ගහට කොළට මලට බාලවියේ සිට පෙම් බැන්ද නිසාම මල් පිපුණු ගස් දැක දුරක සිට වුව හිත සනසා ගන්නට පුරුදු පුහුණුව සිටියෙමි. පුංචිම පුංචි සන්ධියේ අම්මාගේ අතේ එල්ලී පන්සල් ගිය විට පූජාසනය මත ඇති නෙක හැඩ මල් නොව බිම වැටි තිබූ මල් අහුලාගෙන එන්නටත් ඒ මල් පරණ පොත් පිටු අතර සඟවා තබන්නටත් හුරු වූයෙමි. යළිත් මාස කිහිපයකින් බලන විට ඒ මල් පෙති තව තවත් සිනිඳු වී වෙනම හැඩක් ගෙන තිබුණි.
පාසල් වියේදී අපේ පාසලේ රූස්ස මාර ගහේ පිපි වැටෙන කහපැහැති මල් අහුලා පොත් පිටු අතර සඟවන්නට හුරුව සිටියෙමි. අදත් පරණ පොතක් පෙරළුවොත් පාටක් නැති අවපැහැ ගැන්වුණ සුවඳක් නැති ඒ මල් බොහෝ සුමුදුව වියළී ගිය පෙති හමු වේ. අලුත් මල් කඩා වේළන්නට නොව වැටුණු මල් අහුලා පොත් අස්සේ සඟවා තබන්නට එකල පුරුදුව සිටියෙමි. රෝස, අටපෙතියා, පිච්ච මල්, මැයි මල්, කහපාට මාර මල්, වසර ගණනක් පැරණි පොත් පිටු අතරේ හිඳ අද ද හිනැහෙයි. ඒ මල් එකින් එකට වෙන වෙනම කතා ඇතැයි සිහි වන්නේ ඒ අතීතය සිහි කරන විටය. වසර තිස් ගණනකට එහා බාලවිය කොතරම් සොඳුරු දැයි සිහිගන්වන්නේ පොත් අස්සේ ඇති මේ මල්ය. ඒ මල් එක්ක බැඳුණු මතකයයි.
කාලයත් සමඟ අමතකව ගොස් තිබූ මේ මල් යළි මතකයට ගෙන ආවේ ප්‍රවීණ ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණයන්ගේ හඬින් ගැයෙන මේ ගී පදය.
“නැවුම් මල් සිඳලන්න නොසිතමි
වියළි මල් පෙති මතින් ඇවිදිමි
ඉතිරි වී ඇති මලක් ඇහිඳිමි
මිටින් අරගෙන ගොසින් හෙමිහිට
කවි කුරුටු ගෑ පොතේ සඟවමි…”
අදත් පොත් පිටු අතර හිඳ හිනැහෙන මේ මල් මතක අපූරුය. මේ ගී පද ලියන්නේ මහාචාර්ය ඩිල්මා තුෂාරි ය. ඒ පද සංගීතවත් කරන්නේ විශාරද නවරත්න ගමගේය.
බැලූ බැල්මට මල් ගැන ලියැවුණ මේ පද අතර කියැවෙන කතාව වැටහෙන්නේ ඒ ගී හඬ යළිත් ශ්‍රවණය කළ විටය.
බැලූ බැල්මට මෙය මල් කතාවක් වුව ද ඊට යටින් ඇත්තේ කාටත් වටින කතාවකි.
ගී පද රචිකා ඩිල්මා තුෂාරි තමන් ලියූ ගී පද ගැන කියන්නේ මෙවැනි කතාවකි.
