Home » ගල්කිස්සේ දී පත්තු වන පාතාල වෙඩි උණ්ඩ

ගල්කිස්සේ දී පත්තු වන පාතාල වෙඩි උණ්ඩ

by thanushika
January 11, 2025 12:30 am 0 comment

ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුම්වල උත්සන්න බවක් මේ වන විට පෙනෙන්නට ඇත. ඒ අතර ඉකුත් මාස පහක පමණ කාලය තුළ දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශවල දිගින් දිගටම සිදුවූ ඝාතනවල එකතුව 6 දක්වා ඉහළ ගියේ ගෙවුණු සතිය තුළ ද ද්විත්ව ඝාතනයක් ද ඒ අතරට එකතු කරමිනි.

ගල්කිස්සේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුමක් මේ ඝාතන ද්විත්වයට හේතු විය. ඒ හේතුවෙන් ඉකුත් ජනවාරි 7 වැනිදා අලුයම 4.30ට පමණ පුද්ගලයන් දෙදෙනකු එලෙස ඝාතනය වූයේ ගල්කිස්ස, වටරප්පල මාර්ගයේ නිවෙසක් ඇතුළත සිදුවූ වෙඩි තැබීමකිනි.

මෝටර් බයිසිකලයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ නිවසටම පැමිණ එම වෙඩි තැබීම සිදුකර තිබුණේ 9 එම් එම් වර්ගයේ පිස්තෝලයකින් සහ ගල්කටස් වර්ගයේ තුවක්කුවකිනි. එම වෙඩි ප්‍රහාරයෙන් 36 හැවිරිදි සුදත් ගෝමස් හෙවත් මනෝ එම නි‍ෙවස තුළම ඝාතනය කරද්දී 21 හැවිරිදි චානක විමුක්ති හෙවත් සඳුන් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූයේ එදිනම පෙරවරුවේය.

එලෙස ඝාතනය වූයේ දැනට බන්ධනාගාරගතව සිටින ගල්කිස්ස, වටරප්පල මාර්ගයේ පදිංචි නුවන් හෙවත් ඇටයා නමැති පුද්ගලයාගේ බිරියගේ මල්ලි වන චානක සහ ඔහුගේ මාමා කෙනෙකු වන සුදත් ගෝමස්ය.

ගල්කිස්සේ ඇටයා යනු දැනට ඩුබායි වෙත පලා ගොස් සිටින බඩෝවිට අසංකගේ ප්‍රධානම ගෝලයෙකි. ඇටයා බඩෝවිට අසංකගේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ගල්කිස්ස ප්‍රදේශයේ ජාවාරම් කළ ප්‍රධානම ගෝලයෙකි. ඔහු ගිය වසරේදී හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කර සිටී.

මෙම ද්විත්ව ඝාතනය ද දෙහිවල – ගල්කිස්ස ප්‍රදේශයේ පවතින ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි අතර ගැටුමේ ප්‍රතිඵලයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි දෙකෙන් එක් පාර්ශ්වයක් මෙහෙයවන්නේ බඩෝවිට අසංකය. අනෙත් පාර්ශ්වය කොස් මල්ලි සහ චූවා සමන්ත මෙහෙයවති. එම පාතාල කල්ලි ප්‍රධානීන් තිදෙනාම මේ වන විට රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බව සැල වේ. දෙහිවල සහ ගල්කිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සීමා නිර්ණයන් නිසා හටගෙන ඇති දෙපාර්ශ්වයේ මිනී මරා ගැනීම නිසා ඉකුත් 7 වැනිදා සිදුවූ ද්විත්ව ඝාතනය සමඟ මේ වන විට ඝාතන 6ක් සිදුවී අවසානය. එලෙස ඝාතනය වූ දෙදෙනාගේ ඥාතියා වන ගල්කිස්සේ ඇටයා ද මීට පෙර එනම් පසුගිය අගෝස්තු මාසයේ 19 වැනිදා දෙහිවල, ඕබන් පෙදෙසේදී ඝාතනය කිරීමට කොස් මල්ලි විසින් භූත කළුවා නමැත්තා යොදාගෙන සැලැසුම් කෙරුණ ද එදින එම කුරුමානම වෙඩික්කරුට වැරැදි ගියේ වෙනත් පුද්ගලයකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබමිනි. එදින කොස් මල්ලි විසින් භූත කළුවා යොදාගෙන ඇටයා සහ බඩෝවිට අසංකගේ තවත් ප්‍රධානතම ගෝලයෙක් වන සැන්ඩෝ ද ඝාතනය කිරීමට සැලැසුම් කර තිබිණි.

එදා සිට ආරම්භ වූ දෙහිවල – ගල්කිස්ස මෙකී දෙපාර්ශ්වයේ වෙඩි පත්තුවීමෙන් මුල්ම ඝාතන ත්‍රිත්වය සිදුවන්නේ ඉකුත් සැප්තැම්බර් 15, 18 සහ 20 යන තෙදින තුළය.

