Home » සමුද්‍ර පරිසර පද්ධති මත දේශගුණික විපර්යාසවල බලපෑම

සමුද්‍ර පරිසර පද්ධති මත දේශගුණික විපර්යාසවල බලපෑම

by chanaka
January 5, 2025 8:05 am 0 comment

දේශගුණික විපර්යාස යනු සෘජු හෝ වක්‍රව සිදුවන මානව ක්‍රියාකාරකම් මඟින් වායුගෝලයේ සංයුතියේ ඇති කරන වෙනස්කම් හේතුවෙන් දේශගුණයේ ඇතිවන වෙනස්වීම් වේ. දේශගුණික විපර්යාස කෙරෙහි ස්වභාවික හේතුන් වල බලපෑමක් තිබුණද අතීතයේ 18 වන ශත වර්ෂයේ පමණ සිට සිදු වී ඇති තිරසර නොවන කෘෂිකර්මාන්තය සහ අනෙකුත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පිටවන හරිතාගාර වායූන් දේශගුණික විපර්යාස කෙරෙහි වැඩි බලපෑමක් සිදුකර ඇත. 

ස්වභාවික පරිසරයේ සෑම සාධකයක්ම අනෙකුත් සාධක සමඟ සම්බන්ධ වී තිබේ. වායුගෝලය, ජලගෝලය සහ ශිලාගෝලය අතර තිබෙන ස්වභාවික සමතුලිතතාවය පරිසර පද්ධති වල තිරසාර පැවැත්ම සඳහා බෙහෙවින් වැදගත් වේ. වායු ගෝලයේ ඇතිවන දේශගුණික විපර්යාස වැනි සංසිද්ධීන් සමුද්‍ර පරිසර පද්ධති කෙරෙහි ද බලපා ඇති අතර එය පරිසරයේ ජීව සහ අජීව සංඝටක අතර පවතින ස්වභාවික සමතුලිතතාවය කෙරෙහිද බලපෑම් ඇති කිරීමට හේතු වී තිබේ. 

දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර පරිසරය කෙරෙහි ද සෘජු හෝ වක්‍ර ආකාරයේ බලපෑම් සිදු වී ඇත. සමුද්‍ර පරිසර පද්ධතිවල ජෛව විවිධත්වය, දේශගුණික තත්ත්වයන් නිසි ආකාරයට නියාමනය කිරීම සහ ඇතැම් ජන කොටස්වල ජීවනෝපායේ තිරසර බව තහවුරු කිරීම සඳහා ද භෞමික පරිසර පද්ධති සමඟ මනා සමතුලිතතාවයක් ගොඩනඟා ගැනීම සඳහා ද අත්‍යාවශ්‍ය වේ.

 අතීතයේ 17 වන සියවසෙන් පසු  ඉහළ යන හරිතාගාර වායු විමෝචනය මඟින් නිපදවෙන තාපයෙන් 91% ක් පමණ සාගරය විසින් අවශෝෂණය කර ඇත. හරිතාගාර වායු පෘථිවි වායුගෝලයේ තාපය රඳවා ගන්නා වායූන් වේ. කාබන් ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්රස් ඔක්සයිඩ් (N2O) සහ හයිඩ්රොෆ්ලෝරෝ කාබන් (HFC), පර්ෆ්ලෝරෝ කාබන් (PFC), සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් (SF6), නයිට්රජන් ට්‍රයිෆ්ලෝරයිඩ් (NF3) යන කාර්මික වායු, හරිතාගාර වායු ලෙස හඳුනාගෙන ඇත. 

