– “මට මේ චිත්‍රපටය පෙන්වන්න මේ අවුරුද්දේ අවසානය දක්වාම ඉඩක් හදාගන්න බැරි වුණා
– කාමරයේ ජනේලය ළඟටම වෘකයෝ එනවා
– මුලින්ම දුයිෂේන් විදිහට තෝරගෙන හිටිය රොජර්ව චිත්‍රපටයට ගන්න බැරි වුණා
උඹ ලොකු උගත් ගෑනියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවි“ අල්තීනායි ගමෙන් පිටව යන දා දුයිෂේන් කියන්නේ ඇයට බොහෝ ආදරයෙනි. කිසිදා දැක නැති ඒ පොප්ලර් ගස්වලටත් හීම තට්ටුවලටත් ඒ හිමේ ජීවත් වන දුයිෂේන් ගුරුතුමාටත් ඔහුගේ ශිෂ්‍යාව වූ අල්තීනාටත් අප ආදරය කරන්නට පටන් ගත්තේ ගුරු ගීතය කියවූ දා පටන්ය. ඒ සිදූවීම් එකින් එක පෙළට හදේ මැවෙන්නේ ගුරුගීතය කෘතිය හරහාය.
චිංගීස් අයිත්මාතව් ලේඛකයා විසින් ලියන ලද ‘පළමු ගුරුවරයා‘ කෘතිය ගුරුගීතය නමින් පරිවර්තනය කරන්නේ දැදිගම වී. රුද්‍රිගු ලේඛකයා විසිනි. දශක ගණනාවක් පැරණි මේ රුසියන් කෘතිය පාඨකයත් ඒ හා ඈදුන චරිතත් කිසිවෙකුට අමතක නොවනු ඇත. දශක ගණනාවක් පැරණි මේ කෘතිය ඇසුරින් අපේ රටේ සිනමාකරුවකු විසින් කළ හරි අපූරු නිර්මාණයකි ගුරුගීතය චිත්‍රපටය. එහි නිමැවුම්කරු වන්නේ උපාලි ගම්ලත්ය.
ටෙලි චිත්‍රපට, වාර්තා චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළ උපාලි ගුරුගීතය
සිනමා නිර්මාණයක් කරන්නේ නම් කොතරම් හොඳදැයි සිතන්නේ කෘතිය කියවූ මුල්දිනවලමය. කවුරුන් හෝ එයින් සිනමා නිර්මාණයක් කරන්නේ නම් යැයි සිතුවිල්ලේ සිටින ඔහුට 1998 වසරේදී ගුරුගීතය චිත්‍රපටයක් කිරීමට සිතෙන්නේය.
කාලයක් තිස්සේ හිතේ තිබු ඒ සිතුවිල්ල ඔස්සේ ඔහු ගුරුගීතය පිටපත ලියන්නට පටන් ගන්නේය.
“1998 තමයි මම මේ පිටපත ලියන්න පටන් ගන්නේ. අවුරුදු ගාණක් තිස්සේ මම පිටපත ලිව්වා. කපමින් කොටමින් නැවත සංස්කරණය කරමින් ලිව්වා. එහෙම ලියලා 2008 වසරේ චිත්‍රපට සංස්ථාවේ ණය ආධාර ඉල්ලුම් කළා. ඒ අනුව මට ලක්ෂ තිස්පහක ණය මුදලක් ලැබුණා. මම චිත්‍රපටය රූගත කරන්න තෝරා ගත්තේ නුවරඑළිය ප්‍රදේශය. මම ඒ කාලේ දුයිෂේන්ගේ චරිතය සඳහා තෝරාගෙන හිටියේ රොජර් සෙනෙවිරත්නව. ඒ වගේම ජගත් විජේනායක තමයි නිෂ්පාදක විදිහට තෝරාගෙන හිටියේ. නමුත් කාලයත් එක්ක එය මඟහැරුණා. නුවරඑළිය පරිසරයේදී අපට ඒ පරිසරය දකින්න අමාරු වෙයි කියලා මට වැටහුණා. ඒ නිසා රූගත කිරීම් කළේ නැහැ. ඉන්පස්සේ රුසියාවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ ඉන්න රංජන සේරසිංහ ඒ පරිසරය ගැන හොයලා බැලුවා. ඒ පරිසරයත් වෙනස් වෙලා. ඒ පැතිවල ගෙවල් හැදිලා , වගාබිම් ඇති වෙලා. ඒ නිසා එහෙත් චිත්‍රපටයට සුදුසු පරිසරය තිබුණේ නැහැ. මෙහෙම ඉන්නකොට තමයි මට කත්මන්ඩුවලට යන්න අවස්ථාවක් ලැබුණේ. ඒ ගිය වෙලාවේ අපි ගියා කඳු නඟින්න. අන්න ඒ ගිය ගමනෙදි තමයි මට හිතුණේ මේ පැත්ත චිත්‍රපටයේ දර්ශන තලයට හොඳටම ගැළපෙනවා කියලා. මේ පැත්තේ තියෙන්නෙත් ඉන්දියානු සංස්තෘතියට කිට්ටු සංස්කෘතියක්. මේ චිත්‍රපටය රූගත කරලා අවසන් වුණාට පස්සේ චිංගීස් අයිත්මාතව් අනුස්මරණ කමිටුව චිත්‍රපටය බලන්න ආවා. අවුරුදු 100කට කලින් තිබුණු අපේ පරිසරය දැක්කා කියලා ඔවුන් බොහෝම සතුටු වුණා.“
වසර ගණනාවක් තිස්සේ එකම අරමුණක් වෙනුවෙන් වෙහෙසුන උපාලි ගම්ලත් ඒ සිහිනය සැබෑකරගත් අයුරු පවසන්නේ සතුටිනි. ඒ සතුට දැන් වඩාත් ඔපවත් වී ඇත්තේ ගුරුගීතය ගැන කවුරුත් කතා කරන බැවිනි.
“මුලින්ම මම දුයිෂේන් විදිහට තෝරගෙන හිටිය රොජර්ව චිත්‍රපටයට ගන්න බැරි වුණා. කාලයත් එක්ක ඔහුගේ රූපය වෙනස් වෙලා තිබුණා. ඉන් පස්සේ තමයි රොෂාන්ව තෝරගත්තේ. අල්තිනායිගේ චරිතයට කිහිප දෙනෙක්ම හිතේ මැවුණා. මම කතා බහ කළා. නමුත් අවසානයේ කල්පනී ජයසිංහව තෝරා ගත්තා. ඒ පරිසරය ලේසියෙන් කෙනෙකුට යන්න එන්න පුළුවන්කමක් නැහැ. රඟපාන්න යන්න පොරොන්දු වෙලා ගිය අය මඟදි හැරිලා ආවා. ඒ සීතල පරිසරයේ ඉන්න බැහැ කියලා. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 800 සිට අඩි 1100ක් විතර උස් බිමක අපි රූගත කිරීම් කළේ. මේ තරම් උස් බිමක චිත්‍රපටයක් රූගත කරලා නෑ මීට පෙර. 2012 වසරේ සිට වරින් වර රූගත කිරීම් කරනවා ආයේ නතර වෙනවා. ඔක්සිජන් අඩුකම, අධික සීතල නිසා මේ ප්‍රදේශයේ ඉන්න අමාරුයි. අවසානයේ අපි මාස එකහමාරක් ඒ අභියෝග ජය ගනිමින් චිත්‍රපටය රූගත කළා. මෙය හුදකලා ගමක්. මේ ගමේ ඩොන් කියලා දාමරිකයෙක් හිටියා. ඔහුගෙන් අපට නම් කිසිම අවැඩක් වුණේ නැහැ. ඔහු දාමරියෙක් වුණාට ඉතා හොඳ මනුස්සයෙක්. මාස එකහමාරක් පමණ නේපාලයේ හිමාලයේ අන්තපුර්නවල නතර වෙලා රූගතකිරීම් කරලා යළි එන්න පිටත් වෙනකොට ඒ හෝටලයට මුදල් ගෙවන්න අපේ අතේ ඔවුන්ගේ මුදල් තිබුණෙ නෑ. ඔවුන් ඩොලර්වලින් ගන්නේ නැහැ. අපි ගාව තිබුණේ ඩොලර්. අවසානයේ ඔවුන්ගෙ මුදල් වලින් එක්ලක්ෂ හතළිස් පන්දාහක් ගෙවන්න තිබුණා. ඒ වෙලාවේ අර ඩොන් තමයි මට මුදල් දුන්නේ. අපි ගමෙන් එන දවසේ ඔහුත් අප සමඟ ආවා. මම කත්මණ්ඩු ගිහින් මුදල් මාරු කරගෙන යළිත් මඟට ගිහින් ඔහුට මුදල් දුන්නා.
