අජිත් තිලකසේන
මුලින්ම මට අජිත් තිලකසේන මුණගැහෙන්නෙ සංයුක්ත කවි හරහා. ඉන් පස්සෙයි ඔහුගෙ කවිත්, කෙටිකතාත් මගේ ලෝකයට සම්මුඛ වුණේ. ඒ ඔක්කොටමත් පස්සෙ, මම කැමැතිම කෙටිකතාකාරයා කවුද කියල ඔබ ඇහුවොත් ප්‍රශ්නාර්ථය තියන්නත් කලියෙන් ඒ තිලකසේනම බව මම ඔබට කියාවි. ඔහුගේ කවිය ඊට දෙවැනි වුණේ නැහැ තමයි. කොහොම නමුත් තිලකසේන ගැන මගේ ළැදියාව ගොඩනැඟෙන්නෙම ඔහු වචනවලට සීමා නොවුණ ලියන්නෙක් හින්දා වෙන්න ඇති කියලයි මට වෙලාවකට හිතෙන්නේ. ඒ නම ඇහෙද්දි පවා දැනෙන්නෙ සහ මැවෙන්නෙ වචන සහ රූප අතර තැනකින් ගලාගෙන එන අමුතු භාෂාවක් කතා කරන, පේනවට වඩා දෙගුණයක් විශාල මනුස්සයෙක්ව. ඒ ඔහුගෙ වචන රූප මවපු නිසාද, එහෙමත් නැත්නම් සංයුක්ත ස්වභාවයක් අත්හදා බලපු කවියක් ඔහු ලිවුව නිසාද කියල හරියටම කියන්න බැහැ. ඒ කෙසේ වෙතත් ඔහු ගැන කතා කරද්දි ඒ දෙයාකාරයේම ප්‍රවේශයන් වැදගත්.
ඔහුගේ කෙටිකතා, කවි සහ සංයුක්ත කවි ගත්තත්, යම් අවස්ථාවල කලාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ගත්තත් ඒ සියල්ල හරහා තිලකසේන සලකුණු වෙන්නෙ පශ්චාත් නූතනවාදි සාහිත්‍යකරුවෙක් විදිහට. ඔහුගේ ක්‍රීඩාශීලි ලිවීමත් (playfulness), ඇතැම් විට මතු වන අභූතරූපි (absurd) ලක්ෂණත් මෙයට නිදසුන් විදිහට දක්වන්න පුළුවන්. කලාව සම්බන්ධ කතිකාවේදී, ‘නිර්මාණකරුවන් සිය කලාකෘති හරහා ස්වකීය මතවාද (opinion) මතු කිරීමට’ ඔහු දැඩිව එරෙහි වෙනවා. මෙයත් නූතනවාදයේ විශ්වාස රාමුවට හා වටිනාකම් පද්ධතියට එරෙහිව (බොහෝ විට ඩාඩාවාදි අදහස්වලින් පසුව) කලාව තුළ ගොඩනැඟුණු අදහසක්. විස්මය දනවන කාරණාව වෙන්නෙ ඔහු මේ සියලු ලක්ෂණ සහිතව සාහිත්‍යකරණයට එළඹෙන්නෙ 1960 පමණ කාලයේදීවීම. සිංහල සාහිත්‍ය තුළ නම් අදටත් වැඩි බලය අල්ලාගෙන ඉන්නෙ නූතනවාදි වටිනාකම්. ඒත් තිලකසේන ඒවා ඉක්මවා යන්නේ මීට වසර හැටකටත් පෙර යුගයක. ලෝක කලා කතිකාව සලකා බැලීමේදීත්, දහනව වැනි සියවසේ මුල් භාගයේම (ඩාඩාවාදි ව්‍යාපාරය) පශ්චාත් නූතන අදහස් යම් තාක් දුරට තිබුණත් ඒවා අධිපති කතිකාවේ බලය අල්ලා ගන්නේ 1960-70දී පමණ.
අපි මේ කතා කරමින් ඉන්නෙ, ආලෝකයේ ප්‍රවේගයට වඩා වේගෙන් ගිය හින්දා ඊට ඉස්සරින්දා ආපහු ආව මනුස්සයෙක් ගැන.