ලිඛිත දත්තයන්ට අනුව 2011-2020 දක්වා සාමාන්‍ය උෂ්ණත්වය 1850- 1900 වසර දක්වා තිබූ උෂ්ණත්වයට වඩා 0.88° C   පමණ දක්වා වැඩි වු අතර මෙම උණුසුම දිගටම පවතිනු ඇතැයි ද පුරෝකතනය කර ඇත. අධික තාපය හා ශක්තිය හේතුවෙන් සාගරය උණුසුම් වන විට සාගරයේ උෂ්ණත්වයේ වෙනස් වීම් සිදුවීම,  උෂ්ණත්වයේ ඉහළ යාම අනුව අයිස් දියවීම, ඒ හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම, සමුද්‍ර තාප තරංග සහ සාගර ආම්ලික වීම ආදී තත්වයන් සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම අනුව ජීවීන්ගේ වාසස්ථාන ව්‍යාප්තිය වෙනස් කිරීම, ජීවීන්ගේ අභිජනන චක්‍ර කෙරෙහි බලපෑම් කිරීම සහ කොරල්පර විරංජනය වීම හේතුවෙන් සාගර පරිසර පද්ධතිවලට බාධා සිදුවීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අහිතකර බලපෑම් ලෙස හඳුනාගෙන ඇත. 

දේශගුණික විපර්යාස අනුව කොරල්පර විරංජනය වීමට පෙර සහ පසු කොරල් පරයක පෙනුම

(මූලාශ්‍රය https://climate.nasa.gov/news/13/climate-change-seeps-into-the-sea/)

සාගර පරිසර පද්ධතිය ගෝලීය පරිසර පද්ධතියේ තිරසර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. සාගරය, ඉතා ඉහළ ජෛව විවිධත්වයකට හිම්කම් කියන ජීවීන්ගේ නිවහන වන අතර ආහාර දාම හා ආහාර ජාල නිසි අයුරින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ලබා දේ. ප්‍රමාණාත්මකව කිව නොහැකි තරම් සාගරයේ ජීවත් වන විවිධ ප්ලවාංග ප්‍රභාසංශ්ලේෂණයේදී වායු ගෝලයේ තිබෙන කාබන්ඩයොක්සයිඩ් වායුව විශාල වශයෙන් අවශෝෂණය කරන බැවින් භෞමික පරිසරයේ උණුසුම වැඩිවීම පාලනය කරයි. ජලජ ශාක ප්‍රභාසංශ්ලේෂණයේදී පිට කරන ජල වාෂ්ප භෞමික පරිසරයේ සිසිලස පවත්වා ගැනීමට දායක වේ. මෙවැනි ශාක ප්ලවාංග සහ කුඩා සාගර පැළෑටි ජලජ අහාර දාමවල මුල් පුරුක් වන අතර එකිනෙක හා සම්බන්ධ වන ආහාර ජාල සමතුලිතව පවත්වා ගැනීම සඳහා වැදගත් වේ.

නමුත් දේශගුණික විපර්යාස වලින් ඇතිකරන බලපෑම හේතුවෙන් සාගර පරිසර පද්ධතීන් ද තර්ජනයට ලක් වී ඇත. ජලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමඟම බොහෝ මත්ස්‍යයන් ඔවුන්ගේ සාමාන්‍ය සංචරණ පරාසය වෙනස් කරමින් ඔවුන්ට තවදුරටත් හිතකර නොවන ප්‍රදේශ අත්හැරීම සිදුකරයි. ඒ අනුව ඔවුන් මත යැපෙන අනෙකුත් ජීවීන්ගේ ද පෝෂණ චර්යාවන් වෙනස් වේ. සාගර මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට සංක්‍රමණය වුවහොත් ධීවර කර්මාන්තය කෙරෙහි සැළ කිය යුතු බලපෑමක් ඇති වේ. එය ධීවර ජනතාවගේ ආර්ථිකය කෙරෙහි බලපාන අතර ඔවුන්ගේ ආර්ථිකය ප්‍රතිස්ථාපනය කළ යුතු වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර පරිසර පද්ධති කෙරෙහි ඇති වන ගැටළු

