– වෙනම රටක වෙනම භාෂාවක් හසුරවන මිනිසුන් එක්ක කරපු වැඩක් නිසා එහි වටිනාකම වැඩියි
– ලංකාවට එන්න කලින් බෞද්ධ පොත කියවලා යම් දැනුමක් ලබා ගත්තා
බෞද්ධාගමේ මහාමායා බිසව පිළිබඳව වැඩි විස්තර සඳහන් නොවුවද, සිදුහත් මාතාව ලෙස මහාමායාව කෙරෙහි බෞද්ධයන් වන අප තුළ ඇත්තේ මහා ගෞරවයකි. එවැනි ගෞරවණීය වූ වන්දනීය වූ චරිතයකට පණ පොවන්නට අදිති සිං නම් ඉන්දීය රංගන ශිල්පිනියට වාසනාව හිමිවිය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රිදී තිරයට ගෙන එන ලද “ගෞතම බුද්ධ මාතා“ චිත්‍රපටයේ මහාමායා චරිත රඟනය අදිති සිං සමඟ කළ පිළිසදරකි මේ.
අදිති කොහොමද ඔබට මේ චරිතය ලැබුණේ,?
මම ආවෙත් ඔඩිෂන්වලින්. මාව මේ චිත්‍රපටයේ චරිත තුන සඳහාම ඔඩිෂන් කළා. අවසානයේදී මට මහාමායා චරිතය ලැබුණා. සුනිල් සර්, චන්න සර්, විමල් සර් තමයි ඔඩිෂන් කළේ,
ඔබ අපේ භාෂාව දන්නෙත් නැහැ ඒක අභියෝගයක් වුණා ද?
ඇත්තටම ඒක අභියෝගයක්. මට මුලදි කිසිම දෙයක් තේරුණේ නැහැ. භාෂාව තමයි ලොකුම ප්රශ්නය වුණේ. නමුත් සුනිල් සර් ඇතුළු කණ්ඩායම ඉතා හොඳින් පිටපත තුළ තිබු දේ කියා දුන්නා. ඒ සහයෝගය මත තමයි හැමදේම පහසු වුණේ.
ඔබට යම්කිසි අදහසක් තිබුණාද චිත්‍රපටයේ අධ්යක්ෂ වූ සුනිල් ආරියරත්නයන් කියන්නේ කවුද කියා?
මේ අවස්තාව ලැබුණට පස්සේ මම ඉන්ටර්නෙට් එක හරහා ඔහු ගැන සොයා බැලුවාම දැන ගන්නට ලැබුණා සුනිල් සර් පිළිබඳ විස්තර. විශේෂයෙන්ම සොනක්ෂි සහ සමර් මගේ යහළුවන් ඔවුන් දෙදෙනාම සුනිල් සර්ගේ “කදිර දිව්‍යරාජ” සිනමාපටයේ රඟපාලා තිබුණා. ඔවුන් මට කිව්වා
‘ඔබට මේ ලැබෙන්නේ ඉතා අනගි අවස්ථාවක්‘ කියලා.
ඔබ මීට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙිලා තිබෙනවාද?
නැහැ… කවදාවත්ම නැහැ. නමුත් මම බුදුන් වහන්සේ ගැන දැනගෙන හිටියා. ඊට අමතරව ලංකාවට බුද්ධාගම ආවේ ඉන්දියාවෙන් කියලත් මම දැනගෙන හිටියා. මම ලංකාවට එන්න කලින් බෞද්ධ පොත කියවලා යම් දැනුමක් ලබා ගත්තා. මේක රංගන ශිල්පිනයකට බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්,
ප්‍රථමවරට ඔබව පුළුල් තිරයේ දකිනකොට මොකද හිතුණේ?
ඒක සිහිනයක් සැබෑවීමක් කියලයි මට හිතෙන්නේ. වෙනම රටක වෙනම භාෂාවක් හසුරවන මිනිසුන් එක්ක කරපු වැඩක් නිසා එහි වටිනාකම වැඩියි.