තිලකසේනගේ කතන්දර කීමේ විලාසය ගැන මම කියන්න උත්සාහ කරන අදහසට උදවුවක් විදිහට 1980දි විමල් දිසානායක, අජිත් තිලකසේනගේ කෙටිකතා ගැන කරපු සඳහනක් උපුටා ගන්නම්:
“සාමාන්‍ය කෙටිකතාවක් කියවන පාඨකයා තුළ නිතැතින්ම නැඟෙන ප්‍රශ්නය නම් ‘මීළඟට සිදු වන්නේ කුමක්ද’ යනුයි. එහෙත් අජිත් තිලකසේනගේ කෘතියක් කියවන්නා තුළ නැඟෙන ප්‍රශ්නය නම් ‘මේ සිදු වන්නේ කුමක්ද’ යනුයි. මීට හේතුව ඔහු කිසියම් සංකල්පනාවක් හෝ වින්දන මාත්‍රයක් හැකි තාක් තීව්‍ර ලෙස ගවේෂණය කිරීමට වෑයම් කිරීමයි.”
– දෙසතිය |1980.08.15
ඒත් සමඟම පහත උද්ධෘතය බලන්න. මේ ඔහුගේ ‘රතුමල නොහොත් චාලිද්දරය‘ කෙටිකතාවේ කොටසක්:
“ගිගුරුමක්වත් මොකක්වත් නැතුව හිටපු ගමන් ඇදහැලෙන්න උනා වැස්සක්. වැහි කබායක්වත් නැතුව ඔබ දුවගෙන එද්දි වැස්සේ ඉරිවලට ඔබේ ගවුමේ රතු පැහැය රෝස පැහැයකට හැරෙනු මම බලාගෙන.”
ඉහත කී ලෙසම ඔහු මේ උත්සාහ කරන්නෙ යම් කුඩා සිදුවීමක්/ රූප රාමුවක් හැකි තාක් තීව්‍ර ලෙස ගවේෂණය කිරීමට වගේම එය භාෂාවට නැඟීමට. එහි ප්‍රතිඵලය විදිහට පාඨකයාට මුණගැහෙන අත්දැකීම ‘අමුතු‘ එකක්; නුපුරුදු එකක්. මට නම් එය භාෂාව හරහා ළඟා වීමට අපහසු අහුමුලු වෙත භාෂාව හරහාම ඉතාම සියුම්ව ළඟා වීමක්. පරිකල්පනීය ලෝකය (Imaginary world) හැඟවුම්කරණයට අසමත් සංකේතීය ලෝකයක් (symbolic world) (භාෂාවක්) එක්ක මුළු මානව ශිෂ්ටාචාරයක්ම පොරබදද්දි, තිලකසේන ඒ සංකේතමය භාෂාව එක්ක සෙල්ලම් කරනව විතරක් නෙවෙයි, ඒ හරහා අලුත් වූ ලෝකයක් ආපස්සට මතු කරනව. ඒක යථාර්ථය තුළ හික්මුණු භාෂාවට නුපුරුදු අත්දැකීමක් තමයි.
‘මගේ අරමුණ ඈව බේරාගැනීම’ කෙටිකතාවේ එන මේ උද්ධෘතය බලන්න: “ගැහැනියක් රේල්ලුවක හැපෙන කොට අමුතු ශබ්දයක් නෑසෙන බව මට කල්පනා උනා.”
ඔහු මේ ලියන්නේ ‘ලිවිය යුතු’ දෙයක් නෙවෙයි. එය ලිවිය යුතු දෙයක් වෙන්නෙ ගැහැනියක් රේල්ලුවක හැපෙද්දි අමුතු ශබ්දයක් ඇසුණා නම්. එසේ නෑසෙන බව අපි දන්නා සත්‍යයක්. යළි කිව යුත්තක් නොවෙයි. ඒත් ඔහු එය අමුතුවෙන් ලියනවා විතරක් නෙවෙයි, ඒ ලිවීම ඇතුළේ පාඨකයා තරමක් සලිත කරනවා. මෙතෙක් අපේ මොළයට හුරු පුරුදු, ‘යම් තොරතුරක් අවබෝධ කරගැනීමේ රටාව’ මෙතනදී බිඳෙනවා. හුරු පුරුදු බව බිඳවැටුණයින්, නුපුරුදු යමක් අබියස අපි නතර වෙනවා. ඒ නුපුරුදු හැඟීම ආයෙ ආයෙත් ඒ වාක්‍යයම කියවා බලන්න අපට බලකරනවා. මෙය ඔහු භාෂාව සමඟ කරන ක්‍රීඩාවක්. ඔහු ඒ ලිවීමේ සෙල්ලමෙන් ලබන ආස්වාදයම නැතත් ඒ ළඟින් යන හෝ ආස්වාදයකට ඒවා කියවීමෙන් පාඨකයාට ළඟා වෙන්න පුළුවන්. මේ ආස්වාදය ආමන්ත්‍රණය කරන්නෙ ෆ්‍රොයිඩියානු අර්ථයෙන් කිවුවොත් අප තුළම පවතින, ඒත් අපි දන්නා-නොදන්නා (Uncanny) කලාපයකට බව අපටම තේරෙන්න ගන්නෙ ඉන් පස්සෙ.
