– 2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියානි ඒකනායකගේ සිටුවර පුවත
– කතාවේ හරයට වෙනසක් නොවන විදිහට කතාවට යම් යම් දේ එකතු කළා
– වැඩවසම් ක්‍රමය නැතිවේගෙන යන වලව්වක් කියන එක කතාවෙම තිබුණු නිසා ඒ නම වෙනස් කරන්න අපි කාටවත් ඕන වුණේ නැහැ
මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන චමිල් පතිරණගේ ‘සිටුවර පුවත’ ටෙලි නිර්මාණය සාමාන්‍ය ටෙලි රැල්ලෙන් මිදී උඩුගංබලා පිහිනන්නට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකිය. එහි කතා සංදර්භය ප්‍රේක්ෂකයා වෙනස් මානයකට රැගෙන යෑමට සමත් වී ඇත. නවකතාවක්, ටෙලි නිර්මාණයක් බවට පත්කිරීම ප්‍රබල අභියෝගයක් බවට කිසිදු තර්කයක් නැත. සම්මානිත නවකතාවක් තෝරා ගැනීම ඊටත් වඩා වගකීමකි. 2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරින් නිර්මාණය වුණු සිටුවර පුවත සාර්ථක ටෙලි නිර්මාණයක් වීම චමිල් ඇතුළු පිරිස ලැබූ ලොකු ජයග්‍රහණයකි. පාඨකයාට කිසිදු හානියක් නොකර එය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමේ අභියෝගය ජයගත් චමිල් අප හා කතාබහට එක්වීය.
සිටුවර පුවත කියන්නේ සම්මානිත නවකතාවක්. නවකතාවක් රූප මාධ්‍යයට ගෙන ඒම ලොකු අභියෝගයක් කියල හිතුණෙ නැද්ද?
ඇත්තම කිවුවොත් චකිතයක් නොතිබුණාම නෙවෙයි. ඇක්ෂන් ශානරයේ රැල්ලට හසුවෙලා හිටිය ප්‍රේක්ෂකයා වෙනත් මානයකට ගෙනියන්න මටත් ඕන කළා. සිටුවර පුවත කියන්නේ 2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියාණි ඒකනායකගේ නවකතාව. නවකතාව කියවලා තියෙන පාඨකයාට හානියක් නොවන විදිහට මෙහි එන චරිත ගෙන ඒම තමයි ලොකුම අභියෝගය වුණේ. ඒ වගේම කතාවේ හරයට කිසිදු හානියක් නොවෙන විදිහට යම් යම් දේ එකතු කරන්නත් අපි උත්සාහ කළා. මං හිතනවා අපි ඒ අභියෝගය ජයගත්තා කියලා.
සිටුවර පුවත නිර්මාණය සඳහා ඔබව තෝරාගැනීම ගැන කතා කළොත්?
නවකතාවේ ලේඛිකා රූපා ශ්‍රියාණි, චාලක රණසූරිය හා දිලූපා ද අල්විස් කියන තිදෙනාගේම අදහසට අනුව ඩිවලොප් කරලා ටෙලි පිටපතක් බවට පත්කළේ චාලක රණසූරිය. නිෂ්පාදනය චන්දන ලියනගුණවර්ධන. චන්දන කියන්නේ නවකතාවලට ගොඩක් ආස කෙනෙක්. ඔහු රූපා ශ්රියාණිගෙන් මේ නවකතාව ඉල්ලගන්න හේතුවත් ඒක. මේක මගේ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණය. මුලින්ම මං කළේ කලම්බු කියලා ඇක්ෂන් ශානරයේ ටෙලි නිර්මාණයක්. ඒ රැල්ලට ප්‍රේක්ෂකයන් හුරුවෙලා හිටිය නිසා මට දිගටම ආරාධනා ලැබුණේ ඒ වගේ ඒවට. මං ගොඩක් මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් කරලා තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුණු විෂුවල් බියුටි පැත්ත මා තුළින් දැකලා තිබුණ නිසා මේ නිර්මාණය සඳහා මට ආරාධනා ලැබුණා. මගේ කැමැත්ත තිබුණෙත් මේ වගේ ආදරණීය නිර්මාණයක් කරන්න.
සිටුවර පුවත ටෙලි තිරයට ගෙන ඒමේදී සිදුවුණු වෙනස්කම් ගැන කතා කළොත්?