  1. අවිධිමත් කාර්මික හා කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් වායු ගෝලයට නිකුත් කෙරෙන නයිට්‍රජන් වලඔක්සයිඩ, සල්ෆර්වල ඔක්සයිඩ, වායු ගෝලයට නිකුත් වූ පසු ඉහළ අහසේදී වැසි ජලය සමඟ මිශ්‍ර වී නයිට්‍රික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය ආදී අම්ලවල තනුක ද්‍රාවණ සාදයි.අම්ල වැසි ලෙස පෘථිවිය මත පතනය වන ආම්ලික වැසි ජලය සාගර ආම්ලිකකරණය කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අම්ල වැසි මෙන්ම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වැඩිවීම තුළින් ද සාගර ජලයේ ආම්ලික බව වැඩිවේ. සාගර පරිසර පද්ධතීන් කෙරෙහි ඇතිකරන සාගර ආම්ලිකකරණයේ බලපෑම පහත දක්වා ඇති ආකාරයට සාගර ජීවීන්ගේ පැවැත්මට ද තර්ජනයක් වී ඇත.

උදාහරණ :-

  • සාගර ආම්ලීකරණය කොරල්පර, බෙල්ලන් වැනි කැල්සියම් කාබනේට් (CaCO3) වලින් සෑදුනු ව්‍යුහයක් සහිත ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි බලපා ඇත. අම්ල වැසිවල ආම්ලිකතාවය හේතුවෙන් කොරල්පර සෑදී ඇති කැල්සියම් කාබනේට දියවී යාම නිසා නිවර්තන වැසි වනාන්තරයක ඇති ජෛව විවිධත්වය හා සමාන ජෛව විවිධත්වයක් ඇති කොරල්පර නිවැසියන්ගේ වාසස්ථාන අහිමි වන්නේ සාගර ජෛව විවිධත්වය කෙරෙහි විශාල තර්ජනයක් ඇති කරමිනි. එය සෘජු හෝ වක්‍රව සාගර පරිසරයෙන් මිනිසාට ලබාදෙන ලැබෙන භාවිතයන්, අගයන් සහ ගුණාංගයන් කෙරෙහි බලපෑම් ඇති කරයි.අම්ලවැසි වැටීමෙන් ද සාගර ජලයේ ස්වභාවික තත්ත්වයන් කෙරෙහි බලපෑමක් ඇති වේ. සාමාන්‍ය සාගර ජලයේ  ජීවත්වන ශාක හා සතුන් මදක් ආම්ලික වූ සාගර ජලයෙහි නොයෙකුත් ගැටලු වලට මුහුණ පානු ඇත.
  • අම්ල වැසි වැටුණු විට පස විවිධ රසායනික ක්‍රියාවලිවලට භාජනය වීමෙන් නොයෙකුත් බැරලෝහ ජලයට මුදා හරී. ජලජ ශාක මඟින් අවශෝෂණය කර ගන්නා මෙම බැරලෝහ ආහාර දාම ඔස්සේ ජෛව එක්රැස් වීම හා ජෛව සාන්ද්‍රණය සිදුවීම තුළින් මිනිසා ඇතුළු ආහාර දාමයේ ඉහළ පුරුක්වල ජීවීන්ට විවිධ ලෙඩරෝග වැළඳේ. මෙතුළින් පරිසර පද්ධති වල සෞඛ්‍යමත් බවට තර්ජනයක් ඇතිවේ.

2.කොරල්පර ආශ්‍රිත වූ ජෛව විවිධත්වය ධීවර කර්මාන්තය කෙරෙහි සෘජු හෝ වක්‍ර ආකාරයේ බලපෑමක් ඇති කරන බැවින් කොරල්පර විනාශ වීම තුළින් මත්ස්‍ය නිෂ්පාදනය අඩුවී ධීවර කර්මාන්තයේ නියැළෙන්නන්හට ආර්ථික, සමාජයීය සහ පාරිසරික ප්‍රශ්න ඇති කරයි.

3.කොරල්පර , වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ස්වභාවික බාධකයක් සේ ක්‍රියා කරයි. දේශගුණික විපර්යාස හේතුවෙන් සෘජු හෝ වක්‍ර ආකාරයට කොරල්පර විනාශ වී යාම හේතුවෙන් උග්‍රවන වෙරළ ඛාදනය,  වෙරළාසන්න කඩොලාන වැනි තෙත් බිම් කෙරෙහි ද වෙරළ ආශ්‍රිත වැලි කඳු හා වෙරළබඩ ශාක ප්‍රජාව කෙරෙහිද ඇති කරන බලපෑම අදාළ ජීවීන්ගේ වාසස්ථාන අහිමි කරයි. 

