– පෞද්ගලික බස් ත්‍රිරෝද රථ නීති විරෝධි සැරසිලි උපාංග රැසක් මේ වන විටත් ඉවතට
– බස්වල වැඩි කෑලි ගලවන්න මාස 3ක සහන කාලයක්
ඉකුත් වසර පහේදී මෙරට සිදු වූ මාරක අනතුරුවලින් පුද්ගලයන් 12,140ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද, ඒ කාලය ඇතුළත සිදුවූ රථවාහන අනතුරු 1,17,970කින් 11,581ක්ම මාරක රිය අනතුරු බව ද පොලිස් මූලස්ථානයේ සංඛ්‍යා ලේඛන අනුව අනාවරණය වූයේ පසුගියදාය.
වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ මෙහෙයවීම මත රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල යන නිලධරයන් විසින් සිදු කරන ලද දීර්ඝ සමීක්ෂණයකදී මේ අනතුරුවලට අදාළ තොරතුරු සහ දත්ත අනාවරණය කෙරිණි.
මහපාරේ විනය ගරුක නොවන රියැදුරන් නිසා මෙවැනි තත්වයක් ඇති වී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය පාරට බහින්නේ පසුගියදාය. ඒ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේය. ප්‍රධාන අරමුණ වූයේ මහපාරේ විනය කඩන රියැදුරන් කොටුකර ගැනීම සඳහාය. මෙහෙයුම සැලැසුම් කැරෙන්නේ ලබන 19 වැනිදා දක්වාය.
මහපාරේ විනයක් නැති රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කරන ලද මෙම මෙහෙයුමේදී මූලික වශයෙන් අවධානය යොමු කැරුණේ මගී ප්‍රවාහන සේවා වෙතය. මගී බස්, ත්‍රිරෝද රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන ඇතුළු මගී ප්‍රවාහන සේවාවල තත්වය උසස් කර ගුණගරුක විනයගරුක සහ මහපාරේ නීතිරීති පිළිපදින රියැදුරන් බිහිකිරීම පොලීසියේ අරමුණ විය.
මගී ප්‍රවාහන සේවා, විශේෂයනේ ඇතැම් පෞද්ගලික බස් සම්බන්ධව පොලීසියට ඒ වන විටත් මගී ජනතාවගෙන් විශේෂයෙන් තොරතුරු ලැබී තිබිණි. තොරන් මෙන් විදුලි ආලෝකය දල්වමින් ගමන් කරන, තහනම් විදුලි පහන් භාවිතා කරන, තහනම් අංගෝපාංග බස් රථවලට එකතුකරගෙන සිටින, මගීන්ට බනින තළනපෙළන, ටිකට්පත් නිකුත් නොකරන, මාර්ග නීති සංඥා තුට්ටුවකටවත් මායිම් නොකරන, අධික වේගයෙන් ධාවනය කරන, රියැදුරු අසුන සහ ඒ අවට මාර්ගය නොපෙනෙන ලෙස විවිධ ආගමික ප්‍රතිමා, මල්වැල්වලින් සරසාගෙන සිටින, බීමතින් පසුවන, මත්ද්‍රව්‍ය පානය කරන බස් සේවකයන් පිළිබඳව මෙම මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන, ඉතිරි මුදල් නොදෙන, සෝඝාකාරී සංගීතය නිසා මගීන් පීඩාවට පත්කරන, මගී බස් රථ මේ මෙහෙයුමේදී රටේ සෑම ප්රදේශයකදීම පරීක්ෂාවට ලක් විය. ඇතැම් බස් රථවල සිවිල් ඇඳුමෙන් ගමන් කරනා පොලිස් උපාය දූතයන් ද මේ වැඩසටහන එක්ව සිටි අතර කිලෝමීර කීපයක් ඇතුළතදී අදාළ රියැදුරා කරන වැරදි සටහන් කරගෙන එම වැරදි වීඩියෝගත කර, පොලිස් නිලධාරීන් විසින් නැවැත්වීමට සංඥා කරන ස්ථානයකදී බසය නැවැත්වීමෙන් පසු උපාය දූතයා අදාළ පොලිස් නිලධරයන් හමුවට පැමිණ තමන් ආ බසයේ රියදුරු සිදු කළ වැරදි එකින් එක වීඩියෝ සාක්ෂි සහිතව ලබාදුන් පසු පොලිස් නිලධාරීන් එම වැරදි ගැන රියැදුරු දැනුම්වත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම ද මේ මෙහෙයුමේදී සිදු විය.
