Home » සේක­ර

සේක­ර

by Mahesh Lakehouse
January 11, 2025 12:30 am 0 comment

දුරුතු මාසය සීත­ලය. අදින් වසර 49කට පෙර එක්තරා දුරුතු මාස­යක් වඩාත් සීතල කඳුළු බින්දු­වක් වී සිත රිදවූ අයුරු මගේ මත­කයේ තිබේ. ඒ ළබැඳි කිවිඳු මහ­ගම සේක­ර­යන් අප අතැර ගිය 1976 දුරුතු මාස­යයි.

‘මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නා­ඳු­නනා ඔබගේ
අත් අකු­රෙන් ලියනු මැනව
අඩ සඳ බැස­ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි අඬන රැව් අත­රින්
එත­කොට ඒ ගී රා­වය
හීන් හඬින් මට ඇසේවි’

සේකර සුව­හ­සක් සහෘ­ද­ය­න්ගෙන් එසේ ඉල්ලා තිබිණි. නන්නා­ඳු­නන රසි­ක­යන් තනි කර සේකර ඉක්ම­නින් පිටව ගියේය. හිස් අතින් ගිය නමුදු ඔහු අපට මනු­ෂ්‍ය­ත්වයේ සෞන්ද­ර්යය, සොබා­ද­හමේ අපූ­ර්ව­ත්වය, සත්‍යයේ රම­ණී­ය­ත්වය පිළි­බඳ මහා කාව්‍යා­ව­ලි­යක් ඉතිරි කොට ගියේය. මළ­හිරු බසිනා එක් හැන්දෑ යාම­යක සිංහල සාහි­ත්‍යයේ නිම්­ව­ළලු පුළුල් කළ සොඳුරු කවියා රදා­වාන තුන්මං­හ­න්දියේ ධවල චිත­ක­යෙන් නැඟුණු දුම්රොටු අත­රින් සැඳෑ වලා­වන්ට මුසු විය.
කූඹි­ ගු­ලක් සේ ඇවි­ස්සුණු කල­බ­ල­කාරි මිනි­සු­න්ගෙන් මිදුණු, කොළඹ නග­ර­යෙන් ඔබ්බෙහි, තිත්ත පැට­වුන් පීනන වෙල්එ­ළි­ව­ලින් සැදුණු, කුඩා වන රොදින් ගැව­සුණු සෞන්දර්ය ප්‍රවා­හ­යක් බඳු රදා­වාන ගම්මා­නයේ සරල ජීවන අන්ද­රය ගීතයේ, කවියේ, නව­ක­තාවේ, සින­මාවේ තවරා තිළිණ කොට අප දෝත මත තබා සේකර අපෙන් සමුගත් බව කෙසේ නම් අම­තක කර­න්නද?

මහ­ගම සේක­රගේ නිර්මාණ ගැන ඒවායේ දාර්ශ­නික පද­නම ගැන විද්ව­තුන් බොහෝ දේ ලියා ඇත. විවිධ දෘෂ්ටි­කෝ­ණ­ව­ලින් සේකර විනි­විද දකි­මින් ඔවුන් හෙටත් බොහෝ දේ ලියනු ඇත. ‘නොමි­යෙමි’ කියා ලියූ සේකර මිය­යන්න මොහො­ත­කට පෙර ඔහුගේ ලියන මේසය මත සුදු කඩ­දා­සි­යක ‘එක්තරා මිනි­සෙක්’ යනු­වෙන් සට­හන් කර, කිසි­වක් ලියන්න ආරම්භ කළ කල්හි ඔහුගේ සුර­තින් පෑන ගිලිහී තිබිණි. ඔහුගේ සිති­විලි පර­ම්ප­රාව කොත­රම් ගැඹුරු ද, කොත­රම් පරා­ස­යක පැතිර තිබුණා ද යන්න ඔබට මට අනු­මාන කළ හැකි ද?