4.වෙරළ ඛාදනය වී රට තුළට ගලා එන මුහුදු ජලය හේතුවෙන් වෙරළාසන්න කෘෂිකාර්මික බිම්වල  ලවණතාවය වෙනස්වීම නිසා පසෙහි ගුණාත්මක භාවය වෙනස් වේ. ඒ අනුව අස්වැන්න අඩුවීම සිදුවුවහොත් එය ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ද බලපෑම් ඇති කරයි. වෙරළ ඛාදනය නිසා  වෙරළාසන්නයෙහි වැවෙන පොල් ගස් කඩා වැටීම හේතුවෙන් ඇති වන බලපෑම පොල් කර්මාන්තය ආශ්‍රිත වෘත්තීන්හි යෙදී සිටින පුද්ගලයින්ගේ ආදායම් මාර්ග කෙරෙහි බලපෑම් ඇති කරයි.

5.දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරය උණුසුම්වීම සිදුවීමෙන් මුහුදු උෂ්ණත්වය ඉහළයයි. එබැවින් සාගර ජීවීන්ගේ වාසස්ථානවල උෂ්ණත්වය වෙනස්වීම ජීවීන්ගේ ජීවනචක්‍රවලට බලපෑම් ඇති කරයි. සමුද්‍ර තාප තරංග මගින් ජලජ විශේෂවල ව්‍යාප්තිය සහ බහුලත්වය වෙනස් කළ හැක.

6.සාගර ජලය උණුසුම් වීම මුහුදු මට්ටම ඉහළ යාමට හේතු වේ. සාගර ජලමට්ටම ඉහළ යාම නිසා වෙරළ ජලයෙන් යටවීම හේතුවෙන් සාගර ජීවීන්ගේ බෝවීම සඳහා අත්‍යවශ්‍ය ස්ථාන ලෙස සේවය කරන කඩොලාන සහ ලවණ වගුරු බිම් වැනි පරිසර පද්ධති බලපෑමට ලක් වේ.

7.සමුද්‍ර තාප තරංග මගින් හානිකර ඇල්ගී ඇතිවීම සහ පැතිරීම ආරම්භ කළ හැක.

උපනිවර්තන සහ නිවර්තන ප්‍රදේශවල ධීවර කර්මාන්තය සහ වෙරළබඩ වාසස්ථාන කෙරෙහි මානව-ව්‍යුත්පන්න දේශගුණික විපර්යාසවල බලපෑම්

(මූලාශ්‍රය https://link.springer.com/article/10.1007/s10641-022-01333-6)

 

සමුද්‍ර පරිසර පද්ධති වල ජෛව විවිධත්වය සැළකූ විට කොරල්පර , කඩොලාන, මුහුදු තෘණ, ලවණ වතුර වැනි පරිසර  පද්ධතීන් සහ ඒ තුළ ජීවත් වූ විවිධාකාර  වූ විශේෂ මෙන්ම ඔවුන් තුළ ඇතිවන විවිධත්වයෙන්ද පොහොසත්ව ඇත. ජෛව විවිධත්වය තුළ ගැබ්ව ඇති පරිසර පද්ධති , විශේෂ සහ ජාන විවිධත්වය කෙරෙහි දේශගුණ විපර්යාස ඇති කරන බලපෑම පාරිසරික ගැටලු පමණක් නොව සාමාජීය සහ ආර්ථික ගැටලු උද්ගත කිරීම කෙරෙහි බලපානු ඇත. බොහෝ විට එකිනක හා සම්බන්ධ සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු බොහෝ රටවල  උද්ගත වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑම ගෝලීය වශයෙන් අත් විඳීමට සිදුවී ඇති බැවිනි.

