මහාචාර්ය නීනා ක්රස්නදේම්බ්කයා දිවිසැරියේ 86 වැනි කඩඉම ගත කරමින් සිටියදී නාමශේෂභාවෝපගත වීම නිමිත්තෙනි
ශ්‍රී ලංකාව පිළිබඳ සුවිශිෂ්ට පර්යේෂිකාවක ද දකුණු ආසියානු කලාපය පිළිබඳ රුසියාවේ සිටි කැපීපෙනෙන විශේෂඥවරියක ද වූ මහාචාර්ය නීනා ගියෝර්ගියෙව්නා ක්රස්නදේම්බ්කයා සිය ජීවිතයේ 86 වැනි වසර ගත කරමින් සිටියදී 2024 දෙසැම්බර් 16 දා මෙලොවින් සමු ගත්තාය.
1939 ජූලි 15 දින ලෙනින්ග්‍රාද් නුවරදී මෙලොව එළිය දුටු නීනාගේ ජීවිතයේ වැඩිම කලක් ගත වූයේ ඇය උපන් ඒ නගරයේමය. ඇයගේ ජීවිතයම බැඳී තිබුණේ රුසියාවේ උසස්ම ශාස්ත්රාලීය විද්වත් පර්ෂදය වන එරට විද්‍යා ඇකඩමියට අනුබද්ධිත මහා පීටර් අනුස්මරණ මානවවිද්‍යා හා මානවවංශ විද්‍යා කෞතුකාගාරය සමඟය. ඇයගේ ප්‍රියතම අධ්‍යයන ක්ෂේත්‍ර වූයේ දකුණු ආසියානු ජනවර්ගවල භාෂා, ඔවුන්ගේ නිර්මාණ කලා සාහිත්‍යය සහ එකී ජනවර්ග හැදෑරීමයි.
1972දී සිය දර්ශනසූරී උපාධිය නීනා විසින් සම්පූර්ණ කරන ලද්දේ වාග්විද්‍යා විෂය ධාරාව යටතේ ලෙනින්ග්‍රාද් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයන පීඨයෙනි. ඇයගේ අධ්‍යයන මාතෘකාව මඟින් සිංහල භාෂාවේ අපුද්ගල ක්‍රියා (ක්‍රියා ධාතු, ක්‍රියා රූප සහ වාක්‍ය විචාරය) පර්යේෂණයට ලක් කෙරිණි. 1999දී ඇය ශාස්ත්‍ර විශාරද උපාධි පර්යේෂණය නිමාවට පත් කෙළේ මානවවංශ විද්‍යා විෂය ධාරාව ඔස්සේය. ‘සිංහලයාගේ සංස්කෘතිය: සම්ප්රදායය සහ නූතනත්වය’ මැයෙන් වූ ඇයගේ පර්යේෂණය කැප වූයේ සිංහල ජනයාගේ සංස්කෘතියේ නූතන ගතිකත්ව හැදෑරීමටයි. ඒ අනුව, සිංහල භාෂාවේ ව්‍යාකරණය සහ සිංහල ජනයා මානවවංශ විද්‍යාත්මකව හැදෑරීම ඇයගේ කේන්ද්‍රීය පර්යේෂණ ක්ෂේත්‍ර විය. මෙනයින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හැදෑරීමත්, මෙරට ප්‍රධාන ආගම වන බුදුසමය හැදෑරීමත් කෙරේ ඇය විශේෂ අවධානයක් යොමු කළාය.
සෝවියට් සංගමයේ උසස් පර්යේෂණ කෘති එළිදැක්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ‘නාවුකා’ (විද්‍යා) ප්රකාශනායතනය මඟින් 1982 දී නීනා විසින් රචිත ‘සිංහලයාගේ සාම්ප්‍රදායික ලෝක දැක්ම (සිරිත් විරිත් සහ ඇදහිලි)’ නමැති පර්යේෂණ ග්‍රන්ථය එළිදක්වනු ලැබිණි. ‘බුදුන් වහන්සේ, දෙවිවරු, මිනිස්සු සහ යක්ෂයෝ’ නමින් ඇය විසින් රචිත කෘතිය සිංහලයන්ගේ ඇදහිලි පද්ධතිය සමස්තයක් ලෙස ගෙන පර්යේෂණයට බඳුන් කරන දුර්ලභ කෘතියකි. ‘එදා හෙළදිව’ නමින් සිංහලයට පරිවර්තනය වූ රොබට් නොක්ස්ගේ ඇය අතින් කෘතිය අසංක්ෂිප්තව රුසියානු භාෂාවට නැඟිණි.
