මීට දින කිහිපයකට පෙර බදුල්ල ප්‍රදේශයෙන් ජන උද්ඝෝෂණයක් මතු විය. ඒ බදුල්ල සිංහලයාගම, උණකන්ද, අන්නාසිගල ප්‍රදේශවල පවුල් 200කට අධික පිරිසකට විදුලිය සැපයීමට නියමිතව තිබූ විදුලි ව්‍යාපෘතියක් ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් අත්හිටුවීම සම්බන්ධයෙනි. දිගින් දිගටම ජනතාවගේ අඳෝනා ඇසෙන්නට විය.
ජනතාව පත් කරගත් ජනතා ආණ්ඩුවෙන්ම තමන්ට සාධාරණයක් නොවන බවට පිරිසක් හඬ නැඟූහ. ඔවුන් දිගින් දිගටම පැවසුවේ තමන්ට විදුලිය බලය නැති බවත්, ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කර තනමින් සිටින විදුලි යෝජනා ක්‍රමයට බදුල්ල ප්‍රදේශයේ දේශපාලකයකු බාල්දියක් දමා ඇති බවත්ය.
එහෙත් මේ ගැන සොයා බැලූ අපට වැටහී ගියේ මතුපිටින් පෙනෙන කතාවට වඩා, ජනතාව පවසන කතාවට වඩා යමක් අභ්‍යන්තරයේ ඇති බවයි. එම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ලට අයත් මේ අන්නාසිගල දෙස අපි ඇස් ඇර බැලුවෙමු.
එය රක්ෂිත වනාන්තරයකි. අපට සිහි වුණේ විල්පත්තුවේ වන විනාශයයි. 2013 අගෝස්තු 22 දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් එවකට පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් බෝගහපැලැස්ස නම් මේ වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් ලෙස ගැසට් කර තිබේ. ඊට හෙක්ටයාර් 17,769ක් හෙවත් අක්කර 44,422.5ක් අයත් වේ. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට මැදිව ඇති බෝගහපැලැස්ස රක්ෂිතයෙන් වැඩි කොටසක් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ. සොබාදහමේ අලංකාරත්වය මෙන්ම වැසි සහිත තෙත් සහිත කාලගුණයකින් නිරතුරුවම අපට සිසිලස ගෙනන මේ රක්ෂිතය මීට වසර 12කට පෙර සිට නම් කළද වරින් වර තම දේශපාලන බලය දේශපාලනය අවියක් කරගත් පිරිස් ඒ රක්ෂිත වනාන්තරය තම පෞද්ගලික බූදලයක් කරගත්හ.
ඔවුහු ක්‍රමයෙන් මේ වනාන්තරය ආක්‍රමණය කළහ; ඒ උදෙසා එම රක්ෂිතයට ආසන්න භූමිවල දිවි ගෙවන ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුද අල්ලා ගත්හ. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී ගම සමඟ පිළිසඳරක් පැවැත්වුණු අවස්ථාවක ජනාධිපතිවරයා හමු වූ ගම්වාසීන් කිහිප දෙනකු පවසා ඇත්තේ තම උපන් ගම්බිම් සහිතවම රක්ෂිතය ගැසට් කර ඇති බවයි.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාව පදිංචි ඉඩම් ඇත්නම් නිදහස් කරන ලෙසයි. ඒ අපේ ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ නම් කටවචනයෙනි.
එහෙත් ගැසට් කළ රක්ෂිතයක ඉඩම් එසේ කටවචනයකින් නිදහස් කළ නොහැකිය. එහෙත් ඇත්ත වශයෙන්ම එසේ ඉඩම් ඉල්ලා සිටියේ ඒ ප්රදේශවාසීන්මද?
මහ ලන්ද වසමේ උණකන්ද ගම් කොටසේ දීර්ඝ කාලයක් පදිංචි වැසියෝ ද වෙති. ඔවුහු සැබැවින්ම අහිංසකයෝය. මෙම ජනතාවගේ පාරම්පරික ඉඩම් ඇත්නම් ලබා දිය යුතුමය; ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම්ද ලබා දිය යුතුය.
