දුරුතු මාසය සීතලය. අදින් වසර 49කට පෙර එක්තරා දුරුතු මාසයක් වඩාත් සීතල කඳුළු බින්දුවක් වී සිත රිදවූ අයුරු මගේ මතකයේ තිබේ. ඒ ළබැඳි කිවිඳු මහගම සේකරයන් අප අතැර ගිය 1976 දුරුතු මාසයයි.
‘මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ
අත් අකුරෙන් ලියනු මැනව
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි අඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට ඇසේවි’
සේකර සුවහසක් සහෘදයන්ගෙන් එසේ ඉල්ලා තිබිණි. නන්නාඳුනන රසිකයන් තනි කර සේකර ඉක්මනින් පිටව ගියේය. හිස් අතින් ගිය නමුදු ඔහු අපට මනුෂ්‍යත්වයේ සෞන්දර්යය, සොබාදහමේ අපූර්වත්වය, සත්‍යයේ රමණීයත්වය පිළිබඳ මහා කාව්‍යාවලියක් ඉතිරි කොට ගියේය. මළහිරු බසිනා එක් හැන්දෑ යාමයක සිංහල සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කළ සොඳුරු කවියා රදාවාන තුන්මංහන්දියේ ධවල චිතකයෙන් නැඟුණු දුම්රොටු අතරින් සැඳෑ වලාවන්ට මුසු විය.
කූඹි ගුලක් සේ ඇවිස්සුණු කලබලකාරි මිනිසුන්ගෙන් මිදුණු, කොළඹ නගරයෙන් ඔබ්බෙහි, තිත්ත පැටවුන් පීනන වෙල්එළිවලින් සැදුණු, කුඩා වන රොදින් ගැවසුණු සෞන්දර්ය ප්‍රවාහයක් බඳු රදාවාන ගම්මානයේ සරල ජීවන අන්දරය ගීතයේ, කවියේ, නවකතාවේ, සිනමාවේ තවරා තිළිණ කොට අප දෝත මත තබා සේකර අපෙන් සමුගත් බව කෙසේ නම් අමතක කරන්නද?
මහගම සේකරගේ නිර්මාණ ගැන ඒවායේ දාර්ශනික පදනම ගැන විද්වතුන් බොහෝ දේ ලියා ඇත. විවිධ දෘෂ්ටිකෝණවලින් සේකර විනිවිද දකිමින් ඔවුන් හෙටත් බොහෝ දේ ලියනු ඇත. ‘නොමියෙමි’ කියා ලියූ සේකර මියයන්න මොහොතකට පෙර ඔහුගේ ලියන මේසය මත සුදු කඩදාසියක ‘එක්තරා මිනිසෙක්’ යනුවෙන් සටහන් කර, කිසිවක් ලියන්න ආරම්භ කළ කල්හි ඔහුගේ සුරතින් පෑන ගිලිහී තිබිණි. ඔහුගේ සිතිවිලි පරම්පරාව කොතරම් ගැඹුරු ද, කොතරම් පරාසයක පැතිර තිබුණා ද යන්න ඔබට මට අනුමාන කළ හැකි ද?
මහගම සේකර නම් උස් කඩවසම් සිරුරක් හිමි නිහඬ මිනිසාගේ සැබෑ ජීවන අන්දරය ගැන ලියවී තිබෙන්නේ ඉතා අඩුවෙනි. සේකරගේ වියෝවෙන් වසර 49ක් පිරෙන අද වැනි දිනෙක තුරුණු වියේ ඔහු ඇසුරෙන් ලද ජීවන සෞන්දර්යය වර්තමාන සහෘදයන් වෙත තිළිණ කිරීම මැනවයි හැඟේ.
