මිනිසා සතුව ඇති ප්‍රධානම ලක්ෂණයක් වන්නේ ලද දෙයින් සතුටු නොවීමයි. පුහුදුන් මිනිසා කිසිදු ලෙසකින් සෑහීමකට පත් නොවේ. උදාහරණයක් ලෙස: පාවහනක් නැති තැනැත්තා පාවහනක් ලබාගැන්මට උපරිම උත්සාහ දරයි. ඊට පසු ඒ පාවහන වෙනුවට ඊට වඩා හොඳ පාවහනක් නැතහොත් සෙරෙප්පුව වෙනුවට සපත්තු යුගලයක් ලබාගැන්මට වෙර දරයි. එය ලබාගත් පසු ගමන් පහසුව තවත් වැඩි කර ගැන්මට පාපැදියක් ලබාගැන්මේ ආසාව උපදී. එය ලබාගත් පසුව යතුරුපැදියක් ලබාගැනීමේ නොතිත් ආශාවෙන් ඔහු පෙළෙන්නට පටන් ගනියි. එතැනින්ද නොනැවතී වාහන පවා එකින් එක ලබාගැන්මේ ආසාවෙන් ඔහු පෙළෙන්න පටන් ගනී. ලෝකයේ ඇති හොඳම වාහනය ලැබුණ ද ඔහුගේ ආසාව නොසංසිඳේ. එයට ප්‍රධාන හේතුව සිතෙහි උපදින ආසාව හෙවත් තණ්හාවේ අවසානයක් නැතිකමයි.
සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ජීවිතයෙන් ලද දෙයින් සතුටු වීම දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි. පාරමිතා සම්පූර්ණ කිරීමේ මඟට පිළිපන් පුද්ගලයන් තුළ මේ ධර්මතාව තරමක් දුරට හෝ දක්නට ඇතත්, අද සමාජය දෙස බලන විට එවන් ගුණයෙන් යුත් පුද්ගලයෝ ඉතා විරලය.
ලෝකයේ සංවර්ධනය යනුවෙන් අප අද දකින්නේද අසීමිත ආසාවන් කරා දිව යෑමය; අනෙකාට වඩා උසස් ලෙස දිවි ගෙවීමට ප්‍රයත්න දැරීමය; අනෙකාට වඩා බලසම්පන්න වීමට යත්න දැරීමය. බුදු දහමින් එය ප්‍රතික්ෂේප කර ඇත. දිවි ගෙවිය යුත්තේ, රාජ්‍ය පාලනය කළ යුත්තේ කෙසේදැයි බුදු දහම මැනවින් පෙන්වා දී ඇත.
අතීතයේ දසරාජ ධර්මයෙන්, සතර සංග්‍රහ වස්තුවලින් පරිපූර්ණ රජවරුන් රාජ්‍ය පාලනය කළ අතර, මෙරට දියුණුවේ ඉහළටම නැඟ ගියේ එවන් ධාර්මික පාලනයක් මඟිනි. ඒ ඔස්සේ දිවිගත කළ ජනතාවද රජ වෙන්නට උත්සාහ නොකර, ලද දෙයින් සතුටු වෙමින් දීර්ඝායුෂ වින්දහ. ඔවුන් සතුටින් දිවි ගෙවූයේ ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ යන බෞද්ධ සංකල්පය තුළය. අසීමිත ආසාවන් ඔවුන්ට තිබුණේ නැත. එහෙත් අද සංවර්ධනයට සිතා ගැන්මටවත් නොහැකි දේ කරන්නට ඔවුහු සමත් වූහ. සීගිරිය වැනි විස්මිත නිර්මාණ කරන්නට, රුවන්මැලි සෑය වැනි අහස සිඹින දාගැබ් තනන්නට ඔවුන්ට විදේශාධාර අවශ්‍ය නොවීය. පරාක්‍රම සමුද්‍රය ඉදි කරන්නට විදේශ ශක්‍යතා වාර්තා අවශ්‍ය නොවීය. ඒ සරල බවේ දියුණුවයි. පරිසරයට ආදරය කරමින් ඔවුහු සංවර්ධනය කළහ.
අද වුවත් සංවර්ධනය වූ රටවල් ලෙස සැලකුවත්, ලෝකයේ බොහෝ රටවල ජන සමාජයන්ගේ මිනිසුන් බොහෝ විට අතෘප්තිකර තත්ත්වය නිසා ඇති කරගන්නා ප්‍රශ්න රැසකි. සීමාවක් නැතිව නව නිෂ්පාදනයන් සොයමින් ඒවායේ ඇලී ගැලී අසීමිත ලෙස ඒවා නිෂ්පාදනය කරන්නත්, නිෂ්පාදනය කළ විට ඒවා ලබා ගන්නත් යෑමෙන් අද ලෝකය තුළ විශාල ගැටලු මතුව ඇත. ඒවා ලබාගන්නට නොහැකි වූ විට දුක සන්තාපය ඇති වේ. එවිට සොරකම බිහි වන්නට ඉඩ ඇත.
බුදු රජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’ යනුවෙන් දේශනා කළේ ආසාවන් පසුපස යමින් තමන් කැමැති දේ නොලැබීමේ ‘ඉච්ඡා භංගත්වයට’ පැමිණි පසු ඔහුට දුක ඇති වන ආකාරයයි. සාමාන්‍ය දුකට අයත් දොළොස් දුක්ඛයන් අතර ‘ඉච්ඡා විඝාත දුක’ නොහොත් කැමැති දේ නොලැබීමේ දුක යනුවෙන් මේ බව දේශනා කර ඇත.
මෛත්‍රිය, කරුණාව මඟින් ලෝකයේ බොහෝ දේ කරා යෑමට අපට හැකියාව ඇති බව උන් වහන්සේ පෙන්වා දුන් සේක. දියුණු යැයි සලකන රටවල හා සමාජයන්හි අසීමිත ආසාවන් හඹා යෑම නිසා ඇති වන ගැටලුවලට පවා ඔවුන් විසඳුම් සොයා ඇත්තේ බුදු දහමට අනුගත වීමෙන් බව පැහැදිලිය.
ලද දෙයින් සෑහීමට පත් වීමට නොහැකි වීම නිසා සමස්තයක් වශයෙන් මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව කිවහොත් එය නිවැරැදිය. අද ලෝකයේ රටවල් අතර යුද්ධ හටගෙන ඇත්තේ ඇයි? තමන් සතු භූමිය සම්පත්වලින් සෑහීමකට පත් නොවීම නිසාය; අනෙකාගේ දියුණුවට භෞතික සම්පත් ඩැහැ ගැනීමට යත්න දරන නිසාය. බෞද්ධ සමාජයන්හි පවා අද වන විට අසීමිත ආසාවන් හඹා යෑම කෙරෙහි දක්වන ආකල්ප වැඩි වී තිබේ.
පවුලේ සුළු ගැටලුවල සිට සමාජමය ගැඹුරු ප්‍රශ්න දක්වාම මේ තත්ත්වය වර්ධනය වී තිබේ. සියලු ගැටලු විසඳා ගැනීමේ මඟ බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත. අසීමිත ආසාවන් හෙවත් සෑහීමට පත් වීමේ නොහැකියාව නිසා දහම පවා අමතකව, හැඟීම් මත පමණක් එල්ලී සිටීම නිසා අද ජනතාව හැඟීම්වල වහලකු බවට පත්ව ඇතැයි කීවද එය නිවැරැදිය. මේ නිසා ඉතා පහසුවෙන් විසඳාගත හැකි ප්‍රශ්න දුරදිග ගොස් විපත් ළඟා කරන්නා අයුරු අපට දැකිය හැකිය.