මහ­ගම සේකර නම් උස් කඩ­ව­සම් සිරු­රක් හිමි නිහඬ මිනි­සාගේ සැබෑ ජීවන අන්ද­රය ගැන ලියවී තිබෙන්නේ ඉතා අඩු­වෙනි. සේක­රගේ වියෝ­වෙන් වසර 49ක් පිරෙන අද වැනි දිනෙක තුරුණු වියේ ඔහු ඇසු­රෙන් ලද ජීවන සෞන්ද­ර්යය වර්ත­මාන සහෘ­ද­යන් වෙත තිළිණ කිරීම මැන­වයි හැඟේ.

සේකර සිය සියලු නිර්මාණ අනු­භූති අහු­ලා ­ගත්තේ රදා­වාන, කිරි­ඳි­වැල, කන්නි­ම­හර ආදී නාග­රික දුම්රො­ටු­ව­ලින් අප­විත්‍ර නොවූ, කුරු­ල්ලන්ගේ ගී හඬ පම­ණක් ඇසෙන ගම්ව­ලිනි. එකල රදා­වානේ ඇවිද ගිය අපට සේක­රගේ කාව්‍යයන්හි චරිත නිර­න්ත­රව හමු විය. එහෙත් අප නොදුටු ඒ චරි­ත­යන්ගේ ජීවන සිත්තම් කඩ­දාසි මත පින්තාරු කළේ සේක­රය.
සේකර ජීවත් වූ මහ­වත්තේ ගෙදර පිහිටා තිබුණේ තුන්මං­හ­න්දි­යෙන් කිරි­ඳි­වැල දිවෙන පාරේ කුඩා රෝහ­ල­ටත්, මුදුන් පිට කන්ද­ටත් ඔබ්බෙන් වූ කඩ­ම­ණ්ඩි­යෙන් වම් ඇලයේ පිහිටි කඳු ගැට­යක් මතය. මම එකල නිතර මහ­වත්තේ ගෙද­රට ගියෙමි. රෙද්දත් හැට්ට­යත් ඇඳි සේක­රගේ අම්මා සේකර සහ ඔහුගේ තාත්තා මෙන්ම කාල වර්ණ සිරු­රින් යුතු තැනැ­ත්ති­යක් වූවාය. ඕ තොමෝ සිය සුදු­පැහැ ගැන්වුණු කොණ්ඩය බැඳ සිටි­යාය. මහ­වත්තේ ගෙද­රට ගිය හැම දින­කම වාගේ මගේ මත­කයේ තිබෙන්නේ වත්ත පහළ සිට කිසි­වක් රැගෙන විත් එය බිත­ක්කන මත දමා පෑළ ­දො­රින් ගෙට ඇතුළු වන සේක­රගේ අම්මාය.

