– මං නිතරම උත්සාහ කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න
– මාලදිවයින් සිනමාව අපේ තරම්ම දියුණු තත්ත්වයක නැතත් ඔවුන් සතුව හොඳ නිර්මාණ ප්‍රභවයන් තියෙනවා
හොඳම නළුවා හෝ නිළිය ලෙසින් සම්මානිත වන්නට සෘජුවම බලපාන්නේ අදාළ නළුවා හෝ නිළිය රඟන භූමිකාවයි. එහිදී ඔහුගේ හෝ ඇයගේ හැකියාව ප්‍රධානම සාධකය බව කිසිදු තර්කයකින් තොරව පිළිගත යුතුය. එහෙත් අදාළ භූමිකාව තාත්විකව ගොඩනැඟීමේදී සුවිශේෂී වන්නේ වේශ නිරූපණ ශිල්පියා බව අමතක නොකළ යුතුය. අදාළ වයසට සරිලන බාහිර පෙනුම මෙන්ම සුවිශේෂී දේහ ලක්ෂණ පිළිබිඹු කරන්නට ඔහු බොහෝ සේ වෙහෙස වෙයි. අද අප හා එක්වන ඔහු ද වේශ නිරූපණයේ නම් දැරූවෙකි. නම ඇසූ පමණින් ඕනෑම අයකු හඳුනන ඔහු සම්මාන රැසකින් පිදුම් ලැබූ මිනිගංදෑල, තාධි වැනි ටෙලි නිර්මාණයන්හි වේශ නිරූපණ ශිල්පියා ලෙස කටයුතු කළ තරිඳු ඩී. පතිරත්නය.
තරිඳු ඩී. පතිරත්න කියන්නේ පසුගියදා මාලදිවයින් සිනමාව හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තරය ස්පර්ශ කළ කලාකරුවෙක්. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?
ඒක මට ලැබුණු මහඟු අවස්ථාවක්. මාලදිවයින් සිනමාව අපේ තරම්ම දියුණු තත්ත්වයක නැතත් ඔවුන් සතුව හොඳ නිර්මාණ ප්‍රභවයන් තියෙනවා. ඒ වගේම තාක්ෂණයත් ඉහළයි. නිර්මාණකරුවොත් ඉන්නවා. ඔවුන්ට අඩු එකම දේ තාක්ෂණය පාවිච්චි කිරීමේ දැනුම නැති එක විතරයි. මුදල් කියන්නෙත් ඔවුන්ට සාමාන්‍ය දෙයක්. ටෙලි නාට්‍යවලටත් වඩා ඔවුන් කැමති සිනමාවට. දැන් ඔවුන් තේරුම් අරන් ඉන්නවා ඔවුන්ට තියෙන එකම අඩුපාඩුව තාක්ෂණ දැනුම නැතිකම බව. ඒ දැනුම වෙනත් රටවලින් අරන් සිනමා කර්මාන්තය දියුණු කරන්න දැන් ඔවුන් කටයුතු කරගෙන යනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මට මේ ආරාධනාව ලැබෙන්නේ.
විදෙස් රටකදි ලබපු ඒ අත්දැකීම ගැන කතා කළොත්?
මොහොමඩ් හිල්මි කියන මාලදිවයින් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ LAMHA කියන සිනමා නිර්මාණයේ වේශ නිරූපණ ශිල්පියා විදිහට කටයුතු කරන්න මට ආරාධනා ලැබුණා. ඔවුන් බොහෝදුරට විශ්වාස කරන්නේ ඉන්දීය සිනමා කර්මාන්තය. අපේ රටේ දක්ෂයන් ඉන්නවා කියන එක ඔවුන් දන්නෙ නැහැ. කැමරා ශිල්පියා වගේම වේශ නිරූපණ ශිල්පියාත් ඉන්දියාවෙන් ගන්න ඔහු අදහස් කරගෙන හිටියත් ඉන්දීය වේශ නිරූපණ ශිල්පියා ගැන ඔහු තෘප්තිමත් වෙලා නැහැ. ඊට පස්සෙයි ලංකාවට ඇවිත් තියෙන්නේ. කලිනුත් ඔහු ලංකාවට ඇවිත් තිබුණා. සෝෂල් මීඩියා හරහා මගේ හැකියාව ඔහු අධ්‍යයනය කරල තිබුණත් ඔහු මට හමුවෙන්නේ මගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙන්. ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා ඔහු මාව තෝරගත්තා.
එතැනදි මට ලොකුම අභියෝගය වුණේ ඔවුන්ගේ භාෂාව. මං සිනමාව දැනන් හිටියට, සිනමාවේ හැඟීම් දැනන් හිටියට ඔවුන්ගේ භාෂාව දන්නෙ නෑ. මුලින්ම මං ඔහුට කිව්වේ පිටපත ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්න කියලා. ඊට පස්සේ සීන් එකෙන් සීන් එකට මං පැහැදිලි කර ගත්තා. ඊටත් පස්සෙ තමයි මං මාලදිවයිනට ගියේ. අපි දවස් 36ක් ෂූට් කළා. මාලේ වගේම තවත් දුපතක ෂූටිං කළා. ඔවුන් වැඩේට ගොඩක් තෘප්තිමත්. මගේ දැනුම ඔවුන් ගත්තා. එතැනදි මං නිතරම උත්සාහ කළේ තනි පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්නෙ නැතුව ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. ඊළඟ අවස්ථාවත් අපේ කෙනෙකුට ලබාදෙන්නයි මට ඕන කළේ.