එහෙත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ මේ ජනතාව පලිහක් කරගත් ජාවාරම්කරුවන් පිරිසක් විසින් රාජ්‍ය ඉඩම් කොල්ලකෑම බව මේ වන විට හෙළිව ඇත. ඒ ඉඩම් කොල්ලයට තිත වැටෙන්නට යන විට ඔවුහු අවි අමෝරා ගත්හ; ප්‍රදේශයේ ජනතාව ඉස්සරහට දමමින් ඔවුන්ට විදුලිය සැපයීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට බදුල්ලේ ඇමැතිවරයකු කටයුතු කරන බවට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්හ.
එහෙත් ඒ කතාව නිසි ලෙස අප දැනගත යුතුය.
අප පෙර කී 2013 වසරේ රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කළ බෝගහපැලැස්ස රක්ෂිතයෙන් අක්කර 5,482ක් ජාවාරම්කරුවන් පිරිසක් විසින් අනීතික ලෙස භුක්ති විඳිනා බව මේ වන විට හෙළිව තිබේ. ඇත්තෙන්ම පිරිසක් යැයි පැවසුවද මේ පිරිස මෙහෙයවා ඇත්තේ මෙරට ජනාධිපතිවරයකුගේ අධ්යක්ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කළ එමෙන්ම ආණ්ඩුකාරවරයකු ලෙස කටයුතු කළ අයෙකි.
ඔහු නමින් රජිත් කීර්ති තෙන්නකෝන් බව මේ වන විට හෙළි වෙමින් පවතී.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ප්‍රදේශයේ ජනතාව ඉස්සරහට දමමින් සිදු කළ ප්‍රදේශයේ ඉඩම් ආපසු ලබාගැනීමේ කූට වෑයම ඔවුහු සඵල කරගත්හ. ඒ අනුව ඔවුහු එම රක්ෂිතයේ අක්කර 5,482ක් එසේ අයථා ලෙස අවභාවිත කළහ.
එහි මූලිකත්වය ගත් අදාළ ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඒ උදෙසා ආයෝජනයක් ලෙස පවසා තවත් වෘත්තීයවේදීන් රැසක් සම්බන්ධ කරගෙන ඇත. ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයකුගේ ආයෝජන ක්‍රමවේදයක් නිසා ඔවුන්ද ඊට එක් වන්නට ඇත. එහෙත් ඔවුන් රැවටුණු බව මේ වන විට ඔවුන්ට පසක් වන්නට ඇත.
අන්නාසිගල ගොවි සාමාජිකයන් ලෙස පවසා 46 දෙනකු විසින් ඉඩම් ඉල්ලා ඇත. එම සාමාජික නාම ලේඛනයට ලක්මාලි සමූහ ව්‍යාපාරය, වයි 2 ඇග්‍රෝ ෆාම්, බලහරුව ඇග්‍රෝ ෆාම්, හරිත පැළ තවාන පුද්ගලික සමාගම, ඇග්‍රෝ හෙල්ත් ලංකා පුද්ගලික සමාගම, වේගව ෆාම්, එම්.ජී.යූ. ග්‍රීන් ෆාම් යන ආයතනද අයත් වේ.
එහි අංක 16හි සාමාජිකයා ලෙස සඳහන් වන්නේ කේ.ටී. රංජිත් නම් අයෙකි. ඔහු තමන්ට අදාළ රක්ෂිතයෙන් අක්කර 18ක් ඉල්ලා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඔප්පුවක් ලබා දෙන ලෙස ඉල්ලා 2024.01.28 දින ලිපියක් යොමු කර ඇත. එහි ඔහු තම හැඳුනුම්පත් අංකය ලෙස දක්වා ඇත්තේ 1970168001207 යන ඉලක්කම් 13කින් සමන්විත අංකයකි.
