Home » මේ දවස්වල ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ දමිළ චරිතවලට

මේ දවස්වල ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ දමිළ චරිතවලට

ජයනි වීරසිංහ

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

– අපි දෙන්නගෙ පෙනුමෙ සමානකමක් තියෙන නිසා ගොඩක් දෙනා ප්‍රජාපතියි සුලක්ඛණයි චරිත පටලවගෙන
– “ඕ මයිගෝඩ් ආච්චි අම්මා” කියල ඔහු සිනහ වෙවී අමාරුවෙන් සිංහලෙන් උච්චාරණය කළා

මේ දිනවල සාර්ථකව තිරගත වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “ගෞතම බුද්ධමාතා“ සිනමාපටය ඔස්සේ රිදී තිරය මතට ගෙන එන සුලක්ඛණා දේවිය, මෙතෙක් කතාබහට ලක් නොවුණු විශේෂ චරිතයක් ලෙස බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇත. ඇය අංජන රජුගේ අගමෙහෙසිය හෙවත් මහාමායා සහ ප්‍රජාපතී ගෝතමියගේ මවයි. නැතහොත් ගෞතම බුදුන් වහන්සේගේ ආච්චි අම්මාය. ගෞතම බුද්ධමාතාවගේ මව ලෙස සුලක්ඛණා දේවියගේ චරිතයට පණ පොවන ඇය ජයනී වීරසිංහය. “අපේ ප්‍රින්සිපල්“ සිනමාපටය ඔස්සේ ජනප්‍රියත්වයට පත්වුණු ඇය තිළිණ බොරලැස්සගේ කුලුඳුල් සිනමා නිර්මාණය ලෙසින් දොරට වඩින ‘මං සොයන්නේ ප්‍රේමයක්’ ඔස්සේ ද ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින්නීය.

ජයනි මේ දවස්වල ගෞරවනීය චරිතයකට පණ පොවනවා. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

ඇත්තටම ඒක මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම අවස්ථාව කිව්වත් හරි. “අපේ ප්‍රින්සිපල්“ සිනමාපටයේ රංගනය දැකලා ජගත් චමිල අයියා හරහා මාව සම්බන්ධ කරගත්තේ විමල් දේශප්‍රිය අයියා. ඔහු මට කිව්වා නංගි මෙහෙම චරිතයක් තියෙනවා එක දවසයි ෂූටින් තියෙන්නෙ හැබැයි මේක ගෞරවනීය චරිතයක් කියලා. මං එක පාරටම කිව්වා සුනිල් සර්ගෙ වැඩක් නම් එක දවසකට හරි මං කරන්නම් කියලා.

බුදුන් වහන්සේගේ ආච්චි අම්මා කෙනෙක් ගැන අපි ඇත්තටම මෙතෙක් දැනගෙන හිටියෙ නෑ. සුලක්ඛණා දේවිය ගැන කිව්වම ඔබට මොකද හිතුණේ?

ඇත්තම කිව්වොත් මාත් දැනගෙන හිටියෙ නෑ සුලක්ඛණා දේවිය කියන්නෙ කවුද කියලා. ඒ ගැන හොයල බලද්දි තමයි දැනගත්තේ ඒ ප්‍රජාපතී ගෝතමියගේ මව කියලා. අංජන රජතුමා තමයි ඇගේ පියා. සුලක්ඛණා දේවියට සහ අංජන රජුට දාව දණ්ඩපාණී, සුප්පබුද්ධ, මහාමායා සහ ප්‍රජාපතී නමින් දරුවන් සිවු දෙනයි. සිදුහත් උපතත් සමඟින් මහාමායා දේවිය කලුරිය කිරීමෙන් පසු ප්‍රජාපතී ගෝතමිය සිදුහත් කුමරුගේ මවු පදවියට පත්වෙලා බුද්ධත්වයෙන් පසු ගෞතම බුද්ධමාතා බවට පත්වුණු කතාව අපි හැමෝම දන්න දෙයක්. ඒත් අපි පරිශීලනය කළ පොත්පත්වල කොතැනකවත් බුදුන් වහන්සේගේ ආච්චි අම්මා කෙනෙක් ගැන සඳහන් වෙලා තිබුණෙ නෑ. සුලක්ඛණා දේවිය විදිහට මට වගේම අංජන රජු විදිහට නිරෝෂන් අයියට තිබුණේ ප්‍රජාපතීගේ විවාහය ගැන කතාබහ කරන්න. ඒ චරිතය දුවන කාල සීමාව අඩු වුණත් ඒක තමයි මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම අවස්ථාව.

“ගෞතම බුද්ධමාතා“ සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිත සියල්ල සඳහා යොදාගෙන තිබුණේ ඉන්දීය රංගන ශිල්පීන්. ඒ අත්දැකීම කොහොමද? 