තිලකසේනගේ සංයුක්ත කවිය, ‘සංයුක්ත කවියේ’ වුවමනාව සලකුණු කරන විදිහත් මගෙ සිත්ගත් තවත් කාරණාවක්. ඉන් පෙරත් කලාතුරකින් හෝ, කවි තුළ දෘශ්‍ය හැඩයන් අප දැක තිබුණත්, ඒ දෘශ්‍ය හැඩවල අවශ්‍යතාව ගැන ගැටලු තිබුණා. උදාහරණයක් විදිහට ‘පහළට‘ යන්න මේ ආකාරයෙන් තිරස්ව ලිවුවත්, අකුරින් අකුර සිරස් අතට ලිවුවත් එන්නෙ එකම ප්‍රකාශය. ඒ දෘශ්‍ය ප්‍රකාශනයේ අමුතු දෙයක් නෑ වචනේ අර්ථයම ඇරුණම. ඒත් තිලකසේනගෙ දෘශ්‍ය කවි එහෙම නෙවෙයි. තිලකසේනගේ දෘශ්‍ය රූප, කවිවලට ‘අමතර කොටස්‘ නෙවෙයි. ඒවායේ දෘශ්‍ය රූපයවත්, වචනවත් එකිනෙකින් වෙන් කරලා ගන්න බැහැ. එහෙම ගත්තොත් එතන කිසිවක් ඉතුරු වෙන්නෙ නෑ. එය පවතින්නේ දෘශ්‍ය රූපය සහ වචනය එක විට එලෙසම පැවතුණොත් විතරයි. එතකොටයි සංයුක්ත කවියක් අවශ්‍ය වෙන්නෙ.
සමරූප අක්ෂර භාවිතාවේ මූලික හේතු සාධකවලට (සිංහල භාෂාවේ අනාගත පැවැත්මට අවශ්‍ය නවීකරණය) අමතරව, ඒ භාවිතාවෙන් ඍජුව බලාපොරොත්තු නොවූ නමුත් මඟහැර යා නොහැකි පැතිකඩක්ද අවසාන වශයෙන් මතු කරන්නට මට ඉඩ දෙන්න. සියුම් නිරීක්ෂණයකින් පසු, ඔහුගේ සාහිත්‍ය භාවිතාව වගේම, සමරූපිකෘත අක්ෂර භාවිතාවත් පාඨකයාව නුහුරු-නුපුරුදු අඩවියක හිටිවනම අතරමං කරන බව ඔබට වැටහේවි. වචන කියවීම අප පුරුද්දට කරන දෙයක්. වචනයක් අකුරින් අකුර කියවීම වෙනුවට වචනයේ සුපුරුදු හැඩය හඳුනාගෙන කියවීමටයි අපේ මොළය හුරු වී තියෙන්නෙ. ඒත් තිලකසේනගෙ ලියවිලිවල ඒ සුපුරුදු වචන හැඩයන් අපට හමුවන්නේ නෑ. ඒ අක්ෂර විසින් නුපුරුදු-අනපේක්ෂිත-තිගැස්මන් නිතර නිතර ඇතිකරනවා. විටෙක ඒ අනපේක්ෂිත පිල්ලම්වල තුඩු අපේ ඇහේ ඇනෙනවා. එතකොට ඇහැ වගේම සිතුවිලිත් පලුදු වෙනවා.
ඒ පලුදු වීම් අස්සෙන් අපට අලුත් ලෝකයක් පේන්න පටන්ගන්න ඉඩ තියෙනවා.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර