ජනපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර නිල සංචාරයක යෙදෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, චීන රජය දැනටමත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට කටයුතු සම්පාදනය කර ඇති බව දැන ගන්නට ලැබේ. මේ අතර ජනාධිපති ෂී ජින් පිං සහ ජනාධිපති අනුර දිසානායක අතර පැවැත්වෙන නිල සාකච්ඡා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට අතිශය වැදගත් වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් විශ්වාසය පළ කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඇමැතිවරුන් වන බිමල් රත්නායක සහ විජිත හේරත් ද ජනාධිපතිවරයාගේ චීන ගමනට එක් වීමට නියමිත බවයි. ජනාධිපති අනුර දිසානායක අනුගමනය කරන නොබැඳි ප්‍රතිපත්තියට එහා ගිය නූතනවාදි විදේශ ප්‍රතිපත්තියේ හැඩය හඳුනා ගැනීම සඳහා දේශපාලන විචාරකයන් දැඩි නිරීක්ෂණයක සිටින බව රහසක් නොවේ.
ජනාධිපතිවරයා චීනය බලා පිටත් වීමට ප්‍රථම දේශපාලනික වශයෙන් වැදගත් එක්තරා විශේෂ සිදුවීමක් වාර්තා විය. ශ්‍රී ලංකාවේ සමුද්‍ර ඒජන්සිය සමඟ ඒකාබද්ධ සමුද්‍ර සමීක්ෂණයක් සිදු කළ චීන පර්යේෂණ යාත්‍රාවක් වන ෂියැං 6 පිළිබඳ නව දිල්ලිය අනතුරු ඇඟවීමෙන් පසු 2023 දී එවකට පැවති රජය විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ පර්යේෂණ පැවැත්වීම වසරකට තහනම් කර තිබිණි.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා මේ තාවකාලික තහනම කල් ඉකුත් වී අවසන් විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබුණේ ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා සහ ඉන්දීය සාගරයේ වර්ධනය වෙමින් පවතින චීන පැවැත්ම සමතුලිත කිරීම අරමුණු කර ගත් නව ප්‍රොටකෝල කෙටුම්පතක් ඉදිරිපත් කරනු ඇත’ යනුවෙනි. ඉන්දියාව හා චීනය සමඟ පවතින ඓතිහාසික මිත්‍රත්වය එලෙසම ආරක්ෂා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට අබමල් රේණුවක හෝ පලුද්දක් සිදු නොවන අයුරින් වත්මන් ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය හසුරුවන ආකාරය දෙස දකුණු ආසියාවේ සියලු රාජ්‍ය බලා සිටී. දැනටමත් ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාව සහ චීනය අතර ආතති සමනය කිරීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන චාරිකාව වැදගත් වන තවත් විශේෂ හේතුවක් වන්නේ ජනාධිපති ෂී ජින් පිං මෑතකදී තායිවානය සම්බන්ධයෙන් කර තිබූ ප්‍රකාශයයි. ඔහු ප්‍රකාශ කර තිබුණේ තායිවානය චීනයට අයත් භූමියක් වන බැවින් ඉතා ඉක්මනින් එය චීනයට අත්පත් කරගැනීමට ක්‍රියා කරන බවයි.
මේ ප්‍රකාශයත් සමඟ කලබල වූ තායිවාන් අගමැතිනිය ප්‍රකාශ කර තිබුණේ තායිවානය ස්වාධීන රාජ්‍යයක් බැවින් එය යටත් කර ගැනීමට කිසිදු බලවතකුට ඉඩ නොදෙන බවයි. අවශ්‍ය නම් යුද්ධ කිරීමට වුව තමා සූදානම් බව අගමැතිනිය ප්‍රකාශ කර තිබිණි. මේ කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කරන කල
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙරට සමඟම මිත්‍රත්වය තහවුරු කර ගනිමින් ඒදණ්ඩේ සැහැල්ලු ගමනක් යන බව පැහැදිලි වේ.
ඔස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේ ආරක්ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු වන පෙඩ්ඩ්‍රික් ග්‍රේ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය විස්තර කළේ ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයා හැකි තරම් නොබැඳී සිටීමේ උත්සාහයක් අනුගමනය කරන බවයි; එසේ වුව ද ප්රමිතීන්හි විශේෂතා තීරණය කර ප්‍රසිද්ධියට පත් කරන තුරු චීනයට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ක්‍රියාත්මක වීමට හැකි වන ප්‍රමාණය තක්සේරු කිරීම දුෂ්කර වන අතර, එය ඉන්දියාවට කොතරම් බලපෑම් සහගත වන්නේද යන්න තක්සේරු කිරීම දුෂ්කර බවයි. නව දිල්ලිය සමඟ ඇති වන ඝර්ෂණය සමනය වන ආකාරයෙන් කොළඹ ආණ්ඩුව සිය නීති කෙටුම්පත් කිරීමට ඉඩ ඇති බව ග්‍රේ විශ්වාස කරන අතර, පොදු ප්රමිතීන් ඉදිරිපත් කරමින් ඉන්දියාව සහ චීනය යන දෙරට සමඟ සබඳතා කළමනාකරණය පහසුවෙන් සිදු කරනු ඇති බවට ද හෙතෙම විශ්වාසය පළ කරයි.