සිටුවර පුවත නවකතාව තුළ විවිධ සමාජ මට්ටම්වල, විවිධ තරාතිරම්වල ආදරය ලැබීම, නොලැබීම, පරිත්‍යාගය වගේ දේවල් ගැන පොදුවේ ලියවිලා තිබුණා. අපිට ඕන වුණා ඒකට තව යමක් එකතු කරන්න. විවිධ පන්ති අතර තියෙන ආදරය පෙන්වන්න අපි නවකතාවේ නැති චරිතයක් විදිහට ගජධීරව ගෙනාවා. උදාරි වර්ණකුලසූරිය, රොෂාන් රවීන්ද්‍ර, මනෝජා ප්‍රනාන්දු, විශ්වජිත් කරුණාරත්න, මීනා කුමාරි, ජනක් ප්‍රේමලාල්, පූජන දන්දෙණිය වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මිනිස්සු කතාව කියවලා විවිධ රූප මවාගෙන හිටපු නිසා මට ඕන කළා පවර්ෆුල් චරිත ටිකක් එකතු කරන්න. ඒවගේම බජට් එක ගැන නොසිතා සාමාන්‍ය ටෙලි නිර්මාණයකට එහා ගිය විෂුවල් බියුටියක් ගේන්න නිෂ්පාදකවරයාත් එකඟ වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් මේකෙ එක තැනක තියෙනවා පණ්ඩුල අංශභාග රෝගියෙක් වෙලා රෝද පුටුවක ඉන්නවා. ඔහුගේ සමාජ පන්තියට හරියන්න ලක්ෂ පහක් දීලා ඔස්ට්‍රේලියාවෙන් ඉලෙක්ට්‍රික් රෝද පුටුවක් ගෙන්වන්න ඔහු කටයුතු කළා. මෙතැනදී අපි කිසිම විටෙක නවකතාවේ චරිතවල ගති පැවතුම් වෙනස් කරන්න ගියේ නෑ. ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න සහ ඒවට ඔවුන් මුහුණදෙන විදිහ විතරයි වෙනස් කළේ. චරිතවල මනෝභාවයන්ට කිසිදු හානියක් කළේ නෑ.
නවකතාවේ යම් යම් දේ වෙනස් කරලා අලුතින් චරිත එකතු කරද්දී ලේඛිකාවගෙන් ලැබුණු ප්‍රතිචාරය මොනවගේද?
ඇය මේ දේවල් කොහොම පිළිගනීවි ද කියන ගැටලුව මුලදී අපිටත් තිබුණා. ඒ නිසාම මුල් කොටස් 15 කරලා අපි ඇයව ගෙන්වලා පෙන්නුවා. ඇය මනසේ මවාගත් චරිත උදාරි, රොෂාන් වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් හරහා රූප මාධ්‍යයට ගෙනාපු විදිහ දැකලා ඇය ගොඩක් සතුටු වුණා. ඇය ඒ වෙනස ගොඩක් සතුටින් අගය කළා. දැනට කොටස් 20ක් විතර විකාශය වෙලා තියෙනවා. මේ වෙද්දි සියලුම කොටස් රූගත කරලා ඉවරවෙලා සංස්කරණ මට්ටමේ තියෙන්නෙ. සහාය අධ්‍යක්ෂණයෙන් චමින්ද උඩුවෙල, කලා අධ්යක්ෂ/ඇඳුම් නිර්මාණයෙන් චන්දන ගාල්ලගේ සංගීතයෙන් චින්තක ජයකොඩි ගීත ගායනයෙන් සමන්ත පෙරේරා වගේම කැමරා අධ්‍යක්ෂණයෙන් සිසිකිරණ පරණවිතාන, වේශ නිරූපණයෙන් වසන්ත පූර්ණවංශ ලබාදුන් සහයෝගය අමතක කරන්න බෑ. ඉංග්‍රීසි ටයිට්ල් එකෙන් යන එකම තේමා ගීතය මේක වෙන්න ඕන. ඒකත් විශේෂයි.
නවකතාවේ නමම ටෙලි නිර්මාණයට යොදාගැනීම ගැන මොකද හිතෙන්නේ?
වැඩවසම් ක්‍රමය නැතිවේගෙන යන වලව්වක් කියන එක කතාවෙම තිබුණු නිසා ඒ නම වෙනස් කරන්න අපි කාටවත් ඕන වුණේ නැහැ. ඒ නමට කවුරුත් කැමැති වුණ නිසා අපි ඒකම දැම්මා.
චමිල් පතිරණ කියන නම බොහෝවිට දැක්කේ මියුසික් වීඩියෝ කලාවේ?
ඔව්. මං ෆීල්ඩ් එකට එන්නේ 3D ඇනිමේෂන් සහ විෂුවල් ඉෆෙක්ට් කියන විෂයය හරහා. 2009 වසරේ තමයි මං මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණේ. තාල රූප ප්‍රඩක්ෂන් හරහා සම්මාන 15ක් විතර දිනාගෙන තියෙනවා. මේ වෙද්දි ටෙලි නිර්මාණ දෙකක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඉදිරියේ දී සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නාමලී ගමගේ