සේකර සිය සියලු නිර්මාණ අනුභූති අහුලා ගත්තේ රදාවාන, කිරිඳිවැල, කන්නිමහර ආදී නාගරික දුම්රොටුවලින් අපවිත්‍ර නොවූ, කුරුල්ලන්ගේ ගී හඬ පමණක් ඇසෙන ගම්වලිනි. එකල රදාවානේ ඇවිද ගිය අපට සේකරගේ කාව්‍යයන්හි චරිත නිරන්තරව හමු විය. එහෙත් අප නොදුටු ඒ චරිතයන්ගේ ජීවන සිත්තම් කඩදාසි මත පින්තාරු කළේ සේකරය.
සේකර ජීවත් වූ මහවත්තේ ගෙදර පිහිටා තිබුණේ තුන්මංහන්දියෙන් කිරිඳිවැල දිවෙන පාරේ කුඩා රෝහලටත්, මුදුන් පිට කන්දටත් ඔබ්බෙන් වූ කඩමණ්ඩියෙන් වම් ඇලයේ පිහිටි කඳු ගැටයක් මතය. මම එකල නිතර මහවත්තේ ගෙදරට ගියෙමි. රෙද්දත් හැට්ටයත් ඇඳි සේකරගේ අම්මා සේකර සහ ඔහුගේ තාත්තා මෙන්ම කාල වර්ණ සිරුරින් යුතු තැනැත්තියක් වූවාය. ඕ තොමෝ සිය සුදුපැහැ ගැන්වුණු කොණ්ඩය බැඳ සිටියාය. මහවත්තේ ගෙදරට ගිය හැම දිනකම වාගේ මගේ මතකයේ තිබෙන්නේ වත්ත පහළ සිට කිසිවක් රැගෙන විත් එය බිතක්කන මත දමා පෑළ දොරින් ගෙට ඇතුළු වන සේකරගේ අම්මාය.
සේකරගේ තාත්තා සේකර මෙන්ම උස්ව වැඩුණු සිරුරක් හෙබි තැනැත්තෙකි. ඔහු සරම ඇඳ, උඩුකය නිරුවත්ව සිටියේය. ඔහු ද සුදුපැහැ ගැන්වුණු කොණ්ඩය බටුගෙඩියක් තරමට බැඳ සිටි අයෙකි. දකින හැම විටම වාගේ කුඩා තුවායක් ඔහුගේ උරහිසෙහි විය. අම්මා මුළුතැන්ගෙට ගොස් නොබෝ වේලාවක් යන්න මත්තෙන් ජීවන්දර අත වයිරන් වැටුණු පැරණි පිරීසි කෝප්පයක හකුරු සමඟ තේ කහට ආලින්දයට එවුවාය. මහවත්තේ ගෙදර මිදුලේ විසල් අඹ ගසකි. අඹ ගස වෙළාගෙන ඉහළට නැඟුණු රසකිඳ වැලකින් රූරා වැටෙමින් තිබූ රසකිඳ රැහැන් අඹ ගස මුදුනේ සිට බිමට පාත් වී මඳ සුළඟේ ලෙළෙමින් තිබිණි. සුළඟේ පාවී විත් මිදුලේ සිටින අප වෙළා ගන්නා රසකිඳ වැල් අපට හංකිති කැවුවේය.
මහවත්තේ ගෙදරට කිසිවකු පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන තැනැත්තා කුඩා කඳුගැටය නැඟ ආ යුතුය. නිවෙසේ ආලින්දයේ අසුන් ගෙන සිටි කෙනකුට මුලින්ම දිස් වන්නේ පැමිණෙන තැනැත්තාගේ හිසය. කඳ කොටස ටිකෙන් ටික දිස් වනුයේ ඔහු කන්ද නඟිමින් නිවෙසට සමීප වෙද්දීය. සේකර ගුවන්විදුලියට සම්බන්ධව සිටියදී එවකට තනිකඩයකු වූ අමරදේවයෝ ඇතැම් දිනක සේකර සමඟ මහවත්තේ ගෙදරට පැමිණියහ. එසේ එන විට ගෙදර ඇත්තන්ට අමරදේවයන්ගේ හිස පෙනෙනුයේ සේකරගේ හිස දැක සෑහෙන වේලාවකට පසුවය.
