අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් සම්මාන උලෙළ (ICC Awards – 2024) සඳහා මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකුම සම්මාන 7ක් සඳහා නිර්දේශ වී ඇති අතර, දශක දෙකක අයිසීසී ක්‍රිකට් සම්මාන ඉතිහාසයේ මෙතරම් නිර්දේශිත නාම සංඛ්‍යාවකට ශ්‍රී ලංකා නියෝජනයක් ලැබුණේ ප්‍රථම වතාවටය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වසරේ හොඳම විස්සයි20 හා එක්දින ක්‍රීඩිකාව සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව යන සම්මාන 3කට නිර්දේශ වී ඇති අතර, කමිඳු මෙන්ඩිස් වසරේ නැඟී එන ක්‍රීඩකයා සහ වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා යන සම්මාන 2ට නිර්දේශ වී ඇත. තවද, වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා තෝරාගැනීමට අදාළව නිර්දේශ කරන ලද නාම 4ට වනිඳු හසරංග හා කුසල් මෙන්ඩිස් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනාම ඇතුළත් වී තිබේ.
2004 වසරේ සිට 20 වැනි වරටත් පැවැත්වෙන (කොවිඩ් වසංගතය හේතුවෙන් 2020දී පැවැත්වුණේ නැත) මෙවර අයිසීසී ක්‍රිකට් සම්මාන උලෙළට අදාළව පසුගිය දෙසැම්බර් 30 දා වන විට මෙසේ කෙටි ලැයිස්තුගත කරන ලද ඒකල සම්මාන 9ට අමතරව අයිසීසී නිල නොලත් සාමාජික රටවලින් වසරේ කාන්තා හා පිරිමි අංශවලින් දෙදෙනකුට මෙන්ම වසරේ අයිසීසී විනිසුරුවරයා යනුවෙන් තවත් ඒකල සම්මාන 3ක් පිරිනැමෙනු ඇත. මේ ඒකල සම්මාන 12ට අමතරව කාන්තා හා පිරිමි වශයෙන් වසරේ හොඳම කණ්ඩායම් 5ක් (ටෙස්ට්, එක් දින හා විස්සයි20) තෝරාගෙන සම්මාන පිරිනැමීමටද අයිසීසීය සැලසුම් කර ඇත.
මෙවර සම්මාන උලෙළ පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත්, සම්මානලාභීන් සඳහා තෝරාගැනෙන අවසන් නම් ලැයිස්තුව මේ මස අවසන් සතියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ප්‍රසිද්ධියට පත් කරන ලද සම්මාන උලෙළේ ප්‍රධානම ඒකල සම්මාන 9ට අදාළව නිර්දේශිත නාම 36 සලකා බැලිමේදී ඉන් වැඩිම පංගුවකට ශ්‍රී ලංකාව හිමිකම් කීමද කැපීපෙනේ. එනම් නිර්දේශිත සම්මාන 7ක්ම ශ්‍රී ලංකා නමට එක් වන විට ඉන්දියාවට හා එංගලන්තයට නිර්දේශ වී ඇත්තේ සම්මාන 5 බැගිනි. ඕස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට 4ක් වශයෙන් පාකිස්තානය, කොදෙව්වන්, නවසීලන්තය හා අයර්ලන්තය 2ක් බැගින් ඇෆ්ගනිස්තානය, සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය එකක් බැගින් යනාදි ලෙස මේ නිර්දේශිත නාම බෙදීගොස් ඇත. ගෙවී ගිය 2024 වසරේදී 3 වැනි වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ පිතිකරුවා බවට පත් වෙමින් කමිඳු වසර 75ක් පැරණි සර් ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කිරීමද නැගී එන ක්‍රීඩකයා නිර්දේශයට හේතු පාදක වී ඇත. 2024 තුළ ටෙස්ට් තරග 9කට සහභාගි වී ඉනිම 13කදී ද්විත්ව ශතකයක්ද ඇතුළුව ලකුණු 1409ක් රැස් කරමින් කමිඳු මෙසේ ජාත්‍යන්තරයේ අවධානයට ලක් වූ අතර, ශතක 5ක් හා අර්ධ ශතක 3ක් රැස් කළ ඔහුගේ ලකුණු සාමාන්‍ය 74.92ක් විය.
