“කෝ ඉතින් රත්නායක සර් තවම නෑනෙ. කෝල් එකක් ගම්මු.”
“නෝන කියනව පැය බාගෙන් එනවලු.”
“එච්චර වෙලා.”
“සේරටම ඉඳිආප්ප, කිරිහොදි, සම්බල හදාගෙන එනවලු.”
“ඒ මක්කටෙයි?”
“උදේ කෑමට…”
සිරිපුර මහා විද්‍යාලයේ ගුරු හවුලේ වාර්ෂික සුහද චාරිකාව අඹතැන්න මහා විද්‍යාලය කරා ය. මේ ගුරු පිරිස වාර්ෂික චාරිකාව සඳහා සැලසුම් කර ගන්නේ පාසල්, ආයතන, දුගී පවුල්වලට කුමන හෝ ආධාරයක් කරදීම අරමුණක් කරගනිමිනි. දීමනා පිළිගන්නා අයගේ සිනාව ඉතා හෘදයංගමය. කොස්කොළ නැටි පේන නොපෙනෙන වේලාවට ගමන පිටත් වීමට තීරණය කරගත්තේ පාසල අවසාන වීමට ප්‍රථම එහි යා යුතු නිසා ය. පුතා විසින් කැඳවාගෙන ආ රත්නායක සර් තමා එන තුරු ප්‍රමාද වී බලා සිටි සියලු දෙනාටම හාස්‍ය රසය බෙදා දුන්නේ රියට ගොඩ වන අතරතුරේය.
පුරවරයෙන් ඔබ දුරකතර ගෙවා යන විට ඔවුන්ට දක්නට ලැබුණේ ගංගා, දියකඩිති, වැව්, වන ලැහැබ්වලින් සමන්විත පරිසරයකි. ‘අඹතැන්න ප්‍රාථමික විද්‍යාලය’ යන නාම පුවරුව අසලදී රථය නැවැත්විණි. පාසල නෙත ගැටෙත්ම හැමෝම මහත් සේ අමන්දානන්දයට පත් වූහ. ඈතින් දිස් වූයේ සෑහෙන ඉඩකඩක් ඇතිව ගොඩනඟන ලද පාසල ය. වහලය රටඋළුවලින් සෙවිලි කර තිබිණි. එහි ප්‍රවිෂ්ට වන තැන ආරුක්කුවක හැඩයට සකසන ලද මල් වැලකි. අඹ, පේර, වෙරළු තුරුවලින් බිම්කඩ සැරසිලා ය. වත්තේ මායිමේ දක්නට ලැබුණු සියඹලා ගස යට ගුරුතුමියක් ළමයින්ට පාඩමක් කියා දෙමින් සිටියා ය. අනතුරුව වහා දිව ආ ළමයි බිම වාඩි වී ඇයගේ ඔසරියේ රැඳී තිබුණු තුත්තිරි ගලවන්නට වූහ. ඇතැම් පන්ති කාමරවල සිසු සිසුවියෝ දාම් ක්‍රීඩාවේ නිරතව සිටියහ.
සුදෝසුදු ජාතික ඇඳුම ඇඳගෙන සිටි විදුහල්පතිවරයා මේ අමුත්තන් පිළිගත්තේ කට පුරා හිනැහීගෙන ය.
“රන්බණ්ඩා මහත්තයා, මේ මහත්තුරුන්ට බොන්ඩ තැඹිලිගෙඩි ටිකක් කැපුවනං” එදා පාසලේ සිටියේ ගුරු සිසු පිරිස අඩ සංඛ්‍යාවකි. කෙස් කොටට කපා සුදු කමිසයෙන් හා කලිසමෙන් සැරසුණු සිසුවකු විසින් ගෙන එන ලද තැඹිලි මේ ගුරු පිරිස විසින් පානය කරන ලද්දේ අමෘතය වගේ ය.
පරිත්‍යාග සඳහා ගෙන එන ලද බඩු භාණ්ඩ වාහනයෙන් පිටතට බාන්නට ගුරු පිරිසේ පිරිමි අය උත්සුක වූහ.
“ළමයි මෙච්චර ද ඉන්නෙ?”
“නෑ සර්, අද වැදගත් දවසක්. ගමේ ගොයම් කපන දවස අදයි. ළමයිනුත් අද ඒවට සහභාගි වෙනවා. ගමේ ඈයො අද ඇඹුලට සහභාගි වෙන්න සර්ලටත් ආරාධනා කරලයි තියෙන්නෙ. ඔය කාලෙට අපි අපේ කාලසටහන වෙනස් කරනව. හේන් ගිනිතියන කාලෙට ළමයි ඒවට හරිම මනාපයි. ඒ වුණාට අපි ක්‍රීඩා තරග, විවිධ ප්‍රසංග, අධ්‍යාපන චාරිකාවලටත් ළමයින් සහභාගි කරෝනව.”
“ඒවත් එක්ක හරි හරියට උගන්නනව. ළමයි හවස් කරේ වැඩිපුර අතපසු වෙච්ච පාඩම් ඉගෙන ගන්නව.”
“ගුරු මහත්තුරු කිසිම දෙයක් ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ඒවට අඩුවැඩිය හරි හිඟයි. මුන්ගෙ මහඑකාලටත් ඒවට වියදම් කරන්න කාසිපනම් නෑ.” මුල්ගුරුමහතා ද අසල්වැසි ගමේ පදිංචිකරුවෙකි.
“සිරිමල්, අප්පච්චිට කියන්ට අපි ඉක්මනට එනව කියල. කොළඹින් ආව මහත්තුරුන්ට හොඳට සංග්‍රහ කරන්ට කියන්ඩ. ඒ උත්තමයො අපේ දරුවන්ට වටිනා කියන දේවල් ගෙනත් තියනව.”