සේක­රගේ තාත්තා සේකර මෙන්ම උස්ව වැඩුණු සිරු­රක් හෙබි තැනැ­ත්තෙකි. ඔහු සරම ඇඳ, උඩු­කය නිරු­වත්ව සිටි­යේය. ඔහු ද සුදු­පැහැ ගැන්වුණු කොණ්ඩය බටු­ගෙ­ඩි­යක් තර­මට බැඳ සිටි අයෙකි. දකින හැම විටම වාගේ කුඩා තුවා­යක් ඔහුගේ උර­හි­සෙහි විය. අම්මා මුළු­තැ­න්ගෙට ගොස් නොබෝ වේලා­වක් යන්න මත්තෙන් ජීව­න්දර අත වයි­රන් වැටුණු පැරණි පිරීසි කෝප්ප­යක හකුරු සමඟ තේ කහට ආලි­න්ද­යට එවු­වාය. මහ­වත්තේ ගෙදර මිදුලේ විසල් අඹ ගසකි. අඹ ගස වෙළා­ගෙන ඉහ­ළට නැඟුණු රස­කිඳ වැල­කින් රූරා වැටෙ­මින් තිබූ රසකිඳ රැහැන් අඹ ගස මුදුනේ සිට බිමට පාත් වී මඳ සුළඟේ ලෙළෙ­මි­න් තිබිණි. සුළඟේ පාවී විත් මිදුලේ සිටින අප වෙළා ගන්නා රස­කිඳ වැල් අපට හංකිති කැවු­වේය.
මහ­වත්තේ ගෙද­රට කිසි­වකු පැමි­ණෙන්නේ නම් එසේ පැමි­ණෙන තැනැත්තා කුඩා කඳු­ගැ­ටය නැඟ ආ යුතුය. නිවෙසේ ආලි­න්දයේ අසුන් ගෙන සිටි කෙන­කුට මුලින්ම දිස් වන්නේ පැමි­ණෙන තැනැ­ත්තාගේ හිසය. කඳ කොටස ටිකෙන් ටික දිස් වනුයේ ඔහු කන්ද නඟි­මින් නිවෙ­සට සමීප වෙද්දීය. සේකර ගුව­න්වි­දු­ලි­යට සම්බ­න්ධව සිටි­යදී එව­කට තනි­ක­ඩ­යකු වූ අම­ර­දේ­වයෝ ඇතැම් දිනක සේකර සමඟ මහ­වත්තේ ගෙද­රට පැමි­ණි­යහ. එසේ එන විට ගෙදර ඇත්තන්ට අම­ර­දේ­ව­යන්ගේ හිස පෙනෙ­නුයේ සේක­රගේ හිස දැක සෑහෙන වේලා­ව­කට පසු­වය.

අප මහ­වත්තේ ගෙද­රට යන්නේ සති අන්තයේ දින­ව­ලය. අප එහි ගිය බොහෝ අව­ස්ථා­වල සේකර ගෙදර සිටි­යේය. දිනක් ඔහු තියුණු කෙටි පිහි­ය­කින් තර­මක් ඝන­කම් කෝටු­වක මල් කප­මින් සිටියා මට මත­කය. ඇතැම් දිනක කුඩා ටීපෝ­වක් මත තබන ලද. සුදු කඩ­දා­සි­යක ඔහු දිය­සා­ය­මින් සිතු­ව­මක් අඳි­මින් සිටි­යේය. ඔහු චිත්‍රය අඳින අයුරු මා බොහෝ වේලා බලා සිටින විට සේකර මෙසේ පැව­සීය:

“ලංකාව වගේ උණු­සුම් රට­වල දිය­සා­යම් චිත්‍ර අඳින්න අමා­රුයි. පින්සල උඩ ඉඳලා පහ­ළ­ට ගන්න ඉස්සර තීන්ත වේළෙ­නවා. එත­කොට අපිට වුව­මනා විදි­හට වර්ණ ගන්න බෑ.”

නිවෙසේ ඉදි­රි­පස කාම­රයේ සේකර නිඳන ඇඳ, ලියන මේසය සහ පොත් අල්මා­රිය තිබිණි. පොත් අල්මා­රිය අවු­ස්ස­න්නත්, කැමැති පොතක් ගෙන ගොස් කියවා නැවත ගෙනැ­විත් තබ­න්නත් අපි පුරු­දුව සිටි­යෙමු. ඔහුගේ නිඳන ඇඳ යට ඔහු විසින් පරි­ව­ර්ත­නය කරන ලද ‘ධවල සේනාං­කය’ පොත් මිටි කිහි­ප­යක් විය. ඇඳ යට දුහු­විලි බැඳුණු සපත්තු ජෝඩු­වක් ද තිබිණි.

