මොහොතයි
හිරිවැටුණු රත් කොපුල් පත්ර සඟවනු කෝම
මියැදීම නොවෙයි ඒ, ජීවිතය ඇරඹීම
පෙති අගිසි ඉදිමුණත් ප්රථම ශීතල රෑම
නාඬන්න පැන්සි මල්! සංසාරෙ දුක් බෝම
රෝස හිප්ස් කැකුළු කිම සාංකාවෙන් තැවෙන
නොදුටුවෙද මල් පලව ගැබ මුල්ව පෙම රැකෙන
රතුම රෝවන් පොකුරු ඉපල් අග පණ ගැහෙන
ඍතුවක්ය කියන්නෙත් එක මොහොතකට ගෙවෙන
ගංගා කඩවැද්දුව
ලසන්ත කවියක් ලියනව
පිනි බිඳු එක දෙක වැටෙනව
රැ සඳ ගොළුවී හිඳිනව
සේපාලික මල් වැටෙනව
ලසන්ත කවියක් ලියනව
ඔහු කවුළුව හැර තැබුවා
දසත සුළං එහි හැමුවා
උලමකු ඉඳහිට හැඬුවා
බස්සකු හුම් නද නැඟුවා
කිසිම පාටකට ගැති නැති
ජාති බේද කුල මල නැති
වාරණ මුඛවාඩම් නැති
එම කව ගෙන එයි මනු ගති
මනුසත් බව හදින් පිදූ
සුදු කමිසය ලෙයින් තෙමූ
මුදු කටහඬ නිහඬ කෙරූ
සාපෙන් ගල් වෙලා කඳූ
කොතැනකදෝ අවනීතිය
කොතැනද දූෂණ ඝාතන
කොතනද යුක්තියෙ මරණය
අවදි වුණා ඒ පන්හිඳ
හදවතින්ම එන දයාව
පිළිබිඹු කළ මුදු ලතාව
අමතක වෙ ද කාට කාට
මුව පිරි සුන්දර සිනාව
පාලිත සේනාරත්න
මිනිසුන් පිරුණු වීදිය
දිය ඉසින්නට ගියෙමි
ගෙමිදුල මල්වලට…
එවිටම
පොද වැස්සක් වැටුණි…
මාවත නොපෙනුණෙන්
නතර වූයෙමි රාත්රියේ
එවිටම
අහසෙහි සඳ නැඟුණි…
තනිකමක් දැනුණෙන්
වටපිට බැලූවෙමි
අසල
ගී ගයමින් ගේ කුරුල්ලෙකි…
මිනිසුන් පිරුණු වීදියට ගියෙමි
බිඳුණු සිත පමණක්ම ගෙන
ආපසු පැමිණියෙමි…
නයෝමි අමරසිංහ
සැනසිලි සුවය
සාමුව කැලන් තුරු අතරින් හණික පනී
මීවදවලින් බේරී එයි අනගි පැණී
මිහිලිය මතින් පිපි මල්වල සුවඳ දැනී
මා හද විමන හැමදාමත් ඔකඳ වුණී
සමනොළ අරා ඉර මල නිති පිපෙන විට
සීතල කඳුරු ඇහැරී දිය ගලන විට
මඳනල සමඟ තුරු පෙළ ගී ගයන විට
මනදොළ පිරී උතුරයි තුටු කඳුළු කැට
කලට වැසි වැටී වැව් දිය පිරේවා
කෙතට බසින ගොවි සැම දෙවි රකීවා
කිරට නැමී රන් කරලින් දිලේවා
බතක සුවඳ සැම නිවෙසක දැනේවා
සිතිවිලි සරු ව යහ දහම ම රජ වේවා
මැසිවිලි නැතුව සතුට ම දස අත වේවා
පැහැදිලි සොඳුරු දිවියක සුලකුණු ගාවා
සැනසිලි සුවැති අහසත් පොළොවත් වේවා
සුදර්ශනී කුරුප්පු
– වාද්දුව
දුරුතු හීන
අහස් ඇතිරිල්ල මත නිදයි තරු දරුවන්
වලාකුළු පොරෝනය ගත වටා දවටන්
නැළවිල්ල ගෙනෙයි සඳ හෙමි හෙමින් මුමුනන්
රාත්රිය තද නින්දෙ මගේ නෙතු ඇහැරන්
පෙළින් පෙළ ගල ගලා දිය කඳුරු නැටුවා
පලින් පල ඉඟිමරා ළපලු අත වැනුවා
ඉපල් වූ අතු මතින් සඳ එළිය ගැලුවා
සිහින් බටලී හඬට හිත පියා සැලුවා
දුරුතු සීතල ඇවිත් ඇඟ පුරා වෙළුණා
පාන්පැලෙ පාන් සිළ රෑ පුරා දිලුණා
හීන් සීපද හඬින් මහද හිරි වැටුණා
දඬු මැස්සෙ වුව හීන හතම මට පෙනුණා
අබ මලට කහ පාට කවුරුවත් දුන්නාද
ඇහැළ මල් රෑන් ගෙන ආකහේ එල්ලුවද
පැණි පිරුණු පළු වීර වනය රස කෙරුවාද
මගෙ හීන සරසන්න අදත් නාවේ මන්ද
රොන් පුරා විල දිගේ කුමුදු මල් පිපෙද්දී
රෑක කොවුලකු ඇවිත් සෝ ගීත වයද්දී
තනිය තනි වී හඬයි තනි හිතට දුකක් දී
රැය වුණත් සුන්දරම නුඹ ළඟින් සිටිද්දී
කිරි ඉරිඟු මෝරන්නෙ අටුව සරු කරලන්ට
ළිපේ ගිනි නැඟෙන්නේ සුබ නැකත පිළිගන්ට
හැමදාම බෑ මෙහෙම දෙපොළෙ තනි වී ඉන්ට
පන් පැදුර ගෙනෙන්නද එය එළා සැතපෙන්ට
ෂර්මිලා බන්දුනී දංවත්ත
ශ්රී ලංකා හයිකු කවි
වැලිබත් උයන චූටි දූට
බත් කටක් කවන
අම්මා
මනෝරි උත්පලා ගමගේ
ඉඩෝරය
නොදුටු ගල්පරත්
මතුවෙමින්
සුදර්ශනී කුරුප්පු
සාදය අවසන
හිස් වූ බීර වීදුරු
තොල ගාන කූඹි
ක්රිෂාන්ති සුමනසේකර
කැඩුණු කවුළුව
හිරු එළිය සුළං
වැහි හිරිකඩ එකවර
චම්පා පෙරේරා
සුළඟ සමඟ දුවන
පතක් දෙකක් හැර
හිස් ය මේ මඟ
විමුත් ද සිල්වා
දෙව් මැදුරේ සැලෙන
ඉටි පහනක
සෙවණැල්ල
නලිනි ද සිල්වා
අඩුවෙන වැඩිවන
පහන් දැල්ල
මුමුණමින් අත්තම්මා
සමන්ති රණමුකගේ