තාපය සහ ශක්තිය මුහුද උණුසුම් කරන විට, උෂ්ණත්වයේ වෙනස්වීම් හේතුවෙන් අයිස් දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, සමුද්‍ර තාප තරංග සාගර ආම්ලිකකරණය වීම වැනි විවිධ බලපෑම් ඇති වේ. එබැවින් දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සමුද්‍රීය පරිසර පද්ධතිවල සෞඛ්‍යයට සහ ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙරළබඩ පරිසර පද්ධති සහ අනෙකුත් පරිසර පද්ධති අතර තිබිය යුතු ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීමට ද බලපායි.

සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත පරිසර පද්ධතියම අනතුරට පත් වේ. සශ්‍රීක නොවන පරිසර පද්ධති ජලජ ජීවීන්ට මෙන්ම මිනිසාට ද තීරණාත්මක වේ. මන්ද සශ්‍රීක සමුද්‍රීය පරිසර පද්ධති නොමැතිවූ  විට ආහාර ලබා ගැනීමේ අඩුවීමක්, ආදායම පහත වැටීමක් සහ අපගේ පෘථිවියේ ජීවයේ පිරිහීමක් අත්විඳිය හැකිය. පෘථිවියේ පැවැත්ම සජීවී සාගර මත ද රඳා පවතින බැවින් ඒවා ආරක්ෂා කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක් වනු ඇත.

දේශගුණික විපර්යාස වලින් සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා වැදගත්වන  සමහර ප්‍රවේශයන් පහත දක්වා ඇති ආකාරයට  හඳුනාගෙන ඇත. 

  1. දේශගුණික අවදානම් සහ අවස්ථාවන් සලකා බලමින් ඒකාබද්ධ සාගර සැලසුම් සංවර්ධනය කිරීම 
  2. ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ආරක්ෂා කරන සහ ප්‍රතිෂ්ඨාපනය කරන ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් හඳුනා ගැනීම සහ සහ ක්‍රියාත්මක කිරීම 
  3. කාබන් ගබඩා කරන වාසස්ථාන ආරක්ෂා කිරීමට සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ පුළුල් කිරීම
  4. කාබන් තිරකරන දේශීය විශේෂ ආරක්ෂා කිරීම හෝ ප්‍රතිෂ්ඨාපනය කිරීම
  5. දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන මානව ක්‍රියාකාරකම් පහත දක්වා ඇති ආකාරයට පරිසර හිතකාමී ආකාරයට කළමනාකරණය කිරීම

 දේශගුණික විපර්යාස හමුවේ අනාගත සමුද්‍ර ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවා සුරක්ෂිත කිරීම සඳහා යුරෝපා සංගමය අරමුදල් සපයන FutureMARES ව්‍යාපෘතියට (Safeguarding future marine biodiversity and ecosystem services under climate change), දේශගුණික විපර්යාසවලට අනුවර්තනය සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා සමුද්‍ර ජෛව විවිධත්වය නැවත ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ නව්‍ය, විද්‍යාව පදනම් කරගත් උපදෙස් සැපයීම පිණිස යුරෝපීය සහ මධ්‍යම/ලතින් ඇමරිකානු හවුල්කාර ආයතන 32 කින් විද්‍යාඥයින් 250 කට වැඩි පිරිසක් සහභාගීත්වය ලබා දීම සිදු කරයි. මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ දේශගුණික විපර්යාස, අන්තර්ක්‍රියාකාරි උවදුරු සහ දේශගුණික විපර්යාසයන්හි අනාගත බලපෑම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කර ඇති මුලපිරීම් සහ මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දීම පිණිස වේ.