යථොක්ත මහා පීටර් අනුස්මරණ මානවවිද්‍යා හා මානවවංශ විද්‍යා කෞතුකාගාරයේ දකුණු ආසියානු අංශ ප්‍රධානි වශයෙන් වසර 20කට අධික කලක් සේවය කළ නීනාගේ එහි මුළු සේවා කාලය අඩසියවසකට අධිකය. කෞතුකාගාරයේ ඇති දකුණු ආසියාවට අදාළ කෞතුක භාණ්ඩ, ලේඛන ආදිය අධ්‍යයනයෙහි නිරත වූ ඈ එකී කාලය පුරා කෞතුක භාණ්ඩ පිළිබඳ විස්තර ලේඛන සහ ඡායාරූප ලේඛනාගාරය භාරවද කටයුතු කළාය. එහිලා ඇය කළ පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ ‘සිංහ දිවයිනේ සිට හිමකර වාසභවන දක්වා: මහා පීටර් අනුස්මරණ මානවවිද්‍යා හා මානවවංශවිද්‍යා කෞතුකාගාරයේ දකුණු ආසියානු ප්‍රදර්ශන භාණ්ඩ පිළිබඳ හැඳින්වීමක්’ නමින් එළදුටු ග්‍රන්ථයයි. ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය සම්බන්ධ එකතූන් සැලකිය යුතු තරමින් පුළුල් කිරීමට ඇය විසින් රැස් කරගෙන එම කෞතුකාගාරයට පිරිනමන ලද භාණ්ඩ නිසා හැකි විය.
ලෙනින්ග්‍රාද් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයන, ඉතිහාස හා දර්ශන පීඨයන්හි වසර 35කට අධික කාලයක් ද, එම නගරයේ වෙනත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයකද ඇය සිංහල, හින්දී සහ මරාථි භාෂා ඉගැන්වූවාය.
මේ සියලු කටයුතු ඇය විසින් ඉටු කරන ලද්දේ කුඩා කල වැලඳුණු පෝලියෝ රෝගය නිසා අකර්මණ්‍ය වූ දෙපා ඇතිවය. එසේ වූ ඇය ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා 1979 සිට 2014 දක්වා පස් වරක් ශ්‍රී ලංකාවට පැමිණ, මෙරට නොයෙක් ප්‍රදේශවල සංචාරය කිරීමට තරම් එඩිතර වූවාය. ඇයට කිසි සේත්ම යාගත නුහුණු ශ්‍රීපාදස්ථානය වැනි තැන්වලට තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව හිතවතුන් පවා, සහභාගිත්ව නිරීක්ෂණය සඳහා මූලික පුහුණුවක් දී යොමු කිරීමෙන් සිය පර්යේෂණ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීමට ඇය උනන්දු වූවාය.
සිය සංචාරයන්ගෙන් පසු තාවකාලික ප්‍රදර්ශන සංවිධානය කිරීම කෙරේ උනන්දු වූ ඇය අතින් මොස්කව් නුවර පිහිටි සුප්‍රකට ත්රිත්යකෝව් කලාගාරයේ ද ලේඛක නිකොලායි නෙක්රාසොව්, දේශගවේෂක පීටර් කස්ලෝව් කෞතුකාගාරයන්හි ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රදර්ශන සංවිධානය කළාය.
ලෙනින්ග්‍රාද් සෝවියට් සභාව අනුස්මරණය පිණිස පිහිටුවා තිබෙන සංස්කෘතික මන්දිරය පදනම් කරගෙන 1992දී ‘ඉන්දියාවේ, නේපාලයේ, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සංස්කෘති ප්‍රිය කරන්නන්ගේ සමාජය’ නමින් සමාජ සංවිධානයක් පිහිටුවා, එහි සභාපතිත්වය දරමින්, එකී රටවල ඉතිහාසය සහ සංස්කෘති පිළිබඳ දේශන පවත්වමින් ද යෝග, භාවනා, නැටුම්, ළමා වැඩසටහන් සංවිධානය කරමින් ද දකුණු ආසියානු සංස්කෘති රුසියානුවන් අතර ප්‍රචලිත කිරීමට නීනා ගියෝර්ගියෙව්නා කටයුතු කළාය. මේ සංවිධානය පසු කලෙක ‘මෛත්‍රීපුර’ නමින් ප්‍රකට විය.