සමහර රියැදුරන් මාර්ග නීති නොකඩා ඉතා පරීක්ෂාකාරී ලෙස බස් ධාවනය කළ අවස්ථාවල පොලිස් නිලධාරීන් ඒ රියැදුරන් පැසසූ අවස්ථා ගණනාවක් ද මේ මෙහෙයුමේදී දක්නට ලැබිණි. මීට අමතරව ප්‍රධානම මගී ප්‍රවාහන සේවාවන් වන ත්‍රිරෝද රථ ද මේ මෙහෙයුමේදී පොලිසියේ පරික්ෂාවට ලක්විය. නීති විරෝධී අමතර කොටස්, විදුලි පහන්, අමතර පහන්, සැරසිලි සහ රියැදුරාට මාර්ගයේ ඉදිරිපස නොපෙනෙන සැරසිලි සම්බන්ධව මේ මෙහෙයුමේදී පොලීසියේ දැඩි අවධානය යොමුවිය. මාර්ග නීති උල්ලංඝනය කරන සහ අනීතිකව කටයුතු කරන මගී බස් රථ සහ ත්‍රිරෝද රථ රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සහ ඔවුන් දැනුම්වත් කිරීම සඳහා සිදු කරන ලද මෙම මෙහෙයුමට දින කීපයක් ගතවෙද්දි මහජනතාව පැත්තෙන් ලොකු ප්‍රතිචාරයක් දිරි ගැන්වීමක් ඊට ලැබුණත් බස් සංගම් සහ ත්‍රිරෝද රථ සංගම්වල නිලධාරීන් ඒ ගැන තකා කෙළේ වැඩි කැමැත්තකින් නොවේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාළව කටයුතු වෙනුවට පොලිසිය වෙනත් අරමුණකින් ක්‍රියාකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර චෝදනා කෙළේ මේ වැඩසටහන ආරම්භ වී දින කීපයක් ගතවෙද්දීය. ත්‍රිරෝද රථවල අලංකාරය පිණිස සවිකර ඇති අමතර උපකරණ ගැලවීම වෙනුවට පොලීසිය කළ යුත්තේ රථ වාහන වැරදි කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම බවට ඔහු චෝදනා කෙළේය.
පොලිසිය පෞද්ගලික බස් රථවල උපාය දූතයන් යොදවා සිදු කරන මෙහෙයුම් සහ දඩ පත්‍රිකා දිගින් දිගටම නිකුත් කරමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා පෞද්ගලික බස් කර්මාන්තයට බරපතළ තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊට විරෝධය දක්වමින් බදාදා (08) රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව වැඩවර්ජනයක් සිදුකරන බව කීවත් පොලිසිය සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව එය හකුලා ගත්තේය. පෞද්ගලික බස්වල සවිකර ඇති අමතර උපාංග නිත්‍යනුකූලව බසයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කර ගැනීමට හෝ ඉවත් කිරීමට මාස 03ක කාලයක් පොලිසියෙන් ලබාදීම නිසා මේ වර්ජනය අත්හිටවිණි. බස් සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර ඇතිවූ සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගැනිණි.
ලබන 19 වැනිදා දක්වා පොලිසිය සිදු කරගෙන යන මේ විශේෂ රථ වාහන මෙහෙයුමේදී ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවේ. විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවිකර ධාවනය කරන වාහන පිළිබඳ විමර්ශනය, ඝෝෂාකාරී නලා සවිකිරීමේ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන, අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය කරන වාහන පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් පරික්ෂා කැර බැලේ. පොලිස් උපාය දූතයන් යොදවා සිදු කරන දෙවැනි මෙහෙයුමේදී පොදු ප්‍රවාහන බස් සේවාවල රියැදුරන් කරන වැරදි වීඩියෝ දර්ශන මගින් හෙළිකරගෙන ඔවුන්ට එම වැරදි කියා දීමට කටයුතු යොදා තිබේ.
