මේ කෙටි නවකතාව ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලන සමයේදී එරට වැසියන්ට මුහුණ පාන්නට සිදු වූ කටුක අත්දැකීම් විදහා පාමින් ඩෙබෝරා එලිස් (Deborah Ellis) නම් පර්යේෂිකාවක විසින් ලියන ලද, එකිනෙකට අසම්බන්ධිත කෘති පහකින් සමන්විත එකතුවේ පළමුවැන්නයි.
ඩෙබෝරා එලිස් යනු (උපත: 1960) කැනේඩියානු සමාජ ක්‍රියාකාරිනියකි. පර්යේෂිකාවක ද වන ඇය ප්‍රබන්ධ ලේඛිකාවක් ද වෙයි. ඇයගේ තේමා බොහෝ විට තුන්වැනි ලෝකයේ පීඩාවට පත් දරුවන්ගේ දුක් වේදනා වටා ගෙතුණු ඒවාය. යුද විරෝධී සංවිධාන කිහිපයක සේවය කළ ඇය සිය සංචාරවලදී මුණගැසුණු සහ සාකච්ඡා කළ පුද්ගලයන් ඇසුරෙන් නිර්මාණ ඉදිරිපත් කළාය.
The Breadwinner එබඳු නිර්මාණයකි. මෙහි එන කතන්දරය සත්‍යයම නොවනවා විය හැකි නමුත් යථාව එය වෙයි. Breadwinner යන්නේ අරුත පවුලක් නඩත්තු කරන්නා යනුයි. මෙහි එන්නේ මුඛ්‍ය භූමිකාව වන පර්වානා තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය පාලනය අත්පත් කරගැනීමෙන් පසු සිය පවුල නඩත්තු කරන්න ගන්නා අවදානම ගැනය.
පර්වානා යනු ඇෆ්ගනිස්තානයේ කාබුල්හි සිය මව වන ෆටානා, පියා නුරුල්ලා, වැඩිමහල් සහෝදරිය නූරියා, ප්‍රීතිමත් බාල සොහොයුරිය මේරියම් සහ ළදරු සහෝදරයා සමඟ ජීවත් වන එකොළොස් වියැති දැරියකි. තලේබාන් සොල්දාදුවෝ ඇයගේ නිවෙසට ඇතුළු වී ඇයගේ පියා විදේශීය අධ්‍යාපනයක් ලබා ඇති බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගනිති. එනයින් පර්වානාගේ පියාට තවදුරටත් පවුලට ආදායමක් රැගෙන ඊමට හැකියාවක් නැත. නොබෝ දිනකින්ම, ඇයගේ මව මානසික අවපීඩනයට පත් වන අතර, ඇය සිය තුනී මෙට්ටයටම වී නොසෙල්වී සිටියි. තලේබාන් නීතිය අනුව පිරිමියකු සමඟ මිස කාන්තාවන්ට නිවෙසින් බැහැර වන්නට අවසර නැති බැවින් ඇයගේ පවුලේ තත්ත්වය දරුණු වේ.
මේ අතර පර්වානාගේ මවට උපකාර කරන්නට පවුලේ හිතවතියක වන වීරා මහත්මිය පැමිණෙයි. ඇය නිවෙසේ වගකීම භාර ගනී. විකල්පයක් නැති හෙයින් පර්වානා පිරිමි වෙස් ගෙන, පියා පවත්වාගෙන ගිය ලියුම් කියවා තේරුම් කර දීම සහ පිළිතුරු ලිපි ලියා දීම අරඹයි. මෙහිදී පර්වානා කෙස්ස කොටට කපා, නැසීගිය වැඩිමහල් සහෝදරයාගේ ඇඳුම් හැඳ, කොලු වෙස් ගනියි. දැන් ඇය පර්වානා නොවේ; කාසිම් ය.
දෙතුන් දිනක් ගත වේ. දවසක් තේ විකුණන කොල්ලෙක් කාසිම්ගේ නෙත ගැටේ. ඒ තලේබාන් අණින් වසා දමා ඇති පාසලේ තමා හා එකට අකුරු කළ ෂවුසියා බව ඇය වටහා ගනී. දැන් ඇය ෂෆීක් ය. ෂෆීක් අලුත් ව්‍යාපාරයක් ගැන කාසිම් සමඟ සාකච්ඡා කරයි. ඒ මිනී වළවල් හාරා, ඇටකටු ගොඩ ගෙන විකිණීමය. එයින් ඔවුහු සෑහෙන ගණනක් උපයති. ෂයික්ගේ අරමුණ කෙසේ හෝ මුදල් එකතු කරගෙන පලා යන්නය. එයට ‘ඔහු’ගේ ගෙදර පරිසරය හේතු වෙයි. එහෙත් කාසිම්ට එසේ නොවේ. ‘ඔහු’ පවුලේ අය සමඟ තදින් බැඳී සිටින හෙයින් එසේ කළ නොහැකිය.