ඉංග්‍රීසි, ප්‍රංශ, මරාථි, හින්දී, දෙමළ සහ සිංහල භාෂාවවලින් රුසියානු භාෂාවට පරිවර්තන රාශියක් සිදු කළ නීනා ක්රස්නදේම්බ්කයා සිංහල සාහිත්‍යය වෙනුවෙන් කළ විශාලතම සේවය මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ සහ ගුණදාස අමරසේකර සූරීන්ගේ කතා මාලාවක් ‘සෝමා’ නමින් රුසියානු බසට පෙරළා එළිදැක්වීමයි. ‘හඳ සාක්කි කීම’, ‘වහල්ලු’, ‘නරක් වූ පිටි බඳුන’, ‘මීයාගේ මරණය සහ සවස’, ‘වැස්ස සහ ලියුම’ වැනි කතා ඒ සංග්‍රහයට ඇතුළත් විය.
මුද්‍රණයෙන් එළිදුටු ඇය ලියූ සහ ඇයගේ දායකත්වයෙන් රචිත ග්රන්ථ සහ පර්යේෂණ ලිපි සංඛ්‍යාව 460ක් පමණ වන බව ඈ පිළිබඳ ලිපියක් සපයන ඊගර් කෝතින් සහ යෙලේනා සෝබලෙවා මහාචාර්යවරු සඳහන් කරති. එන්.එම්. සිසෝයෙවා සහ ඊ.වී. ශේපෙලෙවා විසින් සකස් කෙරුණු නීනා ක්රස්නදේම්බ්ස්කයා මහාචාර්යතුමියගේ සම්පූර්ණ කෘති මාලාවේ දැක්වෙන වඩාත් නිවැරදි තොරතුරුවලට අනුව ඇයගේ සමස්ත ලේඛනාවලිය 474ක් බව සඳහන් වේ. ඒ අතර මෙතෙක් පළ නොවුණු ඇයගේ නිබන්ධත් දැක්වෙයි. එසේම, අන්වර්ථ නාමයන් යටතේ ඇය විසින් ‘සෝවියට් සාහිත්‍යය’ නමින් ඉංග්‍රීසි බසින් පළ වූ සඟරාවට සම්පාදනය කරන ලද ලිපි ද සැලකිය යුතු ප්‍රමාණයක් වෙයි.
තවද, රුසියාවේ ප්‍රධාන රාජ්‍ය විශ්වකෝෂය වන රුසියානු මහා විශ්වකෝෂයටද රුසියාවේ සමයාන්තර විශ්වකෝෂයටද (විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බුදුසමය පිළිබඳ ලිපි), නව රුසියානු විශ්වකෝෂයට ද (සිංහල භාෂාව පිළිබඳ ලිපි), රුසියානු ඉතිහාස විශ්වකෝෂයට ද (ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධ ලිපි) ශ්‍රී ලංකාවට සහ දකුණු ආසියාවට අදාළ විශේෂඥ ලිපි සැලකිය යුතු ප්‍රමාණයක් සම්පාදනය කරන ලද්දේ ඇය විසිනි. එය ඉතා උසස් ශාස්ත්‍රීය පිළිගැනීමක ලකුණකි.
ශ්‍රී ලංකාවේදී ඇය ශාස්ත්‍රීය සම්බන්ධතා පැවැත්වූ විද්වතුහු පෙළකි. ඒ අතර මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තිස්ස කාරියවසම්, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ආචාර්ය තෙල්මා ගුණවර්ධන, මහාචාර්ය ගාමිණී අධිකාරි වැන්නෝ වෙති. එසේම සිය පර්යේෂණ සඳහා අවශ්‍ය තොරතුරු සපයාගනු පිණිස නීනා ගියෝර්ගියෙව්නා විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), විද්‍යාලංකාර (කැලණිය), පේරාදෙණිය යන විශ්වවිද්‍යාලයීය පුස්තකාල මෙන්ම, රාජකීය ආසියාතික සමිතියේ පුස්තකාලයද පරිශීලනය කිරීමෙහි නිරතව සිටියාය.