ජනවාරි මාසයේ 4 වැනිදා ආරම්භ වූ මේ මෙහෙයුම 19 වැනිදා අවසන් වීමට නියමිත අතර රියැදුරන් දහස් ගණනක් මේ නීති ගැන දැනුම්වත් කිරීම සහ ඔවුන්ට අවවාද කිරීම පොලිසියේ අපේක්ෂාවයි. අදාළ කාලය ඇතුළතදී පොදු ප්‍රවාහන සේවා විශේෂයෙන් මගී බස්වල සවිකර ඇති නීති විරෝධී අමතර උපාංග ඉවත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. කුමන බලපෑම් සහ බාධක පැමිණියත් ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය මහමඟදී දැනට සිදු කරන රථවාහන සෝදිසි මෙහෙයුම් නොනවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කෙළේ ද ඔය අතරය. මේ විශේෂ රථවාහන මෙහෙයුම් සිදුකිරීම නිසා දිනකට සිදුවූ 20ක් පමණ වූ රිය අනතුරු ප්‍රමාණය 4 – 5 අතර දක්වා අඩුවූ බවත් මාරක රිය අනතුරු ප්‍රමාණය ද සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙහෙයුම් සිදුකරන මුල් සති දෙකේදි නීති විරෝධි සවිකිරීම් සිදුකර ඇති රථවාහනවලට දඩ පත්‍රිකා නිකුත් කිරීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොකරන බවද ඔහු සඳහන් කෙළේය.
මේ අතර මින් ඉදිරියට බස් රථ ධාවනය කරද්දි කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවද එලෙස පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පෙන්වා දුන්නේ ද ඔය අතරය.
මේ අතර ත්‍රිරෝද රථ මගී බස් රථ අලංකරණ උපකරණ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්වය නිසා තමන්ට බරපතළ අපහසුතාවකට මෙන්ම ව්‍යාපාර කඩා වැටීමේ තත්වයකට පත්ව ඇති බවද වාහන අලෙවි කරන උපකරණ විකුණන වෙළෙන්දෝ පෙන්වා දෙති. අදාළ වාහන අලංකරණ උපකරණ අලෙවියේ අඩුවක් මේ වන විට පෙනෙන්නට ඇති බවද ඔවුහු පෙන්වා දෙති. විනෝද චාරිකාවල යෙදෙන්නන්ට අපහසු සහ අනතුරුදායක ලෙස බස් රථවලට එකතු කර ඇති අංගෝපාංග ඉවත් කිරීමට බස් සේවකයන්ට උපදෙස් දුන් බව විනෝද චාරිකාවල නිරතවන බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති පී.ඒ. දයාරත්න මේ අතර සඳහන් කර තිබිණි.
මගී බස් සහ ත්‍රිරෝද රථ අලංකරණ උපකරණ වර්ග 42කට අවසර ලබාදී ඇතැයි ද ඉන් 26ක්ම මුදල් නොගෙවා භාවිත කළ හැකි බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු පෙන්වා දුන්නේය. අදාළ අවසරය ඇති අමතර උපාංග මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව වාහනයේ පොතට ඇතුළත් කළ යුතුවේ. වාහන අලංකරණ උපාංග එසේ නීත්‍යනුකූල අන්දමින් පොතට ඇතුළත් කරගෙන සවිකර ඇත්තේ බස් රථ 35ක සහ ත්‍රිරෝද රථ 65ක පමණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
රිය අනතුරු වළක්වා ගැනීම සඳහා සියලු වාහන හිමියන් සහ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කෙළේ කැබිනට් තීරණ දැනුම්දෙන ප්රවෘත්ති සාකච්ඡාවේදීය. ඒ ඉකුත් 7 වැනිදාය.