ඉඟුරු, කහ, රණවරා, නික ආදියෙන් සමන්විත වූ ඔසුපැළ මෙහි මැනවින් වැඩී තිබිණි. ඉන් ඔබ වූයේ වොලිබෝල් පිට්ටනියයි.
ඔවුන් කුඹුර පිහිටි ඉසවුවට පැමිණියේ පා ගමනින් ය. වටපිටාවේ දර්ශනය ද නෙතට ප්‍රිය ය. වැව් තලයට එපිටින් ජලය පිරී තිබුණ අතර ඒ මධ්‍යයේ වූ විශාල වෘක්ෂයක කොක්කු ලැගුම්ගෙන සිටියෝ ය.
“කාණ්ඩෙම ගොයම් කපල අහවර වෙලා අපි එනකම් බලාගෙන ඉන්නව.” ගැහැනු හා ළමා පිරිස ආගන්තුක සත්කාරයට යුහුසුලු වූහ.
“සර්ලට පැදුරු එළල තියනව සප්පායම් වෙන්ට හොඳයි.”
රෝහණ, වීරසිරි, ප්‍රේම් ඇතුළු පිරිස කාණ්ඩය ඒ වන විට සිටියේ නියර කෙළවර වන ඉසවුවේ ය. ඉපනැල්ල තනි වී සිටින්නේ කරල් බරින් නිදහස් වුව ද පාළුව තුරුලු කරගෙන සිටින්නා සේ ය. නෙළුම් කොළ කඩාගෙන දිවා ආහාරය ගන්නට අනුර සූදානම් වී සිටියේ ය.
“මහත්තුරු, නෝනල ඕනැ තරම් බෙදාගෙන කන්න.”
“අපට අද හරි සන්තෝෂයි.”
“ලොකු සර්, අසේල නම් යන්න අදිමදි කරනව.”
“අපිත් කැමතියි මේ පැත්තට. එහෙනම් මේ පැත්තෙන් බින්න බහින්න බැරියැ.”
පොළොස් කරිය, කරවල බැදුම, කොස් මැල්ලුම ආදියෙන් සමන්විත වූ වෑංජන ඉතා ප්‍රණීත ලෙසට සකස් කර තිබිණි. තිළිණ කළ දේවල් අගයමින් පාසලේ ශිෂ්‍ය නායකයා විසින් කරන ලද චතුර කථාව අසා හැමෝම විස්මිත වූහ. ආපසු යන විට සහල් ගෝණි, මයියොක්කා ආදිය ද, පලතුරු ද, ධාන්‍ය වර්ග ද ගම්මුන් විසින් ඔවුන්ට පිරිනැමිණි.
දීර්ඝ වූ සත්කාර චාරිකාවෙන් අනතුරුව ගුරු මණ්ඩලයේ රැස්වීම පැවැත්විණි. හදිසියේ ම එහි කඩාවැදුණේ ඉහළ නිලධාරීන් පිරිසකි.
“ආ! කට්ටියම මේ ඉන්නෙ. එන්න පරීක්ෂකතුමා ඇවිත් වාඩි වෙන්න.”
“මට ආරංචියි පාසලෙන් චාරිකාවක් ගියා කියල.”
“හරියට හරි. ඒ ගිය සුමානෙ.”
“මේකයි කාරණාව. ඔයාල ඒ අසරණ මිනිස්සුන්ගෙ සේසතම සූරගෙන ඇවිත් තියනව.”
“අයියෝ! සර් ඒ අය හරි සතුටින් ඒව වෑන් එකට පැටෙවුවෙ. එයාලට ඒව ඒ තරම් දේවල් නෙවෙයි.”
“මොනවද ඔයාල අරන් ගිය පොත්පත්? ඔය කාටවත් කියවන්න බැරිව අහක දමල තියන පොත් ටිකක් ගෙනියන්න ඇති.”
“අපොයි නෑ මහත්තය. පත්තරේ දාල තිබුණ දක්ෂ දරුවන් ඉන්න අඩුපාඩු තියන ඉස්කෝලයක් ගැන. අපි අරන් ගියා ක්‍රීඩා භාණ්ඩ තොගයක්, අභ්‍යාස පොත්, නිල ඇඳුම්වලට රෙදි, ක්‍රීඩාවලට අවශ්‍ය සපත්තු, විශාල ඕගන් එකක්, පාට පෙට්ටි.”
මේ සියල්ල හෙළි කරන ලද්දේ කටකාර ප්‍රේමදාස ය.
“අපි පොරොන්දු වෙලයි ආවෙ නව පහසුකම් ඇතිව ඒ ඉස්කෝලෙ විශාල කරල හදල දෙන්න.”
“අපි අතින් ඒක ටිකෙන් ටික ඉෂ්ට වේවි.”
නිහඬතාව රජයන්න වූයේ කරකියා ගන්නට දෙයක් නැතිවයැයි හැම දෙනකුටම සිතුණා වගේ ය.
“අපට සමාවෙන්න. කෝ ලොග් පොත?”
ප්‍රේමදාස තවමත් සිටින්නේ දත් සපාගෙන ය. ඔහුගේ මුහුණ බිය උපදවනසුලු ය.
රැස්වීමෙන් බැහැර වූ ප්‍රේමදාස ගුරු මහතා පන්තියට කඩාවැදුණේ ය. පන්තියෙන් බැහැරව හිමකිරමයක් තොලගාමින් සිටි දරුවකුගේ අත ඇදගත් හෙතෙම දරුවාගේ අත්ල මතට තම අතින් පහරක් දුන්නේ සිනාමුසුව ය.
“රිදුණ ද?”
“නෑ සර්, මට දැනුණෙ වත් නෑ.”
පියසීලි විජේනායක