විදේශීය පර්යේෂණ යාත්‍රා සහ ගුවන් යානා සඳහා අවසර දීමට නව සම්මත මෙහෙයුම් ක්‍රියා පරිපාටි පිළිබඳ කමිටුවක් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ ඇමැති විජිත හේරත් පසුගිය මස අගදී තහවුරු කළේය. මේ මාර්ගෝපදේශ මඟින් රටේ ජාතික අවශ්‍යතා සමඟ ජාත්‍යන්තර හොඳම භාවිතයන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලු සලකා බලනු ඇති බව ද විදේශ ඇමැති විජිත හේරත් පවසා තිබිණි.
ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් පවතින අතීත වාර්තා එතරම් පියකරු නැත. 2024 ජර්මනියේ පැවති ගෝලීය සංසද සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බර්ලින් නුවරදී ජර්මනියේ ‘ඩොයිෂෙ වෙලා’ රූපවාහිනිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ආන්දෝලනාත්මක එකක් වූයේය. ලෝකය ගැන හසරක් නොදන්නා ළිංමැඬියන් එදා රනිල්ගේ කතාවෙන් චූන් වූ නමුත්, වැඩි පිරිස ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව බාල්දු වුණායැයි කම්පාවට පත් වූහ. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන නම් ජනාධිපති රනිල්ගේ කතා ගණනකට ගත්තේ නැත. ජාත්‍යන්තරය සමඟ හැසිරීමේදී වග කිව යුතු රාජ්‍ය නායකයකු තුළ පැවතිය යුතු සංයමය සහ ඉවසීම රනිල් වික්‍රමසිංහ කෙරෙන් එළියට ආවේ නැත. ඒ වෙනුවට අප දුටුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැලරියේ විසිල් බලාගෙන විදෙස් රාජ්‍ය නායකයනට සත්තම් දැමූ අන්දමේ ජවනිකාවකි.
ශ්‍රී ලංකාවේ පාලකයන් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන රටාවක් තිබේ. 2010දී ජෝර්ජ් බුෂ් දෙවැනි වර අමෙරිකාවේ ජනපති වූ විට මෙරට ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ යැවූ සුබපැතුමේ මෙසේ සඳහන් විය:
“දෙවැනි වරටත් අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් අවංකභාවය සහ කැප වීම තුළින් සියලු බාධා මැඬ කවදා හෝ ජයග්‍රහණය කරන්නේ කෙසේ ද යන්න ඔබ සනාථ කොට ඇත. සාමයේ ඉලක්කය පෙරදැරිව ත්‍රස්තවාදය අතුගා දැමීම සඳහා සටන් කිරීම තුළින් ලෝකය පුරා පරමාදර්ශි ඉතිහාසයකට ඔබ උර දී ඇත.”
මහින්ද රාජපක්ෂ මේ ලිපිය යවන විට ජෝර්ජ් බුෂ්ගේ අණ දීම අනුව අමෙරිකන් හමුදා විසින් ඉරාකය ආක්‍රමණය කොට ලක්ෂයකට අධික දරුවන් ඝාතනය කර තිබිණි. අමෙරිකානු හමුදා තවදුරටත් ඉරාකයේ ඝාතන සිදු කරමින් සිටියහ. ජනාධිපති සදාම් හුසේන් ජෛව විද්‍යාත්මක අවි නිපදවනවා යැයි චෝදනා කළ ද එවැනි එක බෝම්බයක් වත් ඉරාකයෙන් එදා අමෙරිකන් හමුදා සොයා ගත්තේ නැත.
“ඔබ පරමාදර්ශි ඉතිහාසයක් නිර්මාණය කළ නායකයෙකි” යනුවෙන් මහින්ද රාජපක්ෂ විසින් ජෝර්ජ් බුෂ් ඉහළින් ඔසවා තබන අතර, මහින්ද පලස්තීනයේ සහ මැදපෙරදිග මුස්ලිම්වරුන්ගේ හොඳම මිතුරා ලෙසද පෙනී සිටියේය.
එදා විපක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ ජෝර්ජ් බුෂ් වෙත යැවූ සුබ පැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් විය.
“ප්රජාතන්ත්රවාදය සහ ප්රජාතන්ත්රවාදි පරමාදර්ශ කෙරෙහි විශ්වාසය ඇති අය වෙනුවෙන් මේ ලෝකය වඩාත් සුරක්ෂිත ස්ථානයක් කිරීමට ඔබ තුළ ඇති අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඉදිරි සිවු වසර තුළ ඔබ සමත් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.”
ශ්‍රී ලංකාවේ දේශපාලකයන් ඉතිහාසයේ බොහෝ අවස්ථාවල වැරදි විදේශ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා රට ප්‍රපාතයට ඇද දමා තිබේ. තවදුරටත් අධිරාජ්‍යවාදීන්ට යටත්ව පැවති ආසියානු රටවල් ඉන් මුදාගනු පිණිස 1952 දී ආසියාවේ ප්රජාතන්ත්රවාදි රටවල රාජ්‍ය නායකයන් බැංඩුං නුවරදී සම්මේලනයක් පවත්වන ලදි. රුසියානු සහ චීන නායකයන්ද සහභාගි වූ මේ සමුළුවට ලංකාව නියෝජනය කරමින් සහභාගි වූයේ එවකට අගමැති සර් ජෝන් කොතලාවලය.
බ්‍රිතාන්‍ය, ප්‍රංශ, පෘතුගාල්, ඕලන්ද අධිරාජ්‍යවාදීන්ගේ සපත්තුවට ඒ වන විටත් පෑගී සිටින ආසියාවේ රාජ්‍යයන්ට නිදහස දිය යුතු බවට රුසියානු විදේශ ඇමැති ආන්ද්රයෙව් ගොමිකෝ බැංඩුං සමුළුව අමතා ප්‍රකාශ කළේය. ඒ අවස්ථාවේ නැඟී සිටි ශ්‍රී ලංකා අගමැති සර් ජෝන් කොතලාවල ප්‍රකාශ කළේ ආසියාවේ යටත්විජිතවලට නිදහස ඉල්ලන්නට ප්‍රථම රුසියානු යටත්විජිතවලට නිදහස දෙන්නට රුසියාව ක්‍රියා කළ යුතු බවයි. කොතලාවල අදහස් කළේ සෝවියට් රුසියානු සමූහාණ්ඩුව අහෝසි කළ යුතු බවයි. කොතලාවලගේ විග්රහයට අනුව සෝවියට් රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් රුසියාවේ යටත් විජිතයන්ය.
සර් ජෝන්ගේ විකාර කතාවෙන් චීන අගමැති චෞ එන් ලායි මෙන්ම ඉන්දීය අගමැති ශ්‍රී නේරු ද වික්ෂිප්ත වූහ. තේ පානය කරන අවස්ථාවේ ශ්‍රී නේරු කොතලාවලගෙන් අසා තිබුණේ “ඔබ එවැනි කතාවක් කරන බව මට කලින් නොකීවේ ඇයි? මා කලින් දැන සිටියා නම් ඔබට මේ ගැන පැහැදිලි කරනවා” කියාය.
කොතලාවල පිළිතුරු වශයෙන් පෙරළා අගමැති ශ්‍රී නේරුගෙන් ප්‍රශ්න කර තිබුණේ, “ඔබ සමුළුවේ කතා කරන්නෙත් මට කලින් කියලා ද?”කියාය.
ශ්‍රී ලංකාවේ අගමැති සර් ජෝන් කොතලාවල තම පියාට අශිෂ්ට, මුග්ධ වචනයෙන් කතා කරන අන්දම ඇසුණු ඉන්දීය අගමැති නේරුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධි තම පියා වහා එතැනින් ඉවතට කැඳවාගෙන ගොස් තිබිණි.
සර් ජෝන් අගමැතිවරයා ලංකාවට පැමිණි වහා, බැංඩුං කතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී විවාදයක් පවත්වා ඇති අතර, එහිදී ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මේ පිළිබඳ පැහැදිලි කර තිබේ.
සර් ජෝන් කොතලාවල බැංඩුං සම්මේලනය නිමවා ලංකාවට එන විට ‘බැංඩුං බූරුවා’ යන නම්බු නාමය ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය විසින් අගමැති සර් ජෝන් කොතලාවලට පිරිනමා තිබිණි. බූරු කතාව ප්‍රථමයෙන් කරළියට ආවේ එච්.ඩී. විජයදාසගේ ගුවන්විදුලි හාස්‍යෝත්පාදක වැඩසටහනට බැංඩුං බූරුවකු ඇතුළත් කිරීමෙනි!
උදේනි සමන් කුමාර