පිරිසිදු බව, කෘතවේදිත්වය, සෞභාග්‍යය, සතුට සහ සමඟිය උදා කරවන තෛපොංගල් උත්සවය අනාදිමත් කාලයක සිට දමිළ, හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරති. මෙවර අඟහරුවාදාට (14) යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් ජාතික සැමරුම් උත්සවය යාපනයේ තෙලිප්පලේදී ජනවාරි මස 18 දින පැවැත්වීමට තීරණය කර තිබේ.
තෛපොංගල් උත්සවය
දකුණු ඉන්දීය මාස නම් කිරීමේ ක්‍රමය අනුව වසරේ පළමුවන මාසය හඳුන්වන්නේ ‘තෛ’ නමිනි. ‘පොංගල්’ යන දමිළ වචනයේ අදහස වන්නේ ‘උතුරා යෑම නොහොත් පිටාර ගැලීම’ යන්නයි. මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සලකුණක් ලෙස මොවුහු සලකති. තෛපොංගල් උත්සවය තවත් නව වසරක් සඳහා සූර්ය භ්‍රමණයේ ආරම්භය සටහන් කරයි. දමිළ, හින්දු භක්තිකයෝ තම පළමු අස්වැන්න සූර්යයාට පූජා කිරීම සූර්ය මංගල දිනයේදී සිදු කරති.
භෝගි පණ්ඩිගෛ
මෙය ආරම්භ වන්නේ මාර්කලි මාසයේ අවසාන දිනයෙනි. එනම් උඳුවප් මස අවසාන දිනයෙනි. මේ දිනය එම අවුරුද්දේ අවසාන දිනය වේ. පැරණි උපකරණ සියල්ලම පුලුස්සා ගේදොර පිරිසුදු කර, ගොම මැටි හා පිරිසුදු කරගන්නා දවස භෝගි පණ්ඩිගෛයි වශයෙන් හැඳින්වේ. මේ සිරිත අනාදිමත් කාලයක සිට පැවත එන්නකි. නිවාස පිරිසුදු කිරීම, කෙසෙල්, අඹ අතු, මල් මාලා සවි කර උත්සවය සඳහා සූදානම් වීම මේ දවසේදී සිදු කෙරේ. මෙදින ඉන්ද්‍ර දෙවියන් උදෙසා පූජා පවත්වනු ලබයි. පසුදා උදෑසන පොංගල් පූජා පැවැත්වීම සඳහා සෑම දෙයක්ම සූදානම් කර ඇති අතර, පරම්පරා ගණනාවක් තිස්සේ අනුගමනය කෙරුණු සම්ප්‍රදායට අනුව බොහෝ දුරට කෙසෙල් සහ අඹ කොළවලින් සාදන ලද සැරසිලි දොරටුවේ තබා ඇත. නව අයිතම මිල දී ගෙන, පැරණි ඒවා ඉවත ලනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ පසුගිය අවුරුද්ද තුළ ඇති වූ නරක නොමනා පුරුදුවලින් ඈත් වීම යි. ‘භෝගි පොංගල්’ පරණ අවුරුද්දේ අවසන් දිනයයි.
පොංගල් පණ්ඩිගෛ
දෙවැනි දිනය වන්නේ ‘පොංගල් පණ්ඩිගෛ’ නමින් හඳුන්වන උත්සවයයි. මේ දිනයේදී හිරු දෙවියන් උදෙසා වැඳුම් පිදුම් සිදු කරනු ලබන අතර, එහිදී නිවෙසෙහි නැඟෙනහිර පැත්තට වන්නට භූමි භාගයක් තෝරාගැනේ.
පට්ටි පොංගල්
දමිළ හින්දූහු ගොවිතැනට උපකාර කරන හරකුන්ට පොංගල් දිනට පසු දින සුවිශේෂ වත්පිළිවෙත් රැසක් ඉටු කරති. මේ උත්සවයේදී ගව පට්ටි සෝදා පිරිසිදු කර ගව-මහේෂාධීන් නහවා ඔවුන්ගේ අංවලට වර්ණ ආලේප කර සරසනු ලැබේ. ඉන් පසු ගව මඩුව ඉදිරිපස භූමි භාගයක් තෝරා ගොම පිරියම් කර, වටේට ගොක් කොළ එල්ලා භූමි භාගයේ කෝලම් දමා ගෝ යන පූජාව සිදු කරනු ලැබේ. මෙහිදී සකස් කරගත් භූමි භාගයේ කිරි උතුරවා කිරිබත් පිස දෙවියන්ට පුදනු ලැබේ. අනතුරුව සෑම ගවයකුටම කැවිලි කිරිබත් කවා උන්ව සතුටු කරනු ලැබේ.