පියා නැති පවුලේ බරට පර්වානා උර දෙන ආකාරය විස්මිතය. පොත පුරා පර්වානා ඇයගේ වැඩිමහල් සොහොයුරිය නූරියාට මෙන්ම අනෙක් අයටද ඇති බැඳීම ගැන කියවෙයි. නූරියාට එන විවාහ යෝජනාවකට අනුව ඇය මසාර්-ඉ-සරිෆ් නම් ගමේ තරුණයකුට විවාහ කර දෙන්නට මව සූදානම් වේ. පර්වානා මුලදී එයට සිය නොරුස්නා බව පළ කළත්, පසුව ඇයට සිදු වන යහපත සලකා ඊට කැමැති වෙයි. ඒ ගම තවමත් තලේබානුන් අල්ලාගෙන නැත. විවාහ වී එහි ගිය විට තමාට පාසල් යන්න හැකි වනු ඇතැයි නූරියා සිහින මවයි. ඒ අනුව දිනෙක පෙරයමටත් පෙර පර්වානා හැර පවුලේ අනෙක් අය ට්‍රක් රියකින් එගම බලා පිටත්ව යති.
පර්වානා වීරා මහත්මිය සමඟ කාබුල්හි රැඳී සිටී. දිනෙක සැන්දෑවේ ඇයගේ ව්‍යාපාරික කටයුත්ත අවසන් වූ පසු ඇයට මසර්-ඊ-ෂරීෆ් වෙතින් පලා ආ දැඩි ලෙස කලබලයට පත් ගැහැනු ළමයෙක් හමු වේ. හෝමා නම් ඇය දැඩි ලෙස බියපත් ව සිටී. පර්වානා රැයේ ඇය සිය නිවෙසට කැටුව යන්නීය. තමා මසාර්-ඉ-සරීෆ් ගමේ සිට පලා ආ බවත්, ඊට හේතුව ඒ ගම් එදා තලේබාන්නුන්ගේ ග්‍රහණයට නතු වූ නිසා බවත් ඇය පවසයි. ඉක්මනින්ම හෝමාගේ පවුලේ ඇත්තන් තලේබාන්වරුන් විසින් ඝාතනය කරන ලද අතර, ඕ දිවි ගලවා ගන්න සමත් වූවා ය. වීරා මහත්මිය හෝමාගේ ගැලවීම ගැන සතුට පළ කරයි. එහෙත් ඇයට සහ පර්වානා යන දෙදෙනාටම තවදුරටත් සතුටු විය නොහැකි ය. මන්ද යත්: පර්වානාගේ පවුලේ සෙසු අය මසාර් බලා එදින පිටත්ව ගිය හෙයිනි.
පර්වානාගේ පියා නිදහස ලබා පෙරළා පැමිණියද, ඔහු බෙහෙවින් දුබලය. වීරා මහත්මිය, හෝමා සහ පර්වානා ඔහුට සුවය සලසා දෙති. පර්වානා සහ පියා සරණාගත කඳවුරක සිටිතියි සැක කරන සිය පවුලේ අය සෙවීම සඳහා ට්‍රක් රථයක පිටුපස සැඟවී මසාර් වෙත නික්ම යති. ඒ රැයේ තමාට විවාහ කර දෙන්නට ගෙදරින් ගෙනෙන යෝජනාවට එරෙහිව පලා යෑමට සැලසුම් කර සිටින ෂවුසියා, තම සැලසුම පර්වානා සමඟ පවසයි.
මෙතැන් සිට වසර විස්සකින් පසු එළඹෙන දිනෙක ප්‍රංශයේ අයිෆල් කුලුනු මුදුනේදී එකිනෙකා හමු වන්නට ගිවිස ගන්නා පර්වානා සහ ෂවුසියා එකිනෙකාගෙන් වියෝ වෙති.
මේ පොතට 2002 වසරේ Peter Pan Prize, Middle East Book Award ඇතුළු සාහිත්‍ය සම්මාන කිහිපයක් ලැබී ඇත. මේ නවකතාවට පසුව 2002දී Parvana’s Journey, 2003දී Mud City, 2012දී My Name is Parvana සහ 2022දී One More Mountain යන අනුප්‍රාප්තික කෘති 4 නිකුත් විය.
‘දිරිය දැරිය’ මෙත්තිකා විතානගේගේ පරිවර්තනයකි. ඇය මෙය කරන සමයේ සබරගමුව විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකි. වර්තමානයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ඇය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානය දිනාගත් ලොව පසිඳු පරිසර පර්යේෂිකාවකි.