එදා දවසේ රූගත කෙරුණේ මගෙයි නිරෝෂන් අයියගෙයි සීන්ස් ටික විතරයි. ඒ නිසා අපිට ඔවුන් හා ගැටෙන්න අවස්ථාවක් ලැබුණෙම නෑ. මංගල දැක්ම දවසේ තමයි අපි හමුවෙලා කතාබහ කළේ. එදා සිදුහත් කුමරුට පණ පොවන ඉන්දීය රංගන ශිල්පියාට මේ ඔබේ ආච්චි අම්මා කියල මාව හඳුන්වල දෙද්දි ඔහු එකපාරටම “ඕ මයිගෝඩ් ආච්චි අම්මා කියල සිනහ වෙවී අමාරුවෙන් සිංහලෙන් උච්චාරණය කළා. ඔවුන් හරිම සුහදශීලීයි. මේක වෙන ඒවට වඩා ගොඩක් වෙනස් අත්දැකීමක්. හඬ කැවීමේදී වුණත් දෙබස් උච්චාරණය කළේ හරිම ගෞරවයෙන්. ඒකත් මට අලුත් අත්දැකීමක් වුණා.

සිද්ධාර්ථගේ ආච්චි අම්මාගේ රූපය කොහේවත් දැකලා නෑ. කොහොමද ඔබ ඒ රුවට අනුගත වුණේ?

ඇත්තටම එහෙම රූපයක් ගැන මං කොතැනකවත් දැකල තිබුණේ නෑ. අධ්‍යක්ෂවරයා අතිවිශාල ප්‍රමාණයක් පොතපත ඇසුරු කරලා සොයා ගත් කරුණු කාරණාවලින් සුලක්ඛණා දේවිය හරි අපූරුවට ගොඩනඟලා තිබුණා. ප්‍රජාපතීටත් එහා යුගයක ඇඳුම් ආයිත්තම් ආකර්ෂණීයව නිර්මාණය කළ ජාත්‍යන්තර සම්මානලාභී රමේෂා ඔෂිනි මෙහිදී සිහිපත් නොකරම බෑ.

සුලක්ඛණා දේවියට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?

ප්‍රතිචාර ඉතාම හොඳයි. පැත්තට ඉන්න මගේ පින්තූරයක් දාලා හදපු ටේලර් එක මං ෂෙයාර් කළා. ගොඩක් දෙනා ප්‍රජාපතියි මායි පටලවගෙන. සමහරු අහල තිබුණා ඔයා ඒ කාලෙ කෙට්ටුයිනේ. විවාහ වෙන්න කලින් ද මේක කළේ කියලා. අපි දෙන්නගෙ පෙනුමෙ ටිකක් සමානකමක් තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති සුනිල් සර් මාව තෝරගන්න ඇත්තෙත්.

ඔබට තිළිණ බොරලැස්සගේ කුලුඳුල් සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ ගැනත් සඳහන් කරමු?

‘මං සොයන්නේ ප්‍රේමයක්’ තිළිණ අයියගේ කුලුඳුල් සිනමා අත්දැකීම. මගෙයි අනුරාධ අයියගෙයි ෆොටෝ දෙක අතරට අභිලාෂිගේ ෆොටෝ එකත් දාල ඔහු මට එවලා තිබුණා නංගි මේ මගේ පළවෙනි චිත්‍රපටය. ඔය තුන්දෙනා තමයි මගේ ඔළුවෙ ඉන්නෙ. ඔයා මොකද කියන්නෙ කියලා අහලා. මං හරිම සතුටින් භාර ගත්තා. මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ අභිලාෂි. එයාගෙ මවුපියන් විදිහට අපි දෙන්නට ආරාධනා කළා. මං රංගනයෙන් දායක වන අංජලී මෝහන් කියන්නේ සිංහල කැම්පස් එකක මහාචාර්යවරයකුගේ දමිළ බිරිය. ඇය බාලිකාවක නර්තන ගුරුවරියක්. මට දමිළ පෙනුමක් තියෙන නිසාද මන්දා මේ දවස්වල ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ දමිළ චරිතවලටමයි. අංජලී කියන්නේ හැමදේම තනියම විඳදරා ගන්න හරිම ආදරණීය චරිතයක්. ලබන අවුරුද්දේ මුල ‘මං සොයන්නේ ප්‍රේමයක්’ තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහි තිරපිටපත ජනප්‍රිය ලේඛිකා අනෝමා විජේවර්ධනගේ. මං වගේම ඇයත් ගුරුවරියක්.

ජයනි කියන්නේ වෘත්තියෙන් ගුරුවරියක් වගේම රංගන ශිල්පිනියක්. ඒ වගේම තිදරු මවක්. කොහොමද මේ හැමදේම බැලන්ස් කරගෙන යන්නේ?

මගේ මහත්තයගෙන් වගේම මවුපියන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මහත්තයා මට දෙන නිදහස වගේම මගේ මවුපියන් මගේ දරුවන්ව බලාගෙන මට දක්වන සහයෝගය මත තමයි මේ හැමදේම බැලන්ස් වෙන්නේ. වෘත්තියේ අඩුපාඩුවක් නොවෙන්නත් මං වගබලා ගන්නවා. මගේ ගමනට නිරතුරුවම ශක්තියක් වන ඒ හැම දෙනාවම මං ගෞරවයෙන් සිහිපත් කරනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division