තවද 2024 වසරේදී දෙවරක්ම මාසිකව තෝරාගනු ලබන අයිසීසී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද කමිඳු තෝරාගනු ලැබූ අතර, මෙකී දක්ෂතා හේතුවෙන්ම ඔහු මෙවර වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයටද නිර්දේශ වී ඇත. එසේම 2024 කාන්තා ක්‍රිකට් ලොව හෙල්ලූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි20 නිර්දේශිත හොඳම ක්‍රීඩිකාවන් 4ට ඇතුළත්වී ඇත.
තවද, ගෙවීගිය වසරේ චමරි ක්‍රිකට් ලොව දැක්වූ තුන් ඉරියව් දක්ෂතා නිසාම වසරේ එක්දින ක්‍රීඩිකාව සඳහා වූ නිර්දේශිත නම් හතරට ඇතුළත් කර ඇති අතර, චමරි ඉකුත් වසරේ එක් දින ඉනිම 9කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 458කි (සාමාන්‍යය 65.42). දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී නොදැවී රැස් කළ ලකුණු 195ද ඊට අයත්ය. තවද, මෙවර තෝරාගනු ලබන වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයටද චමරි නිර්දේශ වී ඇත්තේ සම්මාන 3කටම නිර්දේශකත්වය ලැබූ එකම ජාත්‍යන්තර ක්‍රීඩිකාව ලෙසද වාර්තාවක් නිර්මාණය කරමිනි.
මේ අතර පසුගිය වසරේ එක් දින තරග 10කදී කඩුලු 26ක් (සාමාන්‍යය 15.61) දවාගත් වනිඳු හසරංග පන්දුවාර 5යි පන්දු 5කදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 19කට කඩුලු 7ක්ම දවාගනිමින් කැපී පෙනිණි. කුසල් මෙන්ඩිස්ද පිතිකරුවකු ලෙස දැක්වූ දස්කම් වනිඳු සමඟ තරගයට නිර්දේශ වීමට හේතුවකි. ප්‍රතිවාදි කණ්ඩායම් 6කටම එරෙහිව ගිය වසරේ එක් දින අර්ධ ශතක වාර්තා කළ මෙන්ඩිස් ඉනිම 17කදී 53.00ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 742ක් රැස් කොට ඇත. තවද කඩුලු රකින්නකු ලෙස ගිය වසර තුළදී පමණක් දැවීම් 19කට දායක වී ඇත. මේ අනුව අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගිය වසරේදී යහපත් පල නෙළාගෙන ඇතැයි මෙකී ජාත්‍යන්තර මට්ටමේ නිර්දේශයන්ගෙන් සනාථ වන අතර, මින් කී දෙනකු සම්මාන දිනාගන්නවාද යන සාධකය මත එය තවදුරටත් තහවුරු වනු ඇත. කෙසේ වෙතත් ගෙවී ගිය අයිසීසී සම්මාන ඉතිහාසය ගත් විට සම්මාන හිමි කරගෙන ඇත්තේ අජන්ත මෙන්ඩිස් හා කුමාර් සංගක්කාර පමණි. 2008 වසරේදී නැඟී එන හොඳම ක්‍රීඩකයා ලෙස අජන්ත මෙන්ඩිස් සම්මානයට පාත්‍ර වූ අතර, කුමාර් සංගක්කාර 2011, 2012 හා 2013 වසර තුනේදී නොකඩවා අයිසීසී සම්මාන 4ක්ම දිනාගැනීම විශේෂත්වයකි. 2011 හා 2013 වසර දෙකේදීම අයිසීසී වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලද සංගක්කාර 2012දී වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා සහ අයිසීසී වසරේ ක්‍රීඩකයා යන සම්මාන දෙකම ජය ගත්තේ ක්‍රිකට් ලොව කිසිවකුටත් පහසුවෙන් ළඟා විය නොහැකි කඩඉමක් පසු කරමිනි. එවන් තත්ත්වයකට කිට්ටු කළ හැකි සේයාවක් කමිඳු මෙන්ඩිස් මඟින් පෙන්නුම් කළද විස්සයි20 ආකෘතියෙන් කමිඳු ඉවත් කළ හොත් ඔහුගේ ඉදිරි ගමන වඩාත් යහපත් විය හැකිය.