“‘නැවුම් මල් සිඳලන්න නොසිතමි…’ගීතය මම ලියූ හයවෙනි ගීතය. මල් සහ මල් ගැන උපමා කරලා තමයි මම මේ පද ලියන්නේ. මට කියන්න ඕන වුණේ ජීවිතේ ප්‍රේමය කියන එක අපට කොතැනදී හෝ හමුවෙන්න පුළුවන්. පාසල් කාලයේ හමු වූ ප්‍රේමයන් අපට තියෙනවා. ජීවිතේ ආරම්භ යුගයේදීම හමුවෙන මේ ප්‍රේමයන් සාර්ථක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ප්‍රථම ප්‍රේමය හරි සුන්දර අපූරු මතකයක්. අන්න ඒ මතකය තමයි කවි ලියපු පොත් අස්සේ මල් පෙති විදිහට සඟවලා තියෙන්නේ. ඒ වගේමයි අපේ යොවුන් වියේදිත් හමුවෙනවා ප්‍රේමය. ඒ ප්‍රේමය සාර්ථක වෙන්නත් පුළුවන් … සාර්ථක නොවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රේමය අපෙන් දුරස් වෙන්න පුළුවන්. නමුත් ඒ මතක හැමදාම අපේ හිතේ කොතැනක හෝ සැඟවී තියෙනවා. ආදරය කියන එක මිය යන්නේ නැහැ. සමහර වෙලාවට අපේ හිතේ ආදරය ඇති වෙනවා. නමුත් අපට ඒ ආදරය හිමිකර ගන්න බැහැ. කොහේ හෝ නතර කරන්න වෙනවා. නමුත් හැමදාමත් හිත ළඟ නතර වෙච්ච ආදරයක් අපි කා තුළත් තියෙනවා. ඒ ආදරය අපේම නොවුණත් අපට නොපෙෙනන දුරක තිබුණත් ඒ මතකයන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ ප්‍රේමයේ සුවඳ හදට දැනෙනවා. හිමි නොවුණත්, හිමි වුණත් ප්‍රේමය හරි මිහිරියි. මෙන්න මේ අදහස එන්න තමයි මම මේ පද ලිව්වේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට මට බොහෝම තරුණ ළමයි එක්ක වැඩ කරන්න වෙන්නේ. ඔවුන් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු මා සමඟ කතා කරනවා. ප්‍රේමයෙන් සිත් රිදවා ගත්ත අය මා සමඟ ඔවුන්ගේ අත්දැකීම් කියනවා. ඔන්න ඔය හැමදේම එකතු වෙලා තමයි මේ ගීතය ලියැවුණේ.
මම තවමත් ගීත ක්ෂේත්‍රයට ආධුනිකයි. මේ පදවලට සංගීත නිර්මාණය කළ විශාරද නවරත්න ගමගේ ඒ වෙනුවෙන් බොහෝම කැපවීමෙන් කටයුතු කළා. එ වගේමයි ලක්ෂ්මන් හේවාවිතාරණ. ඔහුට බොහෝම මිහිරි කටහඬක් තියෙන්නේ. මම ලියූ පද පෙළ යම් සාර්ථකත්වයක් ලබන්න නම් මේ දෙදෙනාගේම දායකත්වය උපරිමයෙන් ලැබුණා. ඒ දෙදෙනාටම මම බොහෝම ස්තුති කරනවා.“
නැවුම් මල් සිඳලන්න නොසිතමි
වියළි මල් පෙති මතින් ඇවිදිමි
ඉතිරි වී ඇති මලක් ඇහිඳිමි
මිටින් අරගෙන ගොසින් හෙමිහිට
කවි කුරුටු ගෑ පොතේ සඟවමි…
හද පුරා විඳ නොහිම් වූ ආදරෙන්
පරවූ දා අත අතැර නොගොසින් පෙමින්
සුවඳ නැති වුව වැටුණු මල් පෙති
දිවිතුරා සෙනෙහසින් සුරකිමි…
නැවුම් මල් පෙති හිත දරන් ආදරෙන්
මටම හිමිකර ගන්ට නොසිතා ලොබින්
ගහට පොළවට මල් අයිති බව
සිතා නිවනින් නෙතු පියාගමි හෙමින්…
ගායනය – ලක්ෂ්මන් හේවාවිතාරණ
සංගීතය – විශාරද නවරත්න ගමගේ
පද රචනය – මහාචාර්ය ඩිල්මා තුෂාරි