අප මහවත්තේ ගෙදරට යන්නේ සති අන්තයේ දිනවලය. අප එහි ගිය බොහෝ අවස්ථාවල සේකර ගෙදර සිටියේය. දිනක් ඔහු තියුණු කෙටි පිහියකින් තරමක් ඝනකම් කෝටුවක මල් කපමින් සිටියා මට මතකය. ඇතැම් දිනක කුඩා ටීපෝවක් මත තබන ලද. සුදු කඩදාසියක ඔහු දියසායමින් සිතුවමක් අඳිමින් සිටියේය. ඔහු චිත්‍රය අඳින අයුරු මා බොහෝ වේලා බලා සිටින විට සේකර මෙසේ පැවසීය:
“ලංකාව වගේ උණුසුම් රටවල දියසායම් චිත්‍ර අඳින්න අමාරුයි. පින්සල උඩ ඉඳලා පහළට ගන්න ඉස්සර තීන්ත වේළෙනවා. එතකොට අපිට වුවමනා විදිහට වර්ණ ගන්න බෑ.”
නිවෙසේ ඉදිරිපස කාමරයේ සේකර නිඳන ඇඳ, ලියන මේසය සහ පොත් අල්මාරිය තිබිණි. පොත් අල්මාරිය අවුස්සන්නත්, කැමැති පොතක් ගෙන ගොස් කියවා නැවත ගෙනැවිත් තබන්නත් අපි පුරුදුව සිටියෙමු. ඔහුගේ නිඳන ඇඳ යට ඔහු විසින් පරිවර්තනය කරන ලද ‘ධවල සේනාංකය’ පොත් මිටි කිහිපයක් විය. ඇඳ යට දුහුවිලි බැඳුණු සපත්තු ජෝඩුවක් ද තිබිණි.
“ඔය සපත්තු ජෝඩුව අයියගේ. ඕක අයියා ගත්තේ අමෙරිකාවේ යන්න. අයිය ඒ ගමනින් පස්සේ කවදාවත් ඕක දැම්මේ නැහැ. අයිය සපත්තු දාන්න කැමැති නැහැ; සෙරෙප්පු තමයි දාන්නේ. ඕක මටත් ලොකු වැඩියි…” ජීවන්දර කීවේය.
ජීවන්දර සේකරගේ තාත්තාගේ මල්ලිගේ පුතාය. ඔහු මහවත්තේ ගෙදරට වැටී තිබුණේ කුඩා කාලයේමය. පුංචි අම්මාගේ තනි නොතනියට මහවත්තේ ගෙදර නතර වූ ඔහු එහි සිටම පාසල් ගියේය. පොත් අල්මාරියේ කෙළවරක ප්‍රයෝජනයට නොගත් කුඩා සමරු පොත් කිහිපයක් තිබිණ. ඒවායේ තිබුණේ කාබන් පෑනෙන් ලියන ලද නිසදැස් කවි හා ගී පදය. ඇතැම් දිනක මම සේකරගේ ඇඳ මත වාඩි වී එම කවි කියවා ඇත්තෙමි. ඒ එකම එක කවියක් යන්තම් මගේ මතකයේ රැඳී තිබේ:
‘මරදාන ස්ටේසම කෙළවරේ
කුඩා සුදු අරලිය මල් ගසක
පිපුණු එකම එක මල් පොකුර
කළුපාට වී තිබුණා…’
සේකර විවාහ වන්නට පෙර ජීවන්දර මහවත්තේ ගෙදර සිටියේ වැඩිහිටියන් තිදෙනාත් සමඟය. නිවෙසේ වූ එකම කාන්තාව අම්මා පමණි. ඔවුන් සියල්ලෝම බිණීමෙහි ලොබ වූහ. ජී.බී. සේනානායකගේ වචනවලින් කිව හොත් ඔවුහු වචන මසුරෝය. මහගම සේකරට ස්වකීය සිතිවිලි සියල්ල සිංහල භාෂාවේ වචනවලට නඟන්නට මේ නිහඬ බව උපස්තම්භක වී යයි මට සිතේ.