“ඔය සපත්තු ජෝඩුව අයි­යගේ. ඕක අයියා ගත්තේ අමෙ­රි­කාවේ යන්න. අයිය ඒ ගම­නින් පස්සේ කව­දා­වත් ඕක දැම්මේ නැහැ. අයිය සපත්තු දාන්න කැමැති නැහැ; සෙරෙප්පු තමයි දාන්නේ. ඕක මටත් ලොකු වැඩියි…” ජීව­න්දර කීවේය.
ජීව­න්දර සේක­රගේ තාත්තාගේ මල්ලිගේ පුතාය. ඔහු මහ­වත්තේ ගෙද­රට වැටී තිබුණේ කුඩා කාල­යේ­මය. පුංචි අම්මාගේ තනි නොත­නි­යට මහ­වත්තේ ගෙදර නතර වූ ඔහු එහි සිටම පාසල් ගියේය. පොත් අල්මා­රියේ කෙළ­ව­රක ප්‍රයෝ­ජ­න­යට නොගත් කුඩා සමරු පොත් කිහි­ප­යක් තිබිණ. ඒවායේ තිබුණේ කාබන් පෑනෙන් ලියන ලද නිස­දැස් කවි හා ගී පදය. ඇතැම් දිනක මම සේක­රගේ ඇඳ මත වාඩි වී එම කවි කියවා ඇත්තෙමි. ඒ එකම එක කවි­යක් යන්තම් මගේ මත­කයේ රැඳී තිබේ:

‘මර­දාන ස්ටේසම කෙළ­වරේ
කුඩා සුදු අර­ලිය මල් ගසක
පිපුණු එකම එක මල් පොකුර
කළු­පාට වී තිබුණා…’

සේකර විවාහ වන්නට පෙර ජීව­න්දර මහ­වත්තේ ගෙදර සිටියේ වැඩි­හි­ටි­යන් තිදෙ­නාත් සම­ඟය. නිවෙසේ වූ එකම කාන්තාව අම්මා පමණි. ඔවුන් සිය­ල්ලෝම බිණී­මෙහි ලොබ වූහ. ජී.බී. සේනා­නා­ය­කගේ වච­න­ව­ලින් කිව හොත් ඔවුහු වචන මසු­රෝය. මහ­ගම සේක­රට ස්වකීය සිති­විලි සියල්ල සිංහල භාෂාවේ වච­න­ව­ලට නඟ­න්නට මේ නිහඬ බව උප­ස්ත­ම්භක වී යයි මට සිතේ.

සේකර මහා කවි­යකු වුවද ඔහු ලියූ ප්‍රථම කවි පද­යට වේවැල් පහර තුනක් කා තිබිණි. එය සිදුව තිබුණේ කිරි­ඳි­වැල කන්ද උඩ ඉස්කෝලේ ඉගෙ­නුම ලබ­ද්දීය. පන්තිය භාර දස­නා­යක ඉස්කෝලේ මහ­ත්තයා කුකුල් කේන්ති­කා­ර­යෙකි. පොඩි වැරැ­ද්දක් අසු වුව හොත් පන්තියේ ළම­යින් හැමෝ­ටම කෙළ­ව­රක සිට අතින් පහර දුන්නේය. එක් දිනක් එසේ පහර දීගෙන එන විට සේකර කඩ­දා­සි­යක කිසි­වක් ලිය­මින් සිටි­යේය. දස­නා­යක ගුරු­තුමා එය දුටු­වේය. සේකර වහා කඩ­දා­සිය ගුළි කොට බිම දැමු­වේය. ඒ දුටු ගුරු­තුමා එය රැගෙන දෙන ලෙස ළම­ය­කුට අණ කළේය. සේකර ලියා තිබුණේ මෙසේය:
‘දසේ පිටට බැට දෙතේ’ සේක­රට වේවැල් පහර තුනක් ලැබිණි.
කිරි­ඳි­වැල කන්දඋඩ ඉස්කෝලේ එකල ප්‍රදේ­ශයේ කැපී­පෙ­නුණු පාස­ලක් විය. සේකර කන්දඋඩ ඉස්කෝ­ලෙට ඇතු­ළත් වූවාට පසු නොබෝ දින­කින්ම එහි ශිෂ්‍ය නාය­කයා බවට පත් විය. ඊට ප්‍රධා­නම හේතුවූයේ ඔහු පන්තියේ අනෙක් සිසුන්ට වඩා හැඩි­දැඩි පෙනු­මෙන් යුතු තරු­ණ­යකු වීමය. සේකර පාස­ලට ඇන්දේ සරම සහ අත් කොට කමි­ස­යයි. එකල පාව­හන් දැමී­මක් නොවිණි. ශිෂ්‍ය නාය­කයා ලෙස සේක­රට පැව­රුණු වග­කීම් දෙකක් විය. ඉන් පළ­මු­වැන්න: පාසලේ කාල­ස­ට­හ­නට අනුව සීනුව නාද කිරී­මය. දෙවැන්න: ටිකක් භාර­ධුර එකක් විය.