FutureMARES ව්‍යාපෘතියේ අරමුණු අනුව:

  1. දේශගුණික විපර්යාස මගින් බලපෑමට ලක්වන පරිදි සාගර විශේෂ සහ ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම්, භූමිකාවන් සහ සේවාවන් පිළිබඳ පූර්ව දැනුම ලබා දීම;
  2. දේශගුණික විපර්යාසයන්හි භෞතික හා ජෛව රසායනික බලපෑම් පිළිබඳ ප්‍රක්ෂේපණ ලබා දීම සහ දේශගුණික උණුසුම් ස්ථාන සහ සරණාගතයින් හඳුනා ගැනීම;
  3. දේශගුණික විපර්යාස වලට විශේෂ සහ වාසස්ථානවල සංවේදීතාව සහ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම;
  4. දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම සහ අවම කිරීම සඳහා විද්‍යාව පදනම් කරගත් උපදෙස් ලබා දීම සඳහා තීරණ සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ කළමනාකරුවන් සමඟ අදාළ පර්යේෂණ සංවර්ධනය කිරීම.

       5.පරිසර පද්ධති සේවා සහ යැපෙන මානව ප්‍රජාවන්ට දේශගුණික විපර්යාසයන්හි බලපෑම්වල බරපතලකම අඩු කිරීම සඳහා සොබාදහම මත                පදනම් වූ විසඳුම් සහ තිරසාර අස්වනු නෙළීමේ සඵලතාවය මනින නව, සමාජ-පාරිසරික දේශගුණික අවදානම් තක්සේරු කිරීම් සිදු කිරීම 

  1. වාසස්ථාන ප්‍රතිසංස්කරණය, සංරක්ෂණ උපාය මාර්ග සහ තිරසාර අස්වනු නෙළීම ක්‍රියාවට නැංවීමේ අවස්ථා පිළිබඳ ආර්ථික විශ්ලේෂණයන් ඒවායේ පිරිවැය සහ ප්‍රතිලාභ අනුව සිදු කිරීම;
  2. වාසස්ථාන සෑදීම සහ/හෝ වාණිජමය හෝ සංස්කෘතිකමය වශයෙන් වටිනා විශේෂවල ව්‍යාප්තිය සහ ඵලදායිතාව කෙරෙහි දේශගුණික විපර්යාසයන්හි බලපෑම් පිළිබඳ ප්‍රක්ෂේපණ සැපයීම සහ සමුද්‍ර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සැලසුම් හඳුනා ගැනීම ….. 

වැනි මුලපිරීම් සහ මැදිහත්වීම් දේශගුණික විපර්යාස හමුවේ අනාගත සමුද්‍ර ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති සේවා සුරක්ෂිත කිරීම සඳහා ඉතා වැදගත් වේ. 

(මූලාශ්‍රය https://www.innovationnewsnetwork.com/safeguarding-future-marine-biodiversity-and-ecosystem-services-under-climate-change-futuremares/40042/)

සෞඛ්‍ය සම්පන්න සමුද්‍ර පද්ධතිවල පරිසර පද්ධති සේවා සහ සංස්කෘතික ප්‍රතිලාභ සමඟින් FutureMARES හි අවධානය යොමු කර ඇති ස්වභාවික පාදක විසඳුම්

(මූලාශ්‍රය https://www.innovationnewsnetwork.com/safeguarding-future-marine-biodiversity-and-ecosystem-services-under-climate-change-futuremares/40042/)

සමුද්‍ර පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා කඩොලාන, කොරල්පර, වැලි කඳු, මුහුදු තෘණ වැනි වෙරළබඩ ස්වභාවික සම්පත් අධික ලෙස භාවිතා කිරීම වැළැක්වීම ද ඉහත කී වෙරළබඩ සම්පත් තිරසාර ලෙසට පරිභෝජනය කිරීම ද ඉතා වැදගත් වේ. 

දේශගුණික විපර්යාස සඳහා ප්‍රතිචාර සැලසුම් කිරීමේ වැදගත්ම අංගයක් වන්නේ ප්‍රජා සහභාගීත්වයයි. දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ දේශගුණික විපර්යාසවල දිගුකාලීන බලපෑම් අවම කිරීම සඳහා තනිපුද්ගල සහ ප්‍රජා කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ.  ප්‍රජා සහභාගීත්වය තුළින් තිරසාර, ක්‍රියාත්මක කළ හැකි සහ සාර්ථක දේශගුණික ක්‍රියාකාරී සැලසුම් සංවර්ධනය කිරීමට සහ තිරසාර ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා තිරසාර සංවර්ධන මූලධර්මවලට අනුකූලව රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ යුතු වේ. පරිසරය ආරක්ෂා කර හඳුනාගෙන ඇති සංරක්ෂණය කළ යුතු ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර සංවර්ධනය තුළින්  තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් සෑම පුරවැසියෙක්ම, සෑම රටක්ම යහපත් පරිසරයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු වේ. වායුගෝලයට නිදහස් කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම තුළින්  දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා;