චිත්‍රපටය රූගත කරන්න ගිය ගමනම මාර අත්දෑකීමක්. බුරුවන්ගේ පිටේ බඩු පටවලා අපි ඒ මුළු දුරම ගියේ පයින්. දවසකට කිලෝ මීටර් අටක් දහයක් පමණ යනවා. අතර මඟ තැනක නතර වෙනවා. සවස හතර විතර වෙන කොට වෘක්කයෝ එනවා. කාමරයේ ජනේලය ළඟටම වෘක්කයෝ එනවා. ඒ වගේම තමයි හවස් වෙනකොට වතුර මිදෙනවා. මුල් දවස්වල අපිත් එක්ක ගිය කෝකියා අසනීප වුණා. ඔහු ආයෙත් හැරිලා ආවා. ඉන් පස්සේ මම උදේ පාන්දර නැඟිටලා අපේ කණ්ඩායමට උයනවා. රෑට රොෂාන් කට්ටියත් එක්ක එකතුවෙලා උයනවා. රොෂාන් රවීන්ද්‍රට හොඳට උයන්න පුළුවන්. දවසකට හිමකුණාටු. අපි එහෙට මෙහෙට ගියේ හිම මතින්. නොයෙක් හිරිහැර මධ්‍යයේ අපි මේ රූගත කිරීම් කළේ. රොෂාන් චිත්‍රපටය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා. ගමේ අය අපට රංගනයෙන් උදව් කළා. ඔවුනුත් චිත්‍රපටයේ රඟපෑවා . දවසට ඔවුන්ට රුපියල් 500 ගෙව්වා. ඒ අධික හිම වැටෙන කාලයක්. ඒ නිසා ඔවුන් ඒ කාලය නිකන් ඉන්නේ . ඒ නිසා අපට ඔවුන්ගෙන් හොඳ සහායක් ලැබුණා. අපි එන දවසේ ඔවුන් හරියට දුක් වුණා. ඇතැමුන්ගේ ඇස්වලින් කඳුළු වැටුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අරෝෂ ප්‍රනාන්දු. “
උපාලිගේ හිතේ තිබු සිහිනය සැබෑවීමට ඔහු අපමණ වෙහෙසක් දරා ඇත. අධික සීතල උසුලා ගන්නට බැරිව නළු නිළි කණ්ඩායම නොයෙක් ගැහැටවලට මුහුණ දුන්හ. ඒ නන්නාඳුන දේශයේ ඔහුත් සිනමා නළු නිළි කණ්ඩායමත් සෙසු අයත් සමඟ අපමණ දුක් ගැහැට විඳිමින් අපූරු නිර්මාණයක් මෙරට සිනමා ලෝලින්ට පමණක් නොව ලෝක සිනමාවට දායාද කරන්නට ගත් උත්සාහ අවසානයේ සාර්ථක විය.
බොහෝ දුක් ගැහැට විඳිමින් 2015 වසර වන විට සිනමා නිර්මාණය සම්පූර්ණයෙන්ම රූගත කර අවසන් කිරීමට උපාලිට හැකි විය.
දෙදහස් පහළොව වසරේ සිටම ඔහු තම නිර්මාණය මෙරට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා කරගන්නට අපමණ වෙහෙසක් දැරීය. නමුදු ඊට අවස්ථාව උදා වූයේ 2024 වසරේ අවසන් භාගයේදීය.
