ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමනල සංධ්වනිය’, ‘ඝරසරප’ හා ‘මිදුණු විශ්වය’ යන සිනමාපට ත්‍රයම සැලකිය හැක්කේ සාක්ෂාත් කර ගත නොහැකි ප්‍රේම අපේක්ෂා අපූරු හා නව්‍ය ආකාර සහිතව නිරූපිත මතකයෙන් ගිලිහී නොයන සිනමාපට වශයෙන්ය. මේවායේ එන පෙම් සබඳතා සුලබ ලකුණු බැහැර කරන්නේ සදාචාරාත්මක සීමා පිළිබඳ කතිකා පොහොසත් කරලීමේ අරමුණු සහිතවය. ‘මිදුණු විශ්වය’ හි එන්නේ වසර ගණනාවකට පෙරාතුව මියැදුණු ජනාදරප්‍රාප්ත සිනමා නිළියක හා වත්මනෙහි දිවි ගෙවන රූපණ ගුරුවරයකු අතර ගොඩ නැඟෙන හෘදයාංගම පෙම් සබඳතාවක්. ‘ඝරසරප’හි එන්නේ ගැටවර වියේදී මඟ හැරුණු පෙම් යුවළක් මැදිවියද ඉක්මවමින් සිටින සමයක සම්මුඛ වීමෙන් ප්‍රකට වන ශෝකය මුසු ආහ්ලාදයක්. ‘සමනල සංධ්වනිය’ හි එන්නේ ගැටවරයකුගේ සිත වැඩිහිටි කතක අරබයා ඇතිවූ අනුරාගී හැඟීමක පෘථුල බවකි.
මේ ගැටවරයාගේ සුවිශේෂ චරිතය නිරූපණය කරමින් සිනමා රූපණයට එක්වූ සූර්යා දයාරුවන් වත්මනෙහි ගායන ශිල්පියකු වශයෙන්ද කැපී පෙනෙනවා. වෙසෙසින්ම තුරුණු ගීත ලෝලීන් අතර සූර්යා ගැයූ ගී සංසරණය වන්නේ බාධාවකින් තොරව. ඔහුගේ ළගන්නා සුලු හඬත්, ඊට මුසු කරන අලංකාරයත් ඉදිරියේදී විචාරක අවධානයට නියත වශයෙන්ම ලක් වනු ඇති. ‘සමනල සංධ්වනිය’ ඉක්මවූ සිනමා රූපණ අවස්ථා අනතුරුව ඔහු වෙත නොලැබීම සම්බන්ධයෙන් අපට ඇත්තේ යම් කනගාටුවක්. ඔහුට සුදුසු චරිත නොමැතිවීම යන හේතුවද ඇවැසි නම් මෙතැනදී ඉදිරිපත් කරන්නට පුළුවන්.
කෙසේ නමුත් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සිය නවතම සිනමාපටය වන ‘ගෞතම බුද්ධ මාතා’ හි සැලකිය යුතු චරිතයක් නිරූපණය සඳහා සූර්යා වෙත අවස්ථාව ලබා දෙනවා. සිනමාපටයේ නිරූපණය වන්නේ බුද්ධ චරිතයේ එන ප්රමුඛ පාර්ශ්වයක්. මහාමායා දේවියගේ වියෝවෙන් අනතුරුව සිදුහත් කුමරු රැක බලා ගත් මහා ප්‍රජාපති දේවිය පිළිබඳ පුළුල් කියැවීමක් ඉස්මතු කිරීමයි සිනමාකරුගේ අරමුණ සේ දත හැක්කේ. රජ සමය, බුදු සමය හා ඊටත් පෙර සමය විෂය කොට ගැනීමට ඔහු දක්වන මනාපයේ තවත් කැපී පෙනෙන අවස්ථාවක් වශයෙන් මේ සිනමාපටය හඳුනා ගැනීම අපහසු නැහැ. විචාරක සාතිශය බහුතරය නම් ඔහුගේ මේ පිළිවෙත නිර්දය අන්දමින් ප්‍රශ්න කරන බව සත්‍යයක්. එනමුදු සිරිලක සිනමාපට නරඹනු පිණිස නව ප්‍රේක්ෂක කණ්ඩායම් රැගෙන ඒම යන සාධකය ඔහුගේ මෙම සිනමා භාවිතය වෙතින් දැක ගත හැකි වනවා.
