Home » මාරක ගුවන්යානා අනතුර ගැන විමර්ශන අවසන් නෑ
දකුණු කොරියාව කැලඹූ 

මාරක ගුවන්යානා අනතුර ගැන විමර්ශන අවසන් නෑ

by Mahesh Lakehouse
January 4, 2025 12:30 am 0 comment

21 වැනි සියවසේ මාරාන්තිකම ගුවන් යානා අනතුර පසුගිය ඉරුදින වාර්තා වූයේ දකුණු කොරියාවේ සෝල් අගනුවරට කි.මී.288ක් දකුණින් පිහිටි මුආන් අන්තර්ජාතික ගුවන් තොටුපොළිනි. මඟීන් 181ක් රැගත් බෝයිං 737-800 (ජේ ජූ 2216) ගුවන්යානය එකම අළු ගොඩක් වීමට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. එහිදී දිවි ගැලවුණේ දෙදෙනකුගේ පමණි.

දකුණු කොරියානු ජාතික මඟින් බහුතරයක් සිටි මේ ගුවන්යානයට මේ ආකාර ඉරණමක් අත් වූයේ ඇයිද යන්න ගෝලීය වශයෙන්ද ඉතා විමසිල්ලට බඳුන් වෙමින් පවතින්නකි. ඉතා ඉහළ තාක්ෂණයෙන් හෙබි ගුවන් යානා නිරීක්ෂණ මෙහෙයුම් පාලන මැදිරි හා ගුවන් සංඥා පවතිද්දී මේ ආකාර විපතක් වූයේ මන්ද? කාගේ වරදින්ද? මෙය දකුණු කොරියාව තුළ තවමත් නොවිසඳුණු අබිරහසක් බඳුය.

පසුගිය දෙසැම්බර් 03දා දකුණු කොරියානු ජනපති යුන් සුක් යවුල් දකුණු කොරියාව තුළ අනපේක්ෂිත මොහොතක මාර්ෂල් නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් හට ගත් දේශපාලනික, ව්‍යවස්ථාපිත අස්ථාවරත්වය කෙතරම් ද යත් වර්තමානය වන විට දෝෂාභියෝග පිට දෝෂාභියෝග මධ්‍යයේ ජනපති යුන්ව අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ ආකාර අවිනිශ්චිත තත්ත්වයක රට පවතිද්දී දකුණු කොරියාව මාරාන්තික ගුවන්යානා අනතුරකට මුහුණදීම ද රාජ්‍යයක් වශයෙන් දකුණු කොරියාව අත්විදින ඛේදජනක සිදුවීම් පෙළකි. ලොව රාජ්‍යතාන්ත්‍රිකයන්, පුන පුනා පවසන්නේ දකුණු කොරියාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ඉහළින්ම පිළිගත් රාජ්‍යයක් ලෙස ඉතා ඉක්මනින් රට තුළ දේශපාලනික ස්ථාවරත්වය උදාකර ගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දේශපාලන පක්ෂ ඒකමතිකව සම්මුතියකට එළඹිය යුතු බවයි.

ගුවන් යානා අනතුරින් මිය ගිය පවුල්වල ඥාතීන් මෙන් ම සෙසු පාර්ශ්වයන් ද පවතින දේශපාලන අස්ථාවරත්වය තුළ අදාළ පරීක්ෂණ හා විමර්ශන කටයුතු ප්‍රමාද වේ යැයි සැකයකින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කුරුල්ලෙකු ගැටීමෙන් යානයේ තිරිංගවලට බාධාවී මෙම අනතුර වූ බව Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලධාරීන් පළ කරන ප්‍රමුඛතම ප්‍රකාශය වී ඇත. නමුත් ගුවන්යානා විශේෂඥයින් පවසන්නේ මේ සා විශාල ගුවන් අනතුරක් සිදුවීමට කුරුල්ලකු ගැටීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි තත්ත්වයක් බවත් කුරුල්ලන් ගැටීම අසාමාන්‍ය දෙයක් නොවන බවයි. මෙම ගුවන්යානා අනතුර තුළ බැලූ බැල්මට පෙනී යන යථා ස්වභාවය වන්නේ මෙහි නිරාකරණය නොවූ අභ්‍යන්තරික ගැටළුකාරී තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඉරිදා සිදු වූ මෙම අනතුරින් පසු දකුණු කොරියානු සෙසු ගුවන් සේවාවල ද අනතුරට පත්වූ වර්ගයේ ගුවන් යානා 100කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කිරීමට නියම කර ඇති බව වාර්තා වී තිබුණි.