එහිදී රංජිත් විසින් අක්කර 5ක් වී වගාව වෙනුවෙන්ද අක්කර 13ක් ගොඩ වගාවන් වෙනුවෙන් (කටු අනෝදා හා ටීජේසී අඹ) ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීම් කරද්දී වුවද එම ඉඩම් ඔවුන් විසින් භුක්ති විඳිමින් සිට ඇත.
එහි දක්වා ඇත්තේ 2016 වසරේ එම ඉඩම් මැනුම් කටයුතු සිදු කර ඇති බවත් වන සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන් එම ඉඩම් මුදා හැරීමට නියමිත බවයි. කේ.ටී. රංජිත්ගේ එම ඉල්ලුම්පත සහතික කර ඇත්තේ ලලාජිත් මානවඩු නමැති අන්නාසිගල ගොවි සංවිධානයේ සභාපතිවරයාය.
එහෙත් අංක 13කින් සමන්විත හැඳුනුම්පත් අංක නැත. ඒ පිළිබඳව විමසිලිමත්ව බැලූ විට පෙනී යන්නේ කේ.ටී. රංජිත් විසින් සපයා ඇති හැඳුනුම්පත් අංකයේ මැද එක් බින්දුවක් වැඩියෙන් යොදා ඇති බවයි. එම බින්දුව ඉවත් කර බැලූ විට එම අංකය හා සැසඳෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් ධුරය දැරූ රජිත් කීර්ති තෙන්නකෝන්ගේ හැඳුනුම්පත් අංකයයි. එලෙස අතරමැදින් එක් බින්දුවක් වෙනුවට තවත් බින්දුවක් යොදා ඇත්තේ එය අතපසු වීමකින් 0 ලියැවුණු බව ඇඟවීමට බව පැහැදිලිය.
එමෙන්ම එම අත්සනද ව්‍යාජ අත්සනකි. කේ.ටී. රංජිත්ගේ ඉඩම සහිත ප්‍රදේශයට පසුගිය 8 වැනිදා ගිය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට එම ඉඩම බලා ගන්නා තැනැත්තා පවසා ඇත්තේ එය රජිත් කීර්ති තෙන්නකෝන්ට අයත් බවයි.
රක්ෂිත වනාන්තර සම්බන්ධව මෙරට නීතියක් තිබේ. සාමාන්‍ය අයෙක් රජයේ රක්ෂිතයක යම් හෝ ගසක් කැපුවහොත් දර කෝටුවක් රැගෙන ගිය හොත් ඒ තැනැත්තා අල්ලා පොලීසියට භාර දෙනු ඇත. එහෙත් මේ සා විශාල අක්කර 5,000කට අධික භූමි ප්‍රදේශයක් මෙසේ අල්ලා ගන්නා තෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළේ කුමක්ද? හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කුමක් කළේද?
අලි ඇතුන් ගැවසෙන රක්ෂිතයක් වන මේ වනයේ තැන් තැන්වල වාඩි ගසා ඇත; මඩු සාදා ඇත; මහ විශාල ගස් කපා විනාශ කර ඇත. ඇතැම් තැන්වල වෙන් කරගත් මායිම්ය. මේ වන විට අලි ඇතුන් විසින් එසේ වෙන් කරගත් මායිම් පවා පෙරළා දමා ඇත.
මෙවන් රක්ෂිත වනයකට විදුලිය ගෙන යන්නට විදුලි බල මණ්ඩලය කටයුතු කෙළේ කෙසේද? රක්ෂිතයක් මැදින් විදුලි බල මණ්ඩලයට සම්ප්‍රේෂණයන් කළ හැකිද?
ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් ජනාධිපති අධ්යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ලිපියක් යොමු කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්ට පවසන්නේ මණ්ඩලයට ලිපියක් මොහු යොමු කරන්නේ ලේකම් විදුලිබල අමාත්‍යාංශයටය. අධ්යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙනි. ජනාධිපති ලේකම් වෙනුවෙන් අධ්යක්ෂ ජනරාල්ට ලිපියක් යොමු කිරීමේ බලයක් ඇත්ද යන්නද ගැටලුවකි. එහි දක්වා ඇත්තේ ‘අන්නාසිගල ගොවි ගම්මානය සඳහා යටිතල පහසුකම් ලබා ගැනීම’ සිරස් තලය යටතේය.
එහි දක්වා ඇත්තේ පාරම්පරික ගොවි ගම්මානයක් වන අඹකොළආර අන්නාසිගලට විදුලිය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් එම නිසා කඩිනමින් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලෙසත්ය.
එසේම එම ලිපියේ 4 ඡේදයේ දක්වා ඇත්තේ ‘අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ මෙම වර්ෂයට ප්‍රතිපාදන වෙන් වී නැති නම් ලංකා විදුලිබල මණ්ඩලයේ අරමුදල් භාවිත කර මෙම විදුලි සැපයුම ලබා දෙන’ ලෙසයි.
නියෝගයක් ලෙස යොමු කර ඇති මේ ලිපියේ ඔහු අත්සන් කර ඇත්තේ ජනාධිපති ලේකම් වෙනුවට යනුවෙන් අත්සන් කරමිනි. අධ්යක්ෂ ජනරාල්වරයාට එසේ ජනාධිපති ලේකම් වෙනුවෙන් අත්සන් කළ හැකිද යන්න ගැටලුවකි.
එමෙන්ම මේ වන විට අනාවරණය වී ඇති පරිදි ඉඩම් අක්කරයක් ලබා දෙන්නට ජනාධිපති අධ්යක්ෂ ජනරාල්වරයා යැයි පැවසූ අයෙක් එක් අක්කරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් බැගින් ලබා ගෙන ඇත. ‘දැන් සිදුව ඇත්තේ එම ආයෝජකයාට මුදලුත් නැත, බලපත්‍රයත් නැත. ඔප්පුවත් නැත’ යන තත්ත්වයකි.
මීට අමතරව අදාළ ජාවාරම්කරුවන් විසින් වගා කිරීමට ටීජේසී අඹ පැළ දෙන බව පවසා එක් පැළයක් වෙනුවෙන් රුපියල් 325ක් බැගින් ආයෝජකයන්ගෙන් ගෙන ඇත. ඇතැම් අය පැළ 1,500ක් ඇතැම් අය පැළ 4,000ක් වැනි ප්‍රමාණයන් ගෙන ඇත. එහෙත් මේ ගැන සොයා බැලීමේදී එක් ආයෝජකයකුට දැන ගන්නට ලැබී ඇත්තේ එම අඹ පැළ නොමිලේ රජයෙන් දුන් ඒවා බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලා ඔහු 2023.11.08 දින හල්දුම්මුල්ල පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත. ඒ පැමිණිල්ල විභාග වන අතරේ ජාවාරම්කරුවන් අදාළ පැමිණිලිකරු හා සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
මේ මහා පරිමාණ වංචාවේ සුලමුල දැන් එළියට පැමිණ ඇත. වාර්තා වන පරිදි අන්නාසිගලට විදුලිය අවශ්‍ය බව පවසමින් අසරණ ගම්වැසියන් කිහිප දෙනකු ඉදිරියට දමා උද්ඝෝෂණ මෙහෙයවා ඇත. එහෙත් ඉල්ලුම්පත් යැවූ කේ.ටී. රංජිත් නමැත්තා උද්ඝෝෂණයේ නැත. ඔහු තම ඉල්ලුම්පත්‍රයේ දක්වා ඇත්තේ ලක්ෂ 80ක් පමණ වැය කර ණය වී ආයෝජනය කර ඇති බවත් ඉඩමේ අයිතිය තහවුරු කිරීමට ඔප්පුව දෙන ලෙසත්ය. මානසික පීඩනයට පවා තමා පත්ව ඇති බව දන්වා ඇති නමුත් ඔහු උද්ඝෝෂණයේ නැත.
