Home » 2000 පසු කළ පළමුවැන්නා කුසල් බලය පතුරවයි

2000 පසු කළ පළමුවැන්නා කුසල් බලය පතුරවයි

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකා කණ්ඩායමකට නවසීලන්තයේදී විස්සයි20 ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් අත් කරගැනීමේ සිහිනය සැබෑ කරගැනීම තවත් පස්සට තල්ලු කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේ තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරමිනි. පළමු විස්සයි20 තරග දෙකම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි තරගය ජයග්‍රහණය කරගැනීමට හැකියාව ලැබුණේ පළමු තරග දෙකේදී පෙන්වූ මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වලතා අවසන් මොහොතේ හෝ මඟහරවාගැනීමට සමත් වූ නිසාය.

විශේෂයෙන්ම ලකුණු 7කින් ශ්‍රී ලංකා පිල ජය ගත් අවසන් විස්සයි20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා සහ නායක චරිත් අසලංක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තැබූ ලකුණු 100ක වාර්තාගත සබඳතාව නිසාම ජයග්‍රහණයට මාවත හෙළි වූ බව කිව යුතුය. පළමු කඩුල්ල ලෙස නිශ්ශංක දැවීයෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ 3වැනි පන්දුවාරයේ 5වැනි පන්දුවේ සිට 19වැනි පන්දුවාරයේ 4වැනි පන්දුව දක්වා කඩුල්ලේ රැඳී සිටිමින් මංගල විස්සයි20 ශතකය රැස් කළ කුසල් පෙරේරා තම 77වැනි විස්සයි20 අන්තර්ජාතික තරගයේදී ලකුණු 2000 සීමාව පසු කළේ ඒ දස්කම කළ ප්‍රථම ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වෙමිනි.

මේ පෞද්ගලික ජය කණුව පසු කළා පමණක් නොව, ඒ හරහා ඔහු මුල-මැද-අග දක්වාම ශ්‍රී ලංකා පිතිකරණය ශක්තිමත් කරමින් පන්දු 44කදී ලකුණු 100 සම්පූර්ණ කිරීමත්, නායක අසලංක පන්දු 24කදී ලකුණු 46ක් ගැනීමත් අවසන් මෙහොතේ හෝ ඇප බේරාගත් ජයග්‍රහණයට හේතු පාදක විය. තරගාවලිය පුරා ගත් කල අවසන් මෙහොතේ කුසල් ජනිත් රැස් කළ ශතකය හැරුණ විට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් එක් අර්ධ ශතකයක් පමණක් (නිශ්ශංක 2වැනි තරගයේදී හිමි කරගත් ලකුණු 90) වාර්තා වීමම මැද පෙළෙහි දියාරු බවට හොඳම සාක්ෂියකි.

අවසන් මොහොතේ පන්දුව අතට ගත් ශ්‍රී ලංකා නායක අසලංක නවසීලන්ත කඩුලු 3ක්ම දවාගැනීමත් ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ අතර අසලංකගේ මේ තරම් දක්ෂ දඟ පන්දුව තරගාවලිය පරාජය වන තුරුම සඟවාගෙන සිටියේ ඇයිද යන්න නායකයාගෙන් මෙන්ම පුහුණුකරුවාගෙන්ද ඇසිය යුතු ප්‍රශ්නයකි. කෙසේ වෙතත් තරග 3දීම ලකුණු 149ක් රැස් කළ කුසල් ජනිත් පිත්කරුවන් අතර පෙරමුණ ගනිමින් 3වැනි තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර, තරග තුනේදීම කඩුලු 8ක් දවාගත් නවසීලන්ත ජැකොබ් ඩෆී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය. පළමු තරග දෙකේදී පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් 7ක් දවාගත් ඩෆී ඉන් කඩුලු 3ක්ම පළමු තරගයේදී එක් පන්දුවාරයකදී දවාගත් අතර, 2වැනි තරගයේදී දවාගත් කඩුලු 4න් 3ක්ම පන්දු වාරයක පළමු පන්දුවේදීම දවාගැනීම විචාරකයන්ගේද දැඩි කතාබහට ලක් විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division