එහිදී 15 වැනිදා ගල්කිස්ස, බඩෝවිට හතරවැනි අදියරේ නි‍ෙවසක සිටියදී තරිඳු සුවාරිස් සහ 18 වැනිදා කළුබෝවිල, සරණංකර පාරේ හෝටලයක් කළ නායගම් විශ්වඥානම් හෙවත් ආනන්ද යන දෙදෙනා ඝාතනය චූවා සමන්ත සහ කොස් මල්ලි දෙපාර්ශ්වය විසින් සිදුකළ බව අනාවරණය විය. එම ද්විත්ව ඝාතන සිදු කළ වෙඩික්කරු ද මේ වන විට පොලීසියට කොටුවී අවසානය. තරිඳු සුවාරිස් ඝාතනය කර තිබුණේ චූවා සමන්තගේ ගෝලයකු ඝාතනය කිරීමට ගිය මොහොතක ඔහු නිවසේ නොසිටි හෙයින් අනතුරුව එම පුද්ගලයාගේ පුත්‍රයා කපාකොටා බරපතළ තුවාල කිරීමේ සිදුවීමක්ද මූලික කරගෙනය. අනතුරුව විශ්වඥානම් ඝාතනය ද තරිඳුගේ අවමංගල්‍යයට කෑම සපයමින් දැක්වූ සහාය ඇතුළු ඔහු බඩෝවිට අසංකගේ සමීපතමයකු වූ නිසා බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

ආනන්ද ඝාතනයෙන් දින දෙකකට පසු එනම් සැප්තැම්බර් 20දා පෙරවරුවේදී දෙහිවල, නැදිමාල ක්‍රීඩාංගණය අසලදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කෙරිණි. ඒ, එම ඝාතනය ඊට පෙර සිදුවූ ඝාතන ද්විත්වයට එකට එක කිරීමක් ලෙස සිදු වූවක් බව හෙළිදරව් විය. 20 වැනිදා එලෙස ඝාතනය වූ 46 හැවිරිදි නාරාහේන්පිටගේ අනුර කොස්තා නමැත්තා චූවා සමන්තගේ මස්සිනාය. චූවා සමන්ත විවාහ වී සිටියේ අනුරගේ සහෝදරියක සමඟිනි.

විවාහකයකු වන අනුර දෙහිවල, සරණංකර ප්‍රදේශයේ ගුණාලංකාර පාරේ පදිංචිකරුවෙකි. ඔහු දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ රැකියාවක නිරත විය. බඩෝවිට අසංක සහ චූවා සමන්ත, කොස්මල්ලි දෙපාර්ශ්ව අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ සීමා මායිම් නිසා ඇතිවී තිබෙන ගැටුමෙන් ඝාතනය වූ අනුර කොස්තා වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එවකට බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ ඇතුළු කණ්ඩායමට හැකි විය. ඒ ඉකුත් නොවැම්බර් 18 දා හෝමාගම, පනාගොඩ ප්‍රදේශයේදී කළ වැටලීමකිනි. ඒ චරියා නමැත්තා අත්අඩංගුවට ගනිමිනි. ඔහුගේ පාපෝච්චාරණය අනුව එම ඝාතනයට අදාළ යතුරුපැදිය පැදවූ අතුරුගිරිය, මොරටුවාහේනේ පදිංචි 27 හැවිරිදි පොඩි ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

මේ අතර මෙකී දෙපාර්ශ්වයේ ගැටුම් හේතුවෙන් සිදුවන ඝාතනයක් ලෙස ඉකුත් නොවැම්බර් 13 දා රාත්‍රියේ ද ගල්කිස්ස, බඩෝවිටදී තවත් ඝාතනයක් සිදු විය. නාඳුනන තුවක්කුකරුවකු විසින් ටී56 ගිනි අවියක් භාවිත කරමින් ඝාතනය කෙරුණේ බඩෝවිට පදිංචිව සිටි ගයාශාන් චතුරංගය. එක්දරු පියෙකු වූ ගයාශාන් බඩෝවිට අසංකගේ සමීපතමයෙකි. ඔහු බඩෝවිට අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මෙරටදී උපයන මුදල් එකතු කළ අයෙකි.

මෙකී දෙපාර්ශ්වයේ ගැටුම් නිසා බඩෝවිට අසංකගේ පාර්ශ්වයේ පස්දෙනෙකු මියයද්දී කොස් මල්ලි සහ චූවා සමන්තගේ පාර්ශ්වයෙන් ද එක් අයෙකු ලෙස මේ වන විට සයදෙනෙකු ඝාතනය වී අවසානය.

මෙකී ඝාතන වැල පිළිබඳ විමර්ශන සිදු කරන ගල්කිස්ස මූලස්ථාන පොලීසියට අමතරව බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය කාලය තුළදී එම ඝාතනවලට අදාළ තුවක්කුකරුවන් සහ පැදිකරුවන් ද අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඉකුත් නොවැම්බර් 18 දා හෝමාගම, පනාගොඩදී ටී8 වර්ගයේ ගිනි අවියක් සමඟ චරියා අත්අඩංගුවට ගැනුණේ ඔහු කොස් මල්ලිගේ ඥාතියකු ඝාතනය කිරීමට එමින් සිටියදී බව ද හෙළි විය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නිසා මරාගන්නා මෙකී දෙපාර්ශ්වයේ ගැටුම තවත් ඝාතන කීයකින්නම් අවසන් වේ ද යන්න තිබෙන ප්‍රහේලිකාවකි. එම නිසා පාතාල මර්දන විශේෂ පොලිස් කණ්ඩායම් හෝ යොදවා මෙකී ඝාතන වැලට තිත තැබිය යුතු කාලය දැන් එළැඹ ඇති සෙයක් පෙනේ.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division