සේකර මහා කවියකු වුවද ඔහු ලියූ ප්‍රථම කවි පදයට වේවැල් පහර තුනක් කා තිබිණි. එය සිදුව තිබුණේ කිරිඳිවැල කන්ද උඩ ඉස්කෝලේ ඉගෙනුම ලබද්දීය. පන්තිය භාර දසනායක ඉස්කෝලේ මහත්තයා කුකුල් කේන්තිකාරයෙකි. පොඩි වැරැද්දක් අසු වුව හොත් පන්තියේ ළමයින් හැමෝටම කෙළවරක සිට අතින් පහර දුන්නේය. එක් දිනක් එසේ පහර දීගෙන එන විට සේකර කඩදාසියක කිසිවක් ලියමින් සිටියේය. දසනායක ගුරුතුමා එය දුටුවේය. සේකර වහා කඩදාසිය ගුළි කොට බිම දැමුවේය. ඒ දුටු ගුරුතුමා එය රැගෙන දෙන ලෙස ළමයකුට අණ කළේය. සේකර ලියා තිබුණේ මෙසේය:
‘දසේ පිටට බැට දෙතේ’ සේකරට වේවැල් පහර තුනක් ලැබිණි.
කිරිඳිවැල කන්දඋඩ ඉස්කෝලේ එකල ප්‍රදේශයේ කැපීපෙනුණු පාසලක් විය. සේකර කන්දඋඩ ඉස්කෝලෙට ඇතුළත් වූවාට පසු නොබෝ දිනකින්ම එහි ශිෂ්‍ය නායකයා බවට පත් විය. ඊට ප්‍රධානම හේතුවූයේ ඔහු පන්තියේ අනෙක් සිසුන්ට වඩා හැඩිදැඩි පෙනුමෙන් යුතු තරුණයකු වීමය. සේකර පාසලට ඇන්දේ සරම සහ අත් කොට කමිසයයි. එකල පාවහන් දැමීමක් නොවිණි. ශිෂ්‍ය නායකයා ලෙස සේකරට පැවරුණු වගකීම් දෙකක් විය. ඉන් පළමුවැන්න: පාසලේ කාලසටහනට අනුව සීනුව නාද කිරීමය. දෙවැන්න: ටිකක් භාරධුර එකක් විය.
ටුවිට් කෝට් එකක් සහ අළු පැහැයට හුරු සරමක් ඇඳි කන්දඋඩ ඉස්කෝලේ ලොකු මහත්තයා දියවාලේ සිට පාසලට පැමිණියේ තිරික්කලයෙනි. තිරික්කලේ දක්කන්නේ ද ලොකු ඉස්කෝලෙ මහත්තයාමය. පාසල් එමින් සිටින සිසුහු ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ තිරික්කලයේ හඬ කන වැකුණු වහා පාරේ දකුණු පැත්තට වී නිහඬව ගමන් කරති. කන්ද උඩ ඉස්කෝලේ ආරුක්කුව පාමුල තිරික්කලේ නතර කිරීමට පුරුදුව සිටි ලොකු මහත්තයා ඉන් බැස ගිය පසු සේකරගේ දෙවැනි රාජකාරිය ඇරඹිණි. ඒ වූ කලි තිරික්කලය ගෙන ගොස් සුවිශාල මාරගහ යට නවත්වා ගොනා ලිහා පාසල් වත්ත පාමුලට දක්කාගෙන ගොස් දිගේලි කිරීමය. හවස් වරුවේ ලොකු මහත්තයා ගෙදර යන වෙලාවට ගොනා ලිහාගෙනැවිත් තිරික්කලේ බැඳ එය පඩිපෙළ පාමුලට ගෙන ආවේ ද සේකරය. සේකර එය දිනපතාම තමාගෙන් ඉටු විය යුතු දේවකාරියක් ලෙස එය සැලකීය.