ගෙවී ගිය පස් වසරේදී රිය අනතුරුවලින් මිය ගිය 12,140ට අමතරව 33,259ක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව ඇති බවට තොරතුරු හෙළිවී ඇත. මෙහි සුවිශේෂීම තත්ත්වය වන්නේ ලෙඩ රෝග සහ වයස්ගත වීමෙන් සිදුවන මරණවලට පසුව අකාලයේ වැඩිම පිරිසක් මිය යන්නේ මහමඟදී සිදුවන අනතුරුවලින් නිසාය.
2020, 2021, 2022, 2023 යන වසර 4දී සහ 2024 වසරේ නොවැම්බර් මාසයේ 30 වැනිදා දක්වා වසර 5කට ආසන්න කාලයේදී මෙරට සිදු වී ඇති රථවාහන අනතුරු සංඛ්‍යාව 117,970කි. එම වසර 5 අතරින් වැඩිම අනතුරු සිදුවී ඇත්තේ 2024 වසරේදීය. එම සංඛ්‍යාව 24,589කි. මේ කාලය ඇතුළතදී සුළු තුවාල ගෙන දුන් අනතුරු සංඛ්‍යාව 44,440ක් බවට සංඛ්‍යාලේඛන සඳහන් කරයි. මේ වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා සිදුවී ඇති පොදු මගී ප්‍රවාහන බස් රථ අනතුරු ගණන 2005කි. ඒ අතර ශ්‍රීලංගම බස් අනතුරු 515ක් සහ පෞද්ගලික බස් 1,490ක්ද වන බව සංඛ්‍යා ලේඛන දක්වයි. මේ කාලයේ ඇතුළත ලංගම බස් අනතුරුවලින් පුද්ගලයන් 50ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලික බස් රථ අනතුරුවලින් මියගිය ගණන 148කි. රිය අනතුරකදී සිදුවන මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් නිරීක්ෂණය වන බවද රිය අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවද ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර පසුගියදා සඳහන් කළේ මාධ්‍ය සාකච්ඡාවකදීය.
අනතුරුවලින් මිය යන පුද්ගලයන් අතරින් 80%ක් වාහනවල ඉදිරිපස ගැටීමමෙන් ජීවිතක්ෂයට පත්වන බවද මෙවැනි අනතුරු 3000ක් පමණ වාර්ෂිකව නිරීක්ෂණය වන බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධරයා සඳහන් කෙළේය. මගී බස් රථවල අනාරක්ෂිත ආසන නිසා තිරිංග පහරකදී පිටුපස අසුනේ සිටින මගියා ඉදිරිපස අසුනේ ගැටීමෙන් අනතුරු සිදුවන බවට නිරීක්ෂණය වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය. බස් රථවලට, ත්‍රිරෝද රථවලට එකතු කරන ඇතැම් අංගෝපාංග එම වාහන ධාවනයේදී ඉවතට විසිවුවහොත් එය ගැටෙන පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වීමට පවා ඉඩ ඇති බව පෙන්වා දුන් විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර වැඩිදුරටත් සඳහන් කෙළේ සුදු යකඩවලින් නවීකරණය කරන ලද ත්‍රිරෝද රථයක් පෙරලෙන අවස්ථාවේ එම කූරු ඇනී එහි සිටි මගීන් මරණයට පත්වීමට ඉඩකඩ ඇති බවකි.
මේ අතර බස් මගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කෙළේ පසුගියදාය. ඒ අනුව බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් ලබාදෙන ධාවන බලපත්‍රවල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභාවලින් බස්රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේදී අඩංගු කොන්දේසි සියල්ල එකත්කර ගනිමින් මෙම මගී බස් අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙල කිරීමට නියමිතය.
මීට අමතරව පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරකරුවන්ගේ රැකියා සුරක්ෂිත භාවය ඇති කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කෙළේය.
ඡායාරූප – වාසිත පටබැඳිගේ
දීපාල් සමරසේකර