මහාචාර්ය නීනා සිය පර්යේෂණ සඳහා ආභාසය ලැබූයේ තම සීයාගෙන් බව පැවසේ. වලේරි යෙව්ගේනියේවිච් ක්රස්නදේම්බ්ස්කි නම් වූ ඔහු රුසියාවේ ප්‍රකට ප්‍රාචීන පර්යේෂකයෙක් විය. උර්දු-රුසියානු ශබ්දකෝෂයේ එක් සම්පාදකයකු වූ ඔහු, පළමු රුසියානු-මරාථි සහ මරාථි-රුසියානු ශබ්දකෝෂයන්හි ද රුසියානු භාෂාවෙන් සම්පාදිත පළමු මරාථි භාෂා පෙළ පොතේ ද කතුවරයාය. එසේම ඔහු මුණ්ඩා සහ ශ්‍රී ලංකාවේ වැදිජනයා අධ්‍යයනය කළ රුසියාවේ මුල්ම පර්යේෂකයෙකි.
සිය අවසාන ලංකා සංචාරය පිළිබඳ සටහන් තබමින් තම සියලු සංචාරයන්හිදී ආබාධිත තමාට උපකාර කළ ශ්‍රී ලාංකික හිතවතුන්ද පර්යේෂකයන්ද මඟතොටේදී හමු වූ සාමාන්‍ය ජනයා පවාද කෘතවේදිව සිහිපත් කළ ඇය ශ්‍රී ලාංකිකයන් විසින් ඒ සියලු උපකාර ඇයට සපසන ලද්දේ කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව බව විශේෂයෙන් සඳහන් කර තැබුවාය. තමා ඉතා ආදරය කළ අන්‍ය දේශයද තමාගේ පර්යේෂණ නියැදියද වූ ශ්‍රී ලංකාව ඇය විසින් මහත් ළෙන්ගතුකමින් හඳුන්වන ලද්දේ ‘මගේ ලංකා භූමිය’ යනුවෙනි.
ඇයගේ සිසු පිරිස අතුරින් කිහිප දෙනෙක් ශ්‍රී ලාංකේය පර්යේෂණයන්හිද නියැළෙති. ඒ අය අතුරින් තත්යානා සිමිනා මෙණෙවිය සිය දර්ශනසූරී උපාධිය සඳහා වැදි ජනයා අධ්‍යයනය කරමින් සිටින අතර, ඒ සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ චාරිකාවකට ශ්‍රී ලංකාවටද පැමිණියාය. ඇයගේ පර්යයේෂණ නිබන්ධනයේ මාතෘකාව වනුයේ ‘ශ්‍රී ලංකාවේ ආදිවාසීහු: ඉතිහාසය සහ වර්තමානය (මානවවංශ විද්‍යාත්මක යථාර්ථ)’ යන්නයි.
මහාචාර්ය නීනා විසින් ඉටු කරන ලද ශාස්ත්‍රීය සේවය සැලකිල්ලට ගෙන ඇයගේ 85 වැනි ජන්ම දිනය සමරා ‘ශ්‍රී ලංකා රංජන’ සම්මානය සඳහා ඇයගේ නාමය නිර්දේශ කරමින් ලිපි රාශියක් ඉදිරිපත් වුවද ඒ සඳහා අවකාශ නොලැබිණි. විශේෂ වශයෙන් ඇයගෙන් ශ්‍රී ලාංකේය අධ්‍යයන සඳහා ඉටු වූ සේවයත්, සමස්තයක් වශයෙන් ඇය සේවා කළ කෞතුකාගාරය විසින් ශ්‍රී ලාංකේය පර්යේෂණ වෙනුවෙන් කළ මෙහෙයත් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාව සහ රුසියාව අතර මිත්‍රත්වයේ ලකුණක් වශයෙන් යටත් පිරිසෙයින් එම කෞතුකාගාරයට හෝ එකී සම්මානය පුද කිරීමට තවත් ප්‍රමාද විය යුතු නැති බව අපගේ අදහසයි.
ආචාර්ය රන්ජන දේවමිත්ර සේනාසිංහ