පසු කලෙක අප කිරිඳිවැල අනුර මහා විද්‍යාලයට නුදුරු මිල්ලතේ පදිංචිව සිටියදී සේකර නිතර අපේ නිවෙසට පැමිණියේය. එකල ඔහුට මොරිස් මයිනර් රථයක් තිබිණි. ඔහු පැමිණියේ අපේ අම්මා සහ තාත්තා සමඟ සතුටු සාමීචියේ යෙදෙන්නටය. රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ සේවය කරද්දී අපේ තාත්තාත්, සේකරත් ගුරු නිවාසයේ එකට සිට ඇත. දෙදෙනා මිතුරෝ වූහ. ගුරුවරියක මෙන්ම කිවිඳියකද වූ අපේ අම්මා කුඩා කල සිටම සේකර හැඳින සිටියාය.
දිනක් සේකර අම්මා සමඟ පවසා තිබුණේ තුන්මංහන්දිය නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් කරන්න අදහසක් ඇති බැවින් තුන්මංහන්දිය තිර පිටපත බෙනඩික් දොඩම්පේගමට භාර දුන් බවත්ය. අම්මා පවසා තිබුණේ “අනේ! ඇයි ඉතින් කාටවත් දුන්නේ චිත්‍රපටිය ඔයා කරන්නකෝ” කියාය. ඊට පසු දිනක පැමිණි සේකර පවසා තිබුණේ ෆිල්ම් එක තමාම කරන්න තීරණය කළ බවයි. ‘මහගම සේකර මහත්තයා ෆිල්ම් එකක් හදනවා’ යන සුබ ආරංචිය අපට කීවේ අම්මාය. චිත්‍රපටයේ වැඩ පටන් ගන්න පෙර සේකර මොරිස් මයිනර් රථයෙන් ලෝකේෂන් බලන්නට ගියේය. ඇතැම් විට ඒ ගමන්වලට චිත්‍රා බාලසූරිය ද එක් විය. ඒ ගමන්වලට යන්නට මට ද අවස්ථාව ලැබිණි.
“හෙට අයියා එක්ක ලොකේෂන් බලන්න යනවා” යැයි ජීවන්දර අනුර විද්‍යාලයේදී කී විට මමද ඔවුන් සමඟ එකතු වුණෙමි. එවැනි ගමන්වලදී බොහෝ විට අපට සිදු වූයේ මොරිස් මයිනරය තල්ලු කරන්නය. තුන්මංහන්දිය රූගත කරද්දි දෙල්ඕවිට පාරේ රූගත කළ ගෙදර මිදුලේ සේකර කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහත්, ජෝ අබේවික්රමත් දෙපැත්තේ තියාගෙන ෆයිල් කවරයක් මත සුදු කඩදාසියක් තබා දර්ශන තලයේ කටු සටහන් ඇඳ පෙන්නූ හැටි තවමත් මගේ මතකයේ තිබේ.
මහගම සේකරගේ ඇවෑමෙන් ඔහු තරම් ළතෙත් හදවතක් ඇති තවත් සංවේදී කලාකරුවකුට උපත දෙන්නට මගේ රටේ මහ පොළොව තවමත් සමත් වී නැත.
‘ඔප් නැඟූ විසල් මේසයක් මත
සුදුමුදු කඩදාසියක් තබා
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
‘වැඩ ඇරී එන කල ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන
හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියෙන්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
‘එසේ වුව සොහොයුරෙනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකු
අද දින තේරුම් නොගනු ඇත
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතයේ යම් දවසක
ඔබ එය ආදරයෙන්
කියවන බව මම දනිමි’
යනුවෙන් සේකර ‘ප්‍රබුද්ධ’ කාව්‍යයේ ලියා තිබිණි. සේකර වඩාත් හොඳින් කියවන්න ලෝකය මීට වඩා යහපත් වන දිනය එන තුරු අපි ඇඟිලි ගනිමින් සිටිමු.
උදේනි සමන් කුමාර