ටුවිට් කෝට් එකක් සහ අළු පැහැ­යට හුරු සර­මක් ඇඳි කන්දඋඩ ඉස්කෝලේ ලොකු මහ­ත්තයා දිය­වාලේ සිට පාස­ලට පැමි­ණියේ තිරි­ක්ක­ල­යෙනි. තිරි­ක්කලේ දක්කන්නේ ද ලොකු ඉස්කෝලෙ මහ­ත්ත­යා­මය. පාසල් එමින් සිටින සිසුහු ලොකු ඉස්කෝලෙ මහ­ත්ත­යාගේ තිරි­ක්ක­ලයේ හඬ කන ­වැ­කුණු වහා පාරේ දකුණු පැත්තට වී නිහ­ඬව ගමන් කරති. කන්ද උඩ ඉස්කෝලේ ආරු­ක්කුව පාමුල තිරි­ක්කලේ නතර කිරී­මට පුරු­දුව සිටි ලොකු මහ­ත්තයා ඉන් බැස ගිය පසු සේක­රගේ දෙවැනි රාජ­කා­රිය ඇර­ඹිණි. ඒ වූ කලි තිරි­ක්ක­ලය ගෙන ගොස් සුවි­ශාල මාර­ගහ යට නවත්වා ගොනා ලිහා පාසල් වත්ත පාමු­ලට දක්කා­ගෙන ගොස් දිගේලි කිරී­මය. හවස් වරුවේ ලොකු මහ­ත්තයා ගෙදර යන වෙලා­වට ගොනා ලිහා­ගෙ­නැ­විත් තිරි­ක්කලේ බැඳ එය පඩි­පෙළ පාමු­ලට ගෙන ආවේ ද සේක­රය. සේකර එය දින­ප­තාම තමා­ගෙන් ඉටු විය යුතු දේව­කා­රි­යක් ලෙස එය සැල­කීය.

පසු කලෙක අප කිරි­ඳි­වැල අනුර මහා විද්‍යා­ල­යට නුදුරු මිල්ලතේ පදිං­චිව සිටි­යදී සේකර නිතර අපේ නිවෙ­සට පැමි­ණි­යේය. එකල ඔහුට මොරිස් මයි­නර් රථ­යක් තිබිණි. ඔහු පැමි­ණියේ අපේ අම්මා සහ තාත්තා සමඟ සතුටු සාමී­චියේ යෙදෙ­න්න­ටය. රාජ­ගි­රියේ හේවා­වි­තා­රණ විද්‍යා­ලයේ සේවය කරද්දී අපේ තාත්තාත්, සේක­රත් ගුරු නිවා­සයේ එකට සිට ඇත. දෙදෙනා මිතුරෝ වූහ. ගුරු­ව­රි­යක මෙන්ම කිවි­ඳි­ය­කද වූ අපේ අම්මා කුඩා කල සිටම සේකර හැඳින සිටි­යාය.
දිනක් සේකර අම්මා සමඟ පවසා තිබුණේ තුන්මං­හ­න්දිය නව­ක­තාව ඇසු­රෙන් චිත්‍ර­ප­ට­යක් කරන්න අද­හ­සක් ඇති බැවින් තුන්මං­හ­න්දිය තිර පිට­පත බෙන­ඩික් දොඩ­ම්පේ­ග­මට භාර දුන් බවත්ය. අම්මා පවසා තිබුණේ “අනේ! ඇයි ඉතින් කාට­වත් දුන්නේ චිත්‍ර­ප­ටිය ඔයා කර­න්නකෝ” කියාය. ඊට පසු දිනක පැමිණි සේකර පවසා තිබුණේ ෆිල්ම් එක තමාම කරන්න තීර­ණය කළ බවයි. ‘මහ­ගම සේකර මහ­ත්තයා ෆිල්ම් එකක් හද­නවා’ යන සුබ ආරං­චිය අපට කීවේ අම්මාය. චිත්‍ර­ප­ටයේ වැඩ පටන් ගන්න පෙර සේකර මොරිස් මයි­නර් රථ­යෙන් ලෝකේ­ෂන් බල­න්නට ගියේය. ඇතැම් විට ඒ ගම­න්ව­ලට චිත්‍රා බාල­සූ­රිය ද එක් විය. ඒ ගම­න්ව­ලට යන්නට මට ද අව­ස්ථාව ලැබිණි.