පැරණි සමාජය දෙස බලමු. සියලු ගැටලුවලදී ඒවා විසඳා ගැනීමේ තෘප්තිකර ස්වභාවයක් අප අතර දකින්නට ලැබිණි. ඒ දහමට අනුව කටයුතු කළ නිසාය. ආදර්ශවත් ජීවිතගත කරමින් ලද දෙයින් තෘප්තිමත්ව කටයුතු කරනවා නම් අපට ජීවිතය ගැටලුවක් නොවේ.
අද අප අතර බොහෝ විට දක්නට ඇත්තේ නාමික බෞද්ධයෝය. බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය අනුව ගමන් කරන්නේ අතළොස්සකි.
ලෝකයේ ඕනෑ තරම් නිෂ්පාදන සම්පත් ඇතැයි යන උපකල්පනයෙන් අපි අතෘප්තිකර ආශාවන් වෙත හඹා යන සමාජයක් තුළ අතරමං වී සිටිමු. මේ නිසා අපේ හරවත් ජීවිත රටාව නැති කරගෙන විපතට වැටී ඇති බව මැනවින් කල්පනා කර බැලුවහොත් පෙනී යනු ඇත. මුදල් මතම යැපෙන සමාජ රටාවක් බිහි වීම නිසා කරුණාව, මෛත්‍රිය වැනි ගුණදහම් අප කෙරෙන් දුරස්ව ගොස් ඇති බව පෙනේ. මේ නිසා මවුපියන් නොහඳුනන සමාජයක් කරා අපි පියමං කරමින් සිටිමු. එසේම දරුවන් ගැන සොයන්නට මවට පියාට වේලාවක් නැත. මේ නිසා ජංගම දුරකතනය තම එකම මිතුරා බවට අද තරුණ සමාජය විසින් මනසක් උපදවාගෙන තිබේ. මවට දරුවන් ගැන වටිනාකමක් නැති තම කුසින් ඉපිදවූ දරුවන් මුදලට විකුණන යුගයක් බිහිව ඇත. එහි අනික් පැත්ත වන මවුපියන් නොසලකා හරින මවුපියන්ගේ වටිනාකම තුට්ටුවට දෙකට දමා සලකන්න පුරුදු වූ සමාජයක් බිහිව ඇත. ඒ සියල්ල අතෘප්තිකර ආසාවන් නිසාය.
අතීත හෙළ රජ දරුවන් දුන් ඔවදන් ගමන් මඟ ඉවත දමා, නොවටිනා දෙයට අප ගිජු වූයේ මේ අතෘප්තිකර ආසාවන් මුදුන් පත් කරගන්නට යෑමෙනි. දැන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත නොහැකිව අපම අතරමංව ඇත.
බුද්ධ දේශනාව වූයේ අනුව ඉන්ද්‍රියන් පිනවීම නොව, ඉන්ද්‍රියන් පාලනය කිරීමය. එහෙත් අද එහි අනෙක් පැත්ත සිදුව ඇත. පංචේන්ද්‍රියන් පිනවීමට සියලු වෙර දැරීම නිසා මේ ගැටලු මතුව ඇති බව අපට පෙනී යයි.
මනස නිසි ලෙස හික්මවීමේ හැකියාව ලැබී තිබෙන්නේ මනුෂ්‍යයාටය. මනස උසස් තැනැත්තා, මනස පාලනය කර නොගෙන මනසට අවශ්‍ය පරිදි කටයුතු කිරීම නිසා තවදුරටත් මිනිසා පිරිහෙන්නට පටන් ගෙන ඇත. ඔහුට තම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා නොදැනුවත්වම තමා මනසේ වහලකු බවට පත්ව ඇත. දුම්වැටි උරන හා සුරා පානය කරන මෙන්ම මත්ද්‍රව්‍යවලට යොමු වූ තැනැත්තා ඒවා සොයාගන්නට බැරි වූ විට මොන යම් ආකාරයේ පහත් ක්‍රියාවක් හෝ සිදු කර තම අභිමතය සඵල කරගන්නට කටයුතු කරයි. මනුෂ්‍යත්වයෙන් පිරිහී ඔහු තිරිසන් සතකුගේ ස්වභාවයට පත් වෙයි. සෑහීමට පත් වන්නට ඇති අපහසුකම නිසාම තමාගේ පරිහානිය තමාම උදා කරගනී.
