Home » රෝගී වූ ව්‍යාපාරිකයාගේ බිරිය රවටා රන් බඩු ඉස්සූ කපුවයි ගෝලයයි ඇල්ලුවේ මෙහෙමයි

රෝගී වූ ව්‍යාපාරිකයාගේ බිරිය රවටා රන් බඩු ඉස්සූ කපුවයි ගෝලයයි ඇල්ලුවේ මෙහෙමයි

by thanushika
January 11, 2025 12:30 am 0 comment

හොර කපුවන්ට, තක්කඩි කට්ටඩියන්ට හසුවී අතේ තියෙන තුට්ටු දෙක පවා නැති නාස්ති කර ගත් අසරණ අහිංසක මිනිසුන් ගැන අසා නැති කෙනෙක් නම් ඉන්නට නොහැකිය. මිථ්‍යා විශ්වාසවලම එල්බගෙන සිටින සමහර අය මේ තක්කඩියන්ගේ ගැට, උගුල් සහ වංචාවලට හසුවන්නේ නිතැතිනි.

අසරණ අහිංසක මිනිසුන් ඉතා සූක්ෂ්මව රවටා යාතිකා සිදු කරන මුවාවෙන් ඔවුන් සත්කයේ ඇති රන් ආභරණ ද සොරකම් කර පලා යන තක්කඩි කට්ටඩියන් ගැන පසුගිය කාලයේ පුවත් ගණනාවක්ම ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. මේ එවැනි කතාවකි.

බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකදී මේ කතාව හෙළි විය.

ඔහු බොරලැස්ගමුව ගංගාරාම පාරේ පදිංචි ව්‍යාපාරිකයෙකි. ඔහු සිය ව්‍යාපාරය ලෙස සිදු කරගෙන ගියේ ඇලුමිනියම් භාණ්ඩ නිෂ්පාදනයයි. මේ අතර ව්‍යාපාරිකයා හදිසියේ රෝගී වූ අතර ඔහු රෝහල්ගත කරන්නේ ව්‍යාපාරිකයාගේ බිරිය විසිනි.

එලෙස රෝහලට ඇතුළු කරනු ලැබූ ව්‍යාපාරිකයා තමන් පැලඳ සිටි රුපියල් ලක්ෂ 22ක් පමණ වටිනා රන් ආභරණ සහ ජංගම දුරකතනය සිය බිරියට දෙන්නේ ඒවා පරෙස්සම් සහිතව නි‍ෙවසට ගෙන ගොස් එහි ආරක්ෂිතව තබන ලෙස පවසමිනි.

සැමියාගේ රන් ආභරණ සහ ජංගම දුරකතනය රැගෙන නි‍ෙවසට ආ බිරිය ඒවා ආරක්ෂිතව තබා තිබියදී සැමියාගේ ජංගම දුරකතනයට කිසිවකු ඇමතුමක් දෙන්නේ පසුදා උදෑසනය. මේ ඇමතුමට ව්‍යාපාරිකයාගේ බිරිය පිළිතුරු දුන්නාය.

එලෙස ඇමතුම දුන් පුද්ගලයා පෙනී සිටියේ ‘කපු මහතකු’ ලෙසය. ව්‍යාපාරිකයාගේ බිරිය ඇමතූ ඔහු පවසා ඇත්තේ ව්‍යාපාරිකයා හදිසියේ රෝගාතුර වී ඇත්තේ කිසිවකු විසින් සිදු කරන ලද කොඩිවිනයක් නිසා බවයි. එම කොඩිවිනය ඉවත් කිරීම සඳහා එදිනම ශාන්තිකර්මයක් සිදු කළ යුතු බවත් නැත්නම් ව්‍යාපාරිකයාගේ පවුලටම බරපතළ හානියක් සිදුවන බවත් ඔහු පවසා තිබිණි.

මින් කලබලයට පත් ව්‍යාපාරික බිරිය ඒ ශාන්තිකර්මය සඳහා එකඟ වූවාය. කපු මහතා ලෙස පෙනී සිටි පුද්ගලයා එදිනම ශාන්තිකර්මය සඳහා අවශ්‍ය කළමනා ද රැගෙන බොරලැස්ගමුව ගංගාරාම පාරේ පදිංචි ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට පැමිණ ඇත.

එදින දවස පුරා ඔහු ශාන්තිකර්මය කරන අතරතුරදී ව්‍යාපාරිකයාගේ බිරියට පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ කොඩිවිනය ඉවත් කිරීම සඳහා ඔහු පලඳින ස්වර්ණාභරණවලට ද ශාන්තිකර්මයක් සිදු කළ යුතු බවයි. රන් බඩුවලට අදාළ ශාන්තිකර්ම සඳහා නැවුම් මුට්ටියක් සහ සුදු රෙදිකඩක් කපු මහතා විසින් ඉල්ලා සිටින්නේ ඔය අතරය.