“හෙට අයියා එක්ක ලොකේ­ෂන් බලන්න යනවා” යැයි ජීව­න්දර අනුර විද්‍යා­ල­යේදී කී විට මමද ඔවුන් සමඟ එකතු වුණෙමි. එවැනි ගම­න්ව­ලදී බොහෝ විට අපට සිදු වූයේ මොරිස් මයි­න­රය තල්ලු කර­න්නය. තුන්මං­හ­න්දිය රූගත කරද්දි දෙල්ඕවිට පාරේ රූගත කළ ගෙදර මිදුලේ සේකර කැමරා ශිල්පී සුමිත්ත අම­ර­සිං­හත්, ජෝ අබේ­වි­ක්‍ර­මත් දෙපැත්තේ තියා­ගෙන ෆයිල් කව­ර­යක් මත සුදු කඩ­දා­සි­යක් තබා දර්ශන තලයේ කටු සට­හන් ඇඳ පෙන්නූ හැටි තව­මත් මගේ මත­කයේ තිබේ.

මහ­ගම සේක­ර­ගේ­ ඇ­වෑ­මෙන් ඔහු තරම් ළතෙත් හද­ව­තක් ඇති තවත් සංවේදී කලා­ක­රු­ව­කුට උපත දෙන්නට මගේ රටේ මහ පොළොව තව­මත් සමත් වී නැත.

‘ඔප් නැඟූ විසල් මේස­යක් මත
සුදු­මුදු කඩ­දා­සි­යක් තබා
ඒ මත පාකර් පෑන් තුඩ­කින්
ලිය­න්නට මට නොමැත කවි­යක්
‘වැඩ ඇරී එන කල ඔබ සමඟ
සෙන­ඟින් පිරී ගිය දුම්රි­යක
අවු­ලා­ගෙන
හිස් සිග­රට් පැක­ට්ටු­වක්
ඒ මත පැන්සල් කෙටි­යෙන්
කුරුටු ගාන්නට මට ඇත කවි­යක්
‘එසේ වුව සොහො­යු­රෙනි
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබ­ගෙන් බොහෝ දෙනෙකු
අද දින තේරුම් නොගනු ඇත
ලෝකය මීට වඩා යහ­පත් වන
අනා­ග­තයේ යම් දව­සක
ඔබ එය ආද­ර­යෙන්
කිය­වන බව මම දනිමි’

යනු­වෙන් සේකර ‘ප්‍රබුද්ධ’ කාව්‍යයේ ලියා තිබිණි. සේකර වඩාත් හොඳින් කිය­වන්න ලෝකය මීට වඩා යහ­පත් වන දිනය එන තුරු අපි ඇඟිලි ගනි­මින් සිටිමු.

උදේනි සමන් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division