මේ කරුණු අනුව කෙහෙල්කැනත්, හොරාත් දෙදෙනාටම වැට පනින්න බැරි වී ඇති සේයාවක් අපට නම් දිස් වේ. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ වන විට රුපියල් ලක්ෂ 1,200ක් වැය කර තිබේ. ඒ සියල්ල කෙරේ අවධානය යොමු කළ යුතුය. අපි මේ ගැන වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්නගේ අදහස් විමසුවෙමු:
“පළමුවෙන්ම කියන්න තියෙන්නෙ මම කිසිම විදුලි ව්‍යාපෘතියක් නවත්වලා නැහැ. මහජන පෙත්සම් පැමිණිලි පරිසර සංවිධාන විරෝධතා මේ වෙනුවෙන් පසුගිය රජයන් වෙත යොමු වුණත් ඒ ගැන සලකා නැහැ. එහෙත් ජනතා ආණ්ඩුවක් වන මේ රජය ඒ ගැන අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසයි ජාවාරම්කරුවන් පිරිසක් විසින් සිදු කළ රක්ෂිත ඉඩම් කොල්ලය ගැන අවධානය යොමු කර ඇත්තේ.
මේ ප්‍රදේශයේ පාරම්පරික ජනතාව පවුල් 100කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා. අපි ඒ සියලු දෙනාට විදුලිය විතරක් නෙමෙයි, අවශ්‍ය යටිතල පහසුකම් සපයනවා. එහෙත් ජාවාරම්කරුවන්ට අප විදුලිය දෙන්නේ නැහැ. ඒ වගේම මේ වන විට වාර්තා වී ඇති ඉඩම් කොල්ලය, ව්‍යාජ අත්සන් යෙදීම, රජයෙන් නොමිලේ දුන් අඹ පැළ ලබා දී මුදල් ඉපැයීම, ඉඩම් අක්කරයකින් රුපියල් ලක්ෂයක් බැගින් ලබා ගැනීම ඇතුළු සියලු වංචා සම්බන්ධව විමර්ශන කටයුතු කරන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙනවා. එතනදි නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වී ඇත්ත තවත් තහවුරු වෙයි.
ඒ වගේම මෙතනදි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය වගේම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවා වගකීම් පැහැර හැර ඇති බව පේනවා. සමහර විට රාජ්‍ය මට්ටමින් ආපු විශාල පීඩන සහිත බලපෑම් නිසා එසේ වන්නට ඇත. අපි ආයෝජනයට හෝ වගාවට විරුද්ධ නැහැ. එහෙත් රක්ෂිත වනසා කරන ජාවාරම්වලට ඉඩක් දෙන්න බැහැ.”
මේ පිළිබඳව අපි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ. ප්රියංගිකාගෙන් විමසුවෙමු. ඇය පැවසුවේ 2013 වසරේ අදාළ භූමිය රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමේදී බිම් මැනුම් නොකර ‘ගූගල් සිතියම්’ මඟින් මැනුම් කර, එය රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති අතර, එහිදී ඇතැම් පාරම්පරික වාසභූමි විහාරස්ථාන ආදියද ඒ ගැසට්ටුවට ඇතුළත්ව ඇති බවයි. එහිදී එම පාරම්පරික ජනතාව කළ ඉල්ලීමක් අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එහි මැනුම් කටයුතු සිදු කරන්නට කටයුතු යොදා ඇති බවද ඇය පෙන්වා දුන්නාය. මෙහිදී ඇතැම් පාරම්පරික ජනතාවගේ භූමි ඇතැම් පිරිස් සුළු මුදලකට මිලට ගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය. කෙසේ වුවත් ජනතාවට දෙන ඉඩම් ප්‍රමාණය ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අවසන් තීරණයක් ගෙන නැති බවද ඇය පෙන්වා දුන්නාය.
තාරක වික්‍රමසේකර