විදෙස් නිර්මාණයකට රංගනයෙන් දායක වීම සාමාන්‍ය දෙයක් වුණත් වේශ නිරූපණය වගේ දෙයක් අභියෝගයක් නේද?
ඇත්තටම ඔව්. ඔවුන් මීට කලින් උත්සාහ කරල තිබුණත් සාර්ථක වෙලා නෑ. එතැනදි තමයි ඔවුන් තීරණය කරල තියෙන්නෙ ඔවුන්ට අඩු දැනුම විදෙස් රටවලින් ගන්න. ඒ අතින් ශ්‍රී ලංකාව හැම අංශයකින්ම කොතරම් ඉහළ මට්ටමක ඉන්නවද කියන එක මට හොඳටම තේරුණා. ඔවුන් මට ආරාධනා කළා එහේ ඇකඩමියකට සම්බන්ධ වෙලා උගන්වන්න කියලා. මාත් ඔවුන්ට ආරාධනාවක් කළා අපේ රටට ඇවිත් අපේ නිර්මාණයක් කරමු කියලා. ඔවුන් කැමැති වුණා. ප්‍රඩක්ෂන් එකයි අධ්‍යක්ෂකයි ඇරුණම අනිත් හැම අංශයක්ම අපේ. 2025 වසරේ ඔවුන්ගේ ටයිම් ලයින් එකේ ඉහළින්ම තියෙන්නේ මේ වැඩේ.
තරිඳු පාසල් කාලේ රංගනය පැත්තට දස්කම් පෑවැ කියලයි ආරංචිය?
මං ඉපදුණේ නුවරඑළියේ. අධ්‍යාපනය හැදෑරුවේ නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ. මුලින්ම සංගීත විෂය හැදෑරුවත් නාට්‍ය හා රංග කලාව විෂය ආවට පස්සේ ඒක තෝරගත්තා. 2009 වසරේ සමස්ත ලංකා හොඳම නළුවා බවටත් පත්වුණා. නාට්‍ය හා රංග කලාවට කොතරම් ආස වුණාද කිවුවොත් උසස් පෙළ නොකර මීගමුවේ වීදි නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වෙන්නත් ආවා. තාත්තා ඇවිත් ආයෙම මාව එක්ක ගියේ ඉගෙන ගෙන ඉවර වෙලා ඕන දෙයක් කරගන්න කියලා. උසස් පෙළට ඩ්‍රාමා කරලා කැම්පස් වගේම විද්‍යා පීඨයට යන්නත් සුදුසුකම් තියෙද්දි මං ටවර් හෝල් පදනමට සම්බන්ධ වුණා. එහි ඩිප්ලෝමාව කරලා ඉහළම ලකුණු ලබාගෙන විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනවේදී උපාධිය හැදෑරුවා.
එතකොට තරිඳු වේශ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ කොහොමද?
ජයන්තා රණවක සර්ගේ හමුවීම තමයි වේශ නිරූපණය පැත්තට යොමුවෙන්න හේතු වුණේ. ඔහු ජුරාසික් පාර්ක් ෆිල්ම් එකෙත් වැඩ කරපු කෙනෙක්. වේශ නිරූපණ ශිල්පය වෘත්තියක් බවට පත්කරලා එයට වටිනාකමක් දෙන්න පුරෝගාමී වුණේ ඔහු.
නිර්මාණයක් තුළ වේශ නිරූපණ ශිල්පියෙකුට තියෙන වගකීම මොන වගේද?
ඇත්තම කිවුවොත් මේක මනාලියෙක් හැඩ ගැන්වීම වගේ වැඩක් නෙවෙයි. දවසින් දවස අලුත් වෙන ක්ෂේත්‍රයක්. නිර්මාණයේ පිටපතට ගැළපෙන විදිහට, ඒ කාලයට ගැළපෙන විදිහට වගේම චරිත ස්වභාවයට ගැළපෙන විදිහට අපි ඒ චරිතවලට ජීවය දෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවා සැලකිලිමත් වෙන්න ඕන. සමහරුන්ට සමේ ආසාදන තියෙනවා. ඒ වගේ අවස්ථාවල නිවැරැදිව ක්‍රියාකරන්නත් අපි දැනුම්වත් වෙලා ඉන්න ඕන. ඇත්තම කිවුවොත් මේක තියරිය විතරක් දැනගෙන කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ප්‍රැක්ටිකල් පැත්ත විතරක් දැනගෙන කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒ දෙකම එකතු වෙන්න ඕන තැනක්.
නාමලී ගමගේ