෙතෙක් පැවති පද්ධතියේම වෙනසක් අපේක්ෂාවෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනකොටසකගේම ආශීර්වාදය ඇතිව පත්වෙච්ච ආණ්ඩුවක්. ඒ නිසා මෙතෙක් බලයේ සිටි උදවියගේ දූෂිත පැවැත්ම අභියෝගයකට ලක්ව තිබෙනවා. අපි දූෂණය නැති කරනවා; හොරු අල්ලනවා; වැරදි කරපු අයට තරාතිරම නොබලා දඬුවම් දෙනව කියලා කිවුවා. ඒ කිවුවා වගේම අප ඒ මාර්ගයෙන් ගමන් කරමින් සිටිනවා. ඒ නිසා වංචා දූෂණ කරපු මේ රටේ මහජනතාවගේ මුදල් දේපළ කොල්ලකෑ උදවිය ඔවුන්ගේ අනාගතය ගැන හරි බයෙන් ඉන්නේ. ඒ ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන පමණක් නෙමෙයි; ඔවුන් සැප සම්පත් විඳිමින් මෙතෙක් පවත්වාගෙන ආ දූෂිත ක්‍රමය බිඳවැටීම නිසා විශාල අවිනිශ්චිතභාවයක ඉන්නේ. මේ භීතිය මත පදනම්වයි ඔවුන් මේ විදිහට කටයුතු කරමින් ඉන්නේ. ඒ අය අතර ඔවුන්ගේ පැවැත්ම මඟින් තමන්ගේ පැවැත්ම තහවුරු කරගත් නිලධාරීන්, හිතවතුන්, ඥාතීන්, මාධ්‍ය ප්‍රදානීන්, අන්ධ භක්තියෙන් සමහර නායකයන් පිළිගත් ජනතාවකුත් සිටිනවා. ඔවුන් සංවිධානාත්මකව විවිධ අවලාද නඟමින් සංවිධානය වෙන්න උත්සාහ කළාට ජනතාව ඒ පිළිබඳ අවදියෙන් ඉන්නේ. ඒ නිසා ඔවුන් ව්‍යාජ ජනපදනමක් තමන්ට හිතවත් මාධ්‍ය උපයෝගි කරගෙන ගොඩනඟන්න උත්සාහ කරනවා. ඒ අතර ඒ මාධ්‍යවලට අදාළ පෞද්ගලික හේතු කාරණා ගණනාවකුත් තිබෙනවා. එහෙත් ආණ්ඩුවේ කටයුතු කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් මිසක් අප්‍රසාදයක් නැති බව ඒ අයට පේනවා. එනිසා ඔවුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගනිමින් සිටිනවා. ආණ්ඩුව මේවාට සැලෙන්නේ නැහැ. මොකද ජනතාව ඉන්නේ ආණ්ඩුව පැත්තේ.

ආණ්ඩුව කෙරෙහි පැවති ජනප්‍රසාදය පිරිහී ඇති බවට ඇතැමුන් චෝදනා කරනවා. ඔබ එය දකින්නේ කොහොමද?

ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැඟීම සඳහා ප්‍රතිවාදි දේශපාලකයන් යොදාගන්න උත්සාහ කරන්නේ ඔවුන් විසින්ම ජනිත කළ අර්බුදමයි. හාල් ප්‍රශ්නය ගත්තත්, පොල් ප්‍රශ්නය ගත්තත් ඒවා නිර්මාණය කළේ අප නොවේ; ඔවුන්. මේ එකක්වත් මාස දෙකෙන් තුනෙන් කරන්න පුළුවන් දේවල් නොවන බව රටේ බහුතර ජනතාව දන්නවා. අද ඔවුන් වෙනදාට වඩා දේශපාලනය ගැන සවිඥානකයි. මේ ජනවරමේ විශේෂත්වයත් ඒකයි. ඒක තවම විපක්ෂය තෙරුම් ගෙන නැහැ. මේ තත්ත්වය තේරුම් නොගත් ජනතාවකුත් සිටිනවා. ඒ අය මෙහෙයවමින් විවිධ අර්බුද නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා. ඒත් ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ඉදිරියට යද්දී ඔවුන් පවා වෙනස් වේවි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද: ඔවුන් තවම ඉන්නේ අන්ධ විශ්වාසයක. එයින් එක පාරට මිදෙන්න ඔවුන්ට බැහැ. ඒකට ඒ අයට කාලයක් යාවි. ඒත් මේ රටේ බහුතර ජනතාව අප සමඟ සිටින බව ජනතාව දක්වන ප්‍රතිචාරවලින්ම පේනවා. එනිසා ජනතා අප්‍රසාදයට පත්ව ඇත්තේ අප නොවේ; විපක්ෂයයි.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division