ව්‍යාපාරිකයාගේ බිරිය සැමියාට අයත් රන් ආභරණ කපු මහතාට දී ඇති අතර ‘නැවුම් මුට්ටියක්’ සහ සුදු රෙදිකඩක් ද ඔහුට දී ඇත. ශාන්තිකර්මය කරගෙන යන අතරතුරේ කපු මහතා ව්‍යාපාරිකයාගේ රන් ආභරණ මුට්ටියට දමා සුදු රෙදිකඩින් වසා මල් යහන සූදානම් කළ ආසනය යටට දමා තිබේ. ඇය ද කපු මහතා කී සෑම දෙයක්ම මෙලෙස කර ඇත්තේ සත්භාවයෙනි. ඒ සැමියාට ඇති ආදරය නිසාමය. මේ ශාන්තිකර්මයෙන් පසු සැමියාගේ රෝගී තත්ත්වය ඉක්මනටම සුව වී ඔහු නැවත නි‍ෙවසට පැමිණීම ඇගේ ප්‍රධාන බලාපොරොත්තුව විය.

කපු මහතාගේ වංචනික ක්‍රියාව සිදුවන්නේ මේ අතරතුරේදීය. කපු මහතා ලෙස පෙනී සිටි පුද්ගලයා ඔහු කලින් සූදානම් කර ගත් ව්‍යාජ රන් ආභරණ සියල්ල මුට්ටියට දමා එහි තිබුණු සැබෑ ආභරණ ඔහු සන්තකයට ගෙන මුට්ටිය කලින් තිබුණා සේ රෙදිකඩකින් වසා දමා තිබේ. ඉන් අනතුරුව ද ඔහු ශාන්තිකර්මය දිගටම සිදු කරගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව දහවල් වෙද්දී අදාළ ශාන්තිකර්මය නතර කළ කපු මහතා ව්‍යාපාරිකයාගේ බිරියට කතා කර රන් ආභරණ සහිත මුට්ටිය ඇගේ අතට දී ව්‍යාපාරිකයා සුව වී නිවසට පැමිණ සතියක් යනතුරු මුට්ටිය කිසිම ආකාරයකින් විවෘත නොකරන ලෙස පවසා එම ආභරණ සහිත මුට්ටිය නිවෙසේ වැඳුම් පිදුම් සිදුකරන බුදු පිළිමය අසල තැන්පත් කරන ලෙස ඉල්ලා පිටවී ගොස් ඇත.

ව්‍යාපාරිකයාගේ බිරිය පසුදින එම මුට්ටිය සොලවා බලා ඇති අතර රන් භාණ්ඩ සෙලවන හඬ ඇසී මුට්ටිය වසා තිබුණ රෙදිකඩ ටිකක් මෑත් කර බලද්දී තමා කපුවාට දුන් රන් භාණ්ඩ එතුළ නොමැති බව දැක තමා වංචනිකයකුට හසුවූ බව සිතා එදිනම ඒ ගැන බොරලැස්ගමුව පොලිසියට පැමිණිලි කළාය. පොලිසිය කළ මූලික විමර්ශනයේදී හෙළි වූයේ හොර කපුවා ව්‍යාපාරිකයාගේ බිරිය අන්දා සැබෑ රන් ආභරණ වෙනුවට ව්‍යාජ ආභරණ මාරු කර ඇති බවයි.

ඒ අනුව ඒ ගැන ‘විද්‍යාත්මක විමර්ශනයක්’ සිදු කරන ලද බොරලැස්ගමුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සොයා ගන්නේ හොර කපුවා ඒ වන විටත් ව්‍යාපාරිකයාගේ බිරියගේ ඥාතීන් සිටින නි‍ෙවසකට ගොස් එම නිවෙසේ ඇතැයි කියන නිධානයක් ලබාගැනීම සඳහා කපුවකු ලෙසින් කතාකර නිවැසියන් අන්දා පවුලේ විස්තර විමසා ඇති බවයි.

ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් එම ඇමතුම ලබාදුන් 20 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ අරණායක ‘පැඟිරි හන්දියේ’ පදිංචි වෙද මහතකු ලෙස පෙනී සිටින 30 හැවිරිදි පුද්ගලයකු පිළිබඳවය. එම සැකකරු අල්ලාගෙන ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ව්‍යාපාරිකයාගේ බිරිය ‘අන්දා’ ලබාගත් රුපියල් ලක්ෂ 22 වටිනා ස්වර්ණාභරණ සියල්ල සොයා ගැනීමට පොලිස් නිලධරයනට හැකි විය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දීප්ති කුමාරගේ අධීක්ෂණයෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්නගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. එම්. එම්. ආසිරි ජයසූරිය, උපපොලිස් පරීක්ෂක අසංක, කොස්තාපල්වරුන් වන (52857) විපුල, (79563) රූපසිංහ, (94121) ඒකනායක යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – සමීර අබේසිංහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division