“මට මේ චිත්‍රපටය පෙන්වන්න මේ අවුරුද්දේ අවසානය දක්වාම ඉඩක් හදා ගන්න බැරි වුණා. මේ වන විට ගුරුගීතය චිත්‍රපටය විදෙස් සම්මාන දොළහකට වඩා ලබලා තියෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න ලක්ෂ දොළහකට වඩා වියදම ගිහින් තියෙනවා. අදටත් මම නළුවන්ට සම්පූර්ණ මුදල් ගෙවලා නැහැ. මම ඔවුන්ට කිව්වා චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පසු මුදල් ගෙවන්නම් කියා. රොෂාන් මේ වන තුරු මගෙන් මුදල් ගැන විමසලා නැහැ. රොෂාන් කිව්වේ සල්ලිවලට වඩා ඔහු මේ නිර්මාණයට කැමැතියි කියලා. මගේ නළු නිළි කණ්ඩායම මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. චිත්‍රපටයට ගීතය ලිව්වේ නුවන් ජූඩ් ලියනගේ. එය ගැයූවේ කිත්සිරි ජයසේකර. සංගීතවත් කළේ ලෙලුම් රත්නායක. නමුත් මේ කිසිම කෙනෙක් මේ වෙනුවෙන් මුදල් ඉල්ලලා නෑ. ඔවුන් ඒ ගැන කතා කරන්නෙවත් නෑ. නුවන් මේ ගීතය කලින් ලියලා තිබුණ එකක්. නමුත් එය මගේ නිර්මාණයට හොඳටම ගැළපුණා. නුවන් මට කිව්වේ උපාලි ගම්ලත් කියන පුද්ගලයාට උදව් කළා නෙමෙයි ගුරු ගීතයට තියෙන ආදරය නිසා මේ ගීතය දුන්නා කියලා.
අද වන විට බොහෝ අය මගේ නිර්මාණය ගැන කතා කරනවා. දේශපාලන වශයෙන් වගේම බොහෝ තැන්වලදි මේ නිර්මාණයත් මමත් කැපිලිවලට හසු වුණා. නමුත් මට ඒ මොන කැපිලි කෙටිලි ආවත් නිර්මාණය අතහරින්න හිතුණේ නැහැ. ඒ තරමට මම නිර්මාණයට ආදරෙයි. අද වන විට මෙහි ඇතැම් නළු නිළියෝ මිය ගිහින්. ඒ ගාමිණි හෙට්ටිආරච්චි හා හයිසින්ත් විජේරත්න. අයිරාංගනී සේරසිංහ මහත්මියත් මෙහි රඟපෑවා. ඒ කොටස් අපි රූගත කළේ ලංකාවෙදි. “
උපාලි පවසන්නේ ගුරුගීතය මෙරට ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එන්න හැකිවීමේ සතුටිනි.
“මේ චිත්‍රපටය රූගත කිරීමම මට ලොකු අත්දැකීමක්. ඒ පරිසරය සොයා යෑමේ සිටම ලැබු අත්දැකීම මට හොඳ පාඩමක්. අද මට හිතෙනවා මම මේ පොතට සාධාරණයක් ඉටු කළා කියලා. කවදාවත් මම පොතට අසාධාරණයක් කරන්න හිතුවේ නැහැ. මම එහෙම අසාධාරණයක් කරලා තියෙනවද කියලා තීරණය කරන්න පුළුවන් මෙය නරඹන රසිකයන්ට පමණයි. ඒ වගේම මම මේ චිත්‍රපටය වෙනුවෙන් මා සමඟ කැපවීමෙන්, අපමණ දුක්ගැහැට විඳගෙන කටයුතු කළ සියලුම දෙනාව ආදරයෙන් සිහිපත් කරනවා.“
ශීත කාලය පැමිණේවි
තද ශිත කුණාටු හමාවී
හිම කැටි සහිත
මහ නපුරු සුළි සුළං හමාවී
එහෙත් වසන්තය එනවා සත්තයි….“
එන්න ගුරුගීතය විඳින්න