කාණුම් පණ්ඩිගෛ
මෙය තෛපොංගල් උත්සවයේ අවසාන දවසයි. මේ උත්සවය කාන්තාව උදෙසා සිදු කරනු ලබන උත්සවයක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. පොංගල් මුට්ටියේ බඳින ලද කහ කැබැල්ල ලිහාගෙන ගොස් එය වැඩිහිටියන් පස් දෙනකුට දී එයින් තමන්ගේ නළලත ගාවා ගනිති. වැඩිහිටි අය නැති වුව හොත් තම සැමියාට දී ගා ගෙන ආශීර්වාද කරගනිති. මෙදින කාණුම් නමැති පිණ්ඩ තැබූ පසු කාන්තාවෝ ස්නානය කර අලුත් ඇඳුම් ඇඳ තෑගි භෝග ලබති.
මේ ආකාරයෙන් බලන කල තෛපොංගල් උත්සවය මිනිස් දිවියට වැදගත් උත්සවයක් ලෙස සැලකිය හැක්කේ එහි අඩංගු වන සංස්කෘතික අංග සමාජයට බද්ධ වී ඇති නිසාය. තෛපොංගල් නිසා දියුණු සාහිත්‍යයත් දියුණු ගීත සාහිත්‍යයත් චිත්‍රපට සාහිත්‍යයත් නවකතා, කෙටිකතා සාහිත්‍යයත් කවි සාහිත්‍යයත් දියුණු වී ඇත. මෙදින වෙන් වී ඇත්තේ, නෑගම් යෑම, නෑ හිතමිතුරන් සමඟ තෑගිබෝග හුවමාරු කරගැනීම සඳහා වේ.
තෛපොංගල් කෝලම් රටා
තෛපොංගල් දිනයේ පවුලේ කාන්තාවට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔවුහු මේ සැමරුමට අදාළ වැඩි පුරම වැඩ කොටස ඉටු කරති. හිරු උදා වීමට පැය පහකට ප්‍රථම අවදි වන හින්දු කාන්තාවෝ තෛපොංගල් උත්සවය සඳහා සූදානම් වෙති. මිදුලේ ගොම ගෑ පිරිසුදු බිමක සුදු හා රතු පාට පිටි හා ධාන්‍ය කුඩු හා වර්ණ ගැන්වූ පොල්කුඩු යොදාගෙන ඉතා අලංකාර සැරසිලි නිර්මාණය කරන අතර, මේවා කෝලම් රටා ලෙස හඳුන්වනු ලැබේ.
මේ රටා ඇඳීමට පෙර පොළොව මත කටු සටහන් නොඅඳින අතර මනසේ ඇති රූපය තිත් සටහන් පමණක් තබාගනිමින් නිර්මාණය කරන්නකි.
වත්මන් කාන්තාවද මේ ආකාරයෙන්ම කෝලම් රටා අඳින අතර, ඒ සඳහා යොදාගන්නා සහල් කුඩු විවිධ වර්ණයන්ගෙන් අලංකාර කරගනු ලැබේ. ඒ සඳහා ඔවුහු ආහාර සඳහා යොදාගන්නා අනුමත වර්ණ පමණක් යොදා ගනිති. ඒ මෙම රටා ඇඳීමෙන් අනතුරුව කුරුල්ලන් හා විවිධ කෘමි සතුන් ඒවා ආහාරයට ගන්නා නිසාය. ඔවුන් දානමය පුණ්‍යකර්මයක් ලෙස හඳුන්වනු ලබන්නේ මෙලෙස සතුන්ගේ කුස පිරෙන නිසාය. එමෙන්ම ගෙමිදුලේ ප්‍රධාන දොරටුවට කෙළින්ම මේ රටා අඳිනු ලබන අතර, එසේ සැරසීමෙන් නිවෙසට සෞභාග්‍යය උදා වන බවත්, ඒ මඟින් දෙවියන් වෙත නිවෙසට පැමිණීමට කරන ආරාධනාවක් හා පිළිගැනීමක් සිදු කරන බවත් හින්දූන්ගේ විශ්වාසයයි.