  • වනාන්තර රැකගැනීම සහ පැල සිටුවා රැක බලා ගැනීම
  • කාර්මික, කෘෂිකාර්මික, ප්‍රවාහන සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල නියැලෙන්නන් පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කිරීම
  • ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතු උපකරණ භාවිතය, බලශක්තිය අඩුවෙන් භාවිතා වන විදුලි බුබුළු භාවිතා කිරීම, බලශක්තිය සුරක්ෂිතව භාවිතා කිරීම සහ පුනර්ජනනීය බලශක්ති සඳහා යොමුවීම
  • ප්‍රවාහන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම හෝ පරිසර හිතකාමී දෙමුහුන් වාහන, විද්‍යුත් වාහන සහ පාපැදි භාවිතා කිරීම
  • පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීම
  • කාබනික ද්‍රව්‍ය මගින් කොම්පෝස්ට් පොහොර සෑදීම සහ හැකි සෑම විටකම ගෙවතු වගා කිරීම
  • හැකි සෑම විටකම දේශීය නිෂ්පාදන භාවිතා කිරීම තුළින් ප්‍රවාහන කටයුතු වලදී වායුගෝලයට නිදහස් කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම
  • ජලය සුරක්ෂිතව භාවිතා කිරීම තුළින් ජලය සැපයීමේ කටයුතු වලදී වායුගෝලයට නිදහස් කෙරෙන හරිතාගාර වායු ප්‍රමාණය අවම කිරීම
  • හරිත ගොඩනැගිලි සංකල්පය අනුව ඉදිකිරීම් සිදුකිරීම තුළින් ගොඩනැගිලි තුළ පවතින උණුසුම අඩුකර ගොඩනැගිලි සිසිල් කිරීමට භාවිතා කරන වායු සමීකරණ සහ ශීතකරණ මගින් මුදා හරින CFC වැනි අන්තරායකර රසායනික ද්‍රව්‍ය නිදහස් කිරීම අවම කිරීම
  • පරිසර හිතකාමී ජීවන රටාවක් ගත කිරීම සහ දේශගුණික විපර්යාස පිළිබඳව තමා දැනුවත් වී ලබාගත් දැනුමින් අන් අයව ද දැනුම්වත් කිරීම……. 

වැනි මුලපිරීම් සහ මැදිහත්වීම් පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් වේ. 

වෙරළාසන්න පරිසර පද්ධතිවල පමණක් නොව අනෙකුත් සියලුම පරිසර පද්ධතිවල ද සුන්දරත්වය දැකීම සහ පාරිසරික ප්‍රතිලාභ ලැබීම සඳහා ද ඒවා මතු පරපුරට උරුම කිරීම සඳහා ද අපි සියල්ලෝම වගකීමෙන් පරිසර හිතකාමිව ජීවත් වනවිට උදාවන හිතකර පරිසරය අප ද පරිසරයේ සියලුම ජෛව හා ජෛව සාධක ද ආරක්ෂා කරනු ඇත.  දේශගුණික විපර්යාස අවම කිරීමට පුද්ගලිකව සහ කණ්ඩායමක් ලෙස අපගේ යුතුකම සහ වගකීම ඉටු කරමු.

රචනය – අචාර්ය එන්.එම්.එල්. රාධිකා

සහකාර අධ්‍යක්ෂක 

පරිසර ප්‍රවර්ධන ඒකකය, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය 

මධ්‍යම පරිසර අධිකාරිය

(තොරතුරු සහ පින්තූර මූලාශ්‍රය – අන්තර්ජාලය : Source of information and images – Internet)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division