ඔබව දුටු බොහෝ දෙනක් හරිම ආදරණීයව ඔබව පිළිගත්තා. මහාමායා චරිතයට ඔබ ඉතා හොඳින් ගැළපෙන බව ඔවුන් කියනවා මට ඇහුණා. ඒ ගැන මොකද කියන්නේ?
ඇත්තටම මම එකවර බලාපොරොත්තු වුණු දෙයක් නෙමේ. මෙහි සියලු දෙනා මට හරිම ආදරයෙන් කතා කළා. ඒක ලොකු සතුටක්. ශ්‍රී ලාංකිකයන් හරිම මිත්‍රශීලී ජාතියක්. ඔවුන් හරිම ආදරණීයයි. අපි දඹුල්ලට ගියා ඒ වගේම මහනුවර දළදා මාලිගයටත් ගියා. ඒ තැන්වලට ගියාම හිතට පුදුම විදිහේ සතුටක් ලැබුණා. ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්.
ඔබ ඔබේ රංගන දිවිය ආරම්භ කරන්නේ කොතැනින්න ද?
මම කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් විදිහට තමා මගේ ගමන පටන් ගන්නේ. මම චිත්‍රපටයකටත් ඇඳුම් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම සහය අධ්යක්ෂවරියක් විදිහටත් වැඩ කර තිබෙනවා.
ඉදිරියේදී අධ්‍යක්ෂණය සඳහා යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?
අනිවාර්යෙන්ම. මට කියන්නට කතා ගොඩක් තියෙනවා. මේ වෙන කොටත් මම කෙටි චිිත්රපටයක් නිර්මාණය කර තිබෙනවා.
ඉන්දියානු සිනමා කර්මාන්තය කියන්නේ මහා විශාල එකක්. මේ සිනමාපටයට සම්බන්ධ වුණාට පස්සේ ඔබට තව අවස්ථාවන් ලැබිලා තියෙනවා ද?
අපොයි ඔව්. මට ආරාධනා කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒවා සඳහා යොමුවෙන්න.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගැන යම් අදහසක් ප්‍රකාශ කළොත්?
ඔහු එක්ක කතාකරන හැම මොහොතකම මම අලුතින් යමක් ඉගෙන ගන්නවා. ඔහුට ඕනෑම දෙයක් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඔහුව හඳුනාගෙන වැඩ කරන්න ලැබීම සතුටක්. ඔහු විතරක් නොවේ මේ චිත්‍රපටයට ඔහුත් එක්ක ඔහුගේ පවුලේ කිහිපදෙනෙක්ම එකතු වුණා. ඔවුන් සියලුදෙනාම අපට ඉතා ඉහළින් සැලකීම් කළා. ඔවුන්වත් ඉතා ආදරයෙන් මතක් කරනවා.
ඔබ තරුණ රංගන ශිල්පීනියක් අපේ සිනමාවේ ඉතාමත් හොඳ අලුත් අධ්‍යක්ෂකවරු රාශීයක් ඉන්නවා. හදිසියේවත් ඔබට ඔවුන්ගෙන් ආරාධනයක් ලැබුණහොත් නැවත සිංහල චිත්‍රපටයක රඟපාන්න භාර ගන්නවා ද?
අනිවාර්යයෙන්ම මම හරිම ආසාවෙන් භාරගන්නවා. මේ රටේ කලාවට හොඳ තැනක් තියෙනවා. ඒ ඔක්කෝටම වැඩිය හොඳ රසික පිරිසක් ඉන්නවා. පහුගිය දින කිහිපයේදීම අපට ලැබුණ ආදරයත් එක්ක මං මේ රටට නැවත එන්න දෙවරක් හිතන්නේ නැහැ. මට ආරාධනා කළහොත් මම බොහොම කැමැත්තෙන් එනවා.
ඒ වගේම මේ චිත්‍රපටයට මා තෝරාගත්තාට සුනිල් සර්, සුමති සර් ඇතුළු සියලු දෙනාටම ස්තූතියි. මේ චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්ක නැවත ඔබලාව මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
උපුල් නිශාන්ත