සූර්යා ‘ගෞතම බුද්ධ මාතා’ හි නිරූපණය කරන්නේ ඡන්න ඇමැතිගේ චරිතය. බුද්ධ චරිතය පිළිබඳ මඳ අවබෝධයක් ඇත්තකුට වුව ඡන්න ඇමැති ආගන්තුක චරිතයක් වන්නේ නැහැ. සිදුහත් කුමරු ලෝ වැස්සන් දුකින් මුදවා ගැනීමේ සැබෑ විමුක්ති මඟ අවබෝධ කර ගැනීමේ උතුම් පැතුම සමඟ සුවදායී කුමාර දිවිය හැර දා යන්නේ ඡන්න ඇමැති සමඟ. මේ අනුව ඡන්න ඇමැති යනු නිරනුමානවම සිදුහත් කුමරුගේ සමීපතමයා වනවා.
ඡන්න ඇමැතිගේ මේ සුවිශේෂත්වය මැනවින් වටහා ගැනීමේ වෑයමක සූර්යා නිරත වන්නේ වසර කිහිපයක් තිස්සේ සඟවා ගෙන සිටි රූපණ සමත්කම් එකිනෙක ගෙන හැර පාමින්. සිනමාපටයේ එන චරිත සංඛ්‍යාව ඉමහත්. ඡන්න ඇමැති කිසිසේත්ම ප්රමුඛ චරිතයක් සේ පෙරට එන්නේද නැහැ. එසේම සිදුහත් කුමරුගේ චරිතය නිරූපණය කරන භාරත නළු සමඟ සූර්යා ඇති කර ගන්නා එකඟතාවද සිනමාපටයෙන් දැක ගන්නට පුළුවන්. බුදු සමය නිරූපණයේදී අදාළ ඉතිහාසගත තතු සේම උපකල්පනද වැදගත් වනවා. අතීතය නිරූපණයට එන ඕනෑම නිර්මාණකරුවකු මෙය බැහැර කරන්නේ නැහැ. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නද නොවලහා ඉතිහාසගත තතුද, උපකල්පනද ඉවහල් කර ගන්නේ සිනමාපටය යම් විචිත්‍ර තලයක රඳවමින්. මෙහිලා රූපණයෙන් වැදගත් දායකත්වයක් ඔහු අපේක්ෂා කරනවා. භාරත නළු නිළි පිරිසක් ප්‍රධාන චරිත සේම අවශේෂ චරිතද නිරූපණය කරන පසුබිමක ඔහුගේ මෙම අපේක්ෂා අභියෝගාත්මක වන බව පැහැදිලියි. කෙසේ වුවද සූර්යා ඇතුළු සිරිලක නළු නිළි කැලද ඔහු වෙත ලබා දෙන සහාය කැපී පෙනෙනවා.
සූර්යා ගායන ශිල්පියකු සේ නව මාධ්‍ය අවකාශය මැනවින් උපයෝගී කර ගැනීමේ පලයක් වන්නේ සිනමා රූපණයෙන් දුරස් වීමේ ඉරණමට ගොදුරු වීම. ප්‍රසංග වේදිකා හෝ මියුසික් වීඩියෝ ඔස්සේ දුර ගමනක් යන මෙබඳු තරුණයකුට සිනමා රූපණයෙහි නියැළීම අභියෝගයක් වන්නටද පුළුවන්. සැබැවින්ම සූර්යා දැන් රැඳී සිටින්නේ දෙමංසලක. තෝරා ගත යුත්තේ ගායන දිවියද, නොඑසේනම් සිනමා රූපණ දිවියද යන උභතෝකෝටිකය ඔහු අබියස දැනටමත් තිබෙන බවයි පෙනී යන්නේ.
තුසිත ජයසුන්දර