බුදු රජාණන් වහන්සේ විසින් ශාසනය තුළ විනය නීති පනවා ඇත්තේත්, ගිහියාට නිත්‍ය ශීලය හෙවත් පංච ශීලය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේත් එනිසාය. පන්සිල් අරක්ෂා කරන්නා වූ සමාජයක ගැටලු, පිරිහීම් අවමය.
මේ නිසා අප සමාජය තුළ යහපත් පුද්ගලයන් දැකිය හැක්කේ අල්ප වශයෙනි. සමාජයේ හොඳ නමක් තබාගැනීමට හෝ තම අභිමතාර්ථය සඵල කර ගැනීමට පමණක් තමා ශුද්ධවන්තයකු ලෙස පෙනී සිට විවිධ සටකපට කියා කරන්නන් අද සමාජයේ දකින්නට ලැබෙයි. ඔවුන් දන් දෙන්නේ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙනි, නැත්නම් කාට හෝ උපකාරයක් කරන්නේ සමාජයේ පැසසුම් බලාපොරොත්තුවෙනි. ඇතැම් අය විහාරස්ථාන හා සමාජ සේවා කරන්නේ ආදායම් බද්දෙන් තම ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කරගැනීමේ අරමුණිනි. බුදු රජාණන් වහන්සේ විසින් වංචක ධර්ම ලෙස මේ සටකපටකම් ගැන විවරණය කර ඇත. වංචක ධර්මයන්ගෙන් තොරව සමාජයට යහපත් කටයුතු සිදු කරමින්, තම ධාර්මික ව්‍යාපාර හෝ රැකියා සිදු කරන්නේ නම් එවන් අයට ගැටලු ඇති නොවන්නාක් මෙන්ම, ඒ පුද්ගලයන්ගේ කීර්තිය යසස සදා කල් පවතිනු ඇත. එසේ නොවුවහොත් එම පුද්ගලයන්ගේ සැබෑ තතු හෙළි වූ විට ඔවුන්ට නින්දා අපහාස විඳින්නට සිදු වනු ඇත.
එහෙයින් බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයන් වුවද කටයුතු කළ යුත්තේ සාරධර්ම අනුගමනය කරමිනි. ඒ උදෙසා ආගමක් දහමක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මිනිසත් බව තේරුම් ගැනීම පමණි; අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීම පමණි. අනෙකා පරයා යෑම හෝ බුදු දහමින් ප්‍රතික්ෂේපිත මානය ඉස්මතු කරගෙන තමන් හා සසඳා අනෙකා මැන බලමින්, සදිස මානයෙන් සිටීම හෝ තමා අනුන්ට වඩා උසස් යැයි සිතමින් මානයෙන් මුසපත් වීම හෝ අනුන්ට වඩා පහත් බව සිතමින් හීනමානය ඇති කරගැනීම හෝ නොවේ.
එබැවින් සමාජයට වැඩදායී පුද්ගලයකු වීමට නම් සාරධර්ම අගයන, කරුණාව මෛත්‍රිය උපදවා ලද දෙයින් සතුටු වන අයකු බවට පත් වන්නේ නම් සමාජයේ බොහෝ ගැටලු විසඳී, ඒ සමාජය වැඩදායී වන්නා සේම එම රාජ්‍යය ද ස්වයංපෝෂිත වන්නේය. එමෙන්ම සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති එකිනෙකා විසින් කළ යුතු යුතුකම් ඉටු කරන්නේ නම් ඒ සමාජය කිසිදා පිරිහීමට පත් නොවේ.
තාරක වික්‍රමසේකර