ගුවන් අනතුරු ඉතිහාසය

Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිදු වූ ආකාරයෙන් මාරාන්තික ගුවන් යානා අනතුරක් මීට පෙර 1977 දී ස්පාඤ්ඤ දූපතක් වූ Tenerife කින් වාර්තා වී ඇත. ඒ Boeing 747 වර්ගයේ ජම්බෝ ජෙට් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකි. එම ගුවන්යානා අනතුරින් ද ගුවන් මගීන් 644න් 583 දෙනෙකුගේ දිවි අහිමි වී ඇත. එම ගුවන් යානා අනතුරට බලපෑ හේතුව ලෙස එවකට අනාවරණය කොට ගෙන තිබූයේ KLM 747 ගුවන් නියමුවාණන් ගුවන් traffic පාලනයෙන් ගුවන් මාර්ග පැහැදිලි නොවන බව දන්වා සිටියදීත් ඉදිරියට ගුවන්යානය පියාසර කරවීම බව වාර්තා වේ.

Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගිනි නිවන අංශයේ බලධාරීන් Jeju ගුවන් සමාගමට අයත් මෙම 7C2216 Boeing 737-800 යානයේ අනතුරට හේතුව ලෙස දක්වන්නේ අයහපත් කාලගුණය හා කුරුල්ලෙකු දැවටීමයි.

මාරාන්තික කොන්ක්‍රීට් බැම්ම

Boeing 737-800 ගුවන් යානය ගොඩබැස්සවීමේ ධාවන පථය අසල තිබූ කොන්ක්‍රීට් බැම්ම පිළිබඳව මේ වන විට දසතින්ම Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළට දෝෂාරෝපණ එල්ල වී ඇත. ගුවන් අනතුරින් සිදු වූ ජීවිත හානි ඉහළ යාමට මෙම කොන්ක්‍රීට් බැම්මේ ගුවන්යානය ගැටීම විශාල වශයෙන් බලපෑ බව ගුවන් යානා විෂය පථය පිළිබඳ විශේෂඥයින්ගේ ප්‍රකාශය වී ඇත. ඇ. එ. ජනපදයේ ඕහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයෙකු වූ Shawan Pruchnicki මෙම බැම්ම ගොඩනඟා තිබීම පිළිබඳ ප්‍රකාශ කර ඇත්තේ මෙතරම් වගකීම් රහිත ක්‍රියාවක් කිරීම පිළිබඳ තමාට සිතා ගැනීමට පවා නුපුළුවන් බවයි යන්න විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එමෙන්ම ඔස්ට්‍රේලියානු ගුවන් සේවයේ ආරක්ෂක විශේෂඥයෙකු වූ Geoffery Dell මහතා ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත්තේ ගුවන් යානාවක් ගොඩ බැස්සවීමේ දී භාවිත කරන තිරිංග ඇදීයාම කිසිදා කුරුල්ලෙකු ගැටීමෙන් වැළැක්වෙනු නොදැක ඇති බවයි.

Jeju ගුවන් සේවාවේ ප්‍රධාන විධායක නිලධාරි වූ කිම් යුයි බච් ප්‍රකාශ කර ඇත්තේ නඩත්තු නිලධාරින් අනතුර සම්බන්ධ කිසිදු ගැටලුවකට සම්බන්ධ නොවන බවයි. එමෙන්ම මාධ්‍ය සාකච්ඡාවක දී කිම් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ගොඩබැස්සවීමේ තිරිංගය සම්බන්ධ කිසිදු අසාමාන්‍යතාවක් හඳුනාගෙන නොමැති බවත් ගුවන් යානා අනතුර පිළිබඳ පරීක්ෂණවලට මෙම තිරිංගය නිසි අයුරින් පැවතුණේ ද නැද්ද යන්න ඇති සබඳතාවය පිළිබඳ බලපෑමක් තිබේ ද යන්නත් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. Jeju ප්‍රධාන කිම් මේ සියලු කාරණා අභියස පෙන්වා දීමට තැත් කරනු ලබන්නේ අනතුර සිදු වූ දින ගුවන්යානයේ ආරක්ෂාව පිළිබඳ සියලු ක්‍රියාමාර්ග අනුගමනය කර තිබූ බවයි. Jeju ප්‍රධානි මේ ආකාර අදහසක සිටිය ද දකුණු කොරියානු වැසියන් ප්‍රමුඛ ගෝලීය ප්‍රජාව, මේ උදෙසා බලපෑ නිවැරදිම හේතුව කිසිදු තත්ත්වයක් තුළ තවමත් පැහැදිලිවම අනාවරණය නොවූ බව පමණක් පිළිගෙන ඇත.

දකුණු කොරියානු ගුවන් අනතුර සිදුවීමට දින 2කට පෙර රුසියානු උඩු ගුවනේ දී අසර්බයිජානයට අයත් වෙළඳ ගුවන්යානයක් අනතුරට පත්වූයේ, ගුවන් මගීන් 38 දෙනෙකුට මරු කැඳවමිනි. රුසියානු ජනපති වැලැදිමීර් පුටීන් මෙහි වගකීම භාරගෙන ඇති අතර, පුටීන් අසර්බයිජාන ජනපතිතුමාගෙන් මේ පිළිබඳ සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ජනපති පුටීන් වැඩිදුටරත් ප්‍රකාශ කර ඇත්තේ නත්තල් දා සිදුවූ මෙය ඉතාම ඛේදජනක තත්වයක් බවත්ය යන්න විදෙස් මාධ්‍ය පළකර තිබුණි.

මේ වන විට දකුණු කොරියානු රාජ්‍යයේ වැඩබලන ජනපති ලෙස කටයුතු කරන Choi-Sang-Mok ප්‍රකාශ කර ඇත්තේ මෙම අනතුර සම්බන්ධයෙන් හදිසි ආරක්ෂක පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණවල දී ගුවන් රෙකෝඩරයක් (Flight Recorder) නැතිනම් කළු පැහැති පෙට්ටියක් භාවිත කරනු ලැබේ. මෙම ගුවන් රෙකෝඩරය ඉතාම තදබල හා ශක්තිමත් ටයිටේනියම් ලෝහයෙන් නිම කරන ලද අතර, ගුවන්යානාව අනතුරකට ලක්වන අවස්ථාවක දී වුවද මෙම රෙකෝඩරයේ අදාළ දත්ත ඉතා සුරක්ෂිතව ගබඩා වීමක් සිදුවේ. එබැවින් ද මෙම ගුවන් අනතුර පිළිබඳ ඉදිරි පරීක්ෂණ සඳහා ගුවන් රෙකෝඩරයේ සටහන් වී ඇති දෙබස්, දත්ත ඉතා වැදගත් මෙහෙයක් කරනු යැයි ගුවන්යානා පිළිබඳ විශේෂඥයින්ගේ ප්‍රකාශයයි.

දකුණු කොරියානු මාරාන්තික ගුවන් අනතුර පිළිබඳ විමර්ශනවල දී Muan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ධාවන පථයේ නිර්මාණ්‍ය මෙන්ම කොන්ක්‍රීට් බැම්ම යන කාරණාවන් ගුවන් යානා ක්ෂේත්‍රයේ විශේෂඥයින් අතර ඉතා දැඩි විවේචනාත්මක විවාදයට තුඩු දී ඇති අතර මේ ඔස්සේ අනතුරට පාදක වූ හේතුව ගොනු කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ වන විට දකුණු කොරියානු පොලිසිය මූආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැටලීමක් සිදුකිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පොලීසිය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් අනතුර පිළිබඳ මෙහෙයුම් කටයුතු ප්‍රධාන ස්ථාන තුනක් කේන්ද්‍ර කරගනිමින් දියත් වන බවයි. ඒ මුආන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ, Jeju ගුවන් කාර්යාලය (සෝල් අගනුවර පිහිටි) හා කලාපීය ගුවන් සේවා කාර්යාලය පදනම් කරගෙනයි. මේ ඔස්සේ නීතිය හා එහි මූලධර්මවලට අනුව ඉදිරි සැලසුම් වේගවත්ව හා දැඩිව ක්‍රියාත්මක කරමින